දේශීය ඖෂධ වලින් ක්ලෙන්සර් එකක් සාදාගන්නා අයුරු

රුව රැකීමේ රහස්

දේශීය ඖෂධ වලින් ක්ලෙන්සර් එකක් සාදාගන්නා අයුරු

පළමුව පියවර ලෙස මුහුණ පිරිසිදු කිරිමෙන් ඉහත සඳහන් අපද්‍රව්‍ය ඉවත් වී සම පිරිසිදු වේ. ආයුර්වේද රූපලාවන්‍ය ක්‍රම අනුව මුහුණ පිරිසිදු කිරීමට ඖෂධීය කුඩු වර්ගයන් භාවිතා කරයි.

සාදාගන්නා අන්දම

කෝමාරිකා කුඩු (කෝමාරිකා අව්වේ වියළා කුඩු කරගත යුතුය)
උළුහාල් කුඩු
දෙහි පොතු කුඩු
වැල් මී කුඩු
වැල්මදට කුඩු
මදුරුතලා කුඩු
සුදුහදුන් කුඩු
සැවැන්දරා කුඩු
සාදික්කා කුඩු
සේර කුඩු
කඩල පිටි හෝ මුං ඇට පිටි හෝ පරිප්පු පිටි

ඉහත සඳහන් අමුද්‍රව්‍ය සියල්ල සමව ගෙන මිශ්‍ර කර පිරිසිදු භාජනයක දමා වියළි ස්ථානයක සුළං නොවදින සේ තැබිය යුතුය. ඉහත සඳහන් සියළු ඖෂධ කුඩු ස්වභාවයෙන්ම වෙළෙඳපලෙන් මිලදී ගත හැක. එසේ නොමැති නම් වියළි ඖෂධ මිලදී ගෙන සෝදා වියළා කුඩු කර භාවිතා කළ හැක. ක්ලෙන්සර් කිරීමේදී සේවාදායකයාගේ සම පරීක්ෂා කර බලා සමට සුදුසු මාධ්‍යකින් ඖෂධ කුඩු මිශ්‍ර කර ගෙන මුහුණේ ආලේප කළ යුතුය.

සාමාන්‍ය සමට

ඉහත සඳහන් ඖෂධ පිරිසිදු ජලය සමඟ මිශ්‍ර කර ආලේපය.

වියළි සමට

ඉහත ඖෂධ පිරිසිදු ජලය සමඟ හෝ එළකිරි සමඟ හෝ කෝමාරිකා යුෂ සමඟ මිශ්‍ර කර ආලේපය.

තෙල් සහිත හෝ ලප කැළැල් සහිත සමට

ඉහත සඳහන් ඖෂධ තනුක කරන ලද දෙහි යුෂ හෝ යෝගට් සමඟ මිශ්‍ර කර ආලේපය

වැඩුණු සමට

(අවුරුදු 25ට වැඩි)

ඉහත ඖෂධ පිරිසිදු ජලය සමඟ හෝ එළකිරි සමඟ මිශ්‍ර කර ආලේපය (එළකිරි නොමැති නම් ඒ සඳහා ප්‍රෙෂ් මිල්ක් භාවිතා කළ හැක)