ආතරයිටීස් (සන්ධි රෝග) ඇතිවීමට බලපාන හේතු

ආතරයිටීස් (සන්ධි රෝග) ඇතිවීමට බලපාන හේතු

විශේෂඥ වෛද්‍ය

ට්‍රිලීෂියා ජයවර්ධන

ආයුර්වේද ශික්ෂණ රෝහල බොරැල්ල

මැදිවිය පරපුර බෙහෙවින්ම ගිලගෙන ඇති රෝගී තත්ත්වයක් ලෙස සන්ධි රෝග හඳුන්වා දිය හැකියි. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මෙම සන්ධි රෝග ආතරයිටීස් ලෙස හැඳින්වුවත් ආයුර්වේදයේ මෙය සන්ධි රෝග ලෙස නම් කෙරේ.

විශේෂයෙන් අද බොහෝවිට මැදිවිය පිරිසට පීඩාකාරී අවස්ථා ගෙන දෙන සන්ධි රෝග නිසා දෛනික වැඩ කටයුතු පවා අඩාල වන අවස්ථා ඇත. නමුත් එය නිසි ක්‍රියාදාමයකට අනුව හා වැරදි ක්‍රියාවන් වලින් වැළකී සිටීමෙන් මෙම රෝගී තත්ත්වයෙන් තරමක් දුරට මිදිය හැකියි.

වයස අවුරුදු 45න් පසුව මෙම රෝගී තත්ත්වය විශේෂයෙන් ගැහැනු අයට ඇති වීම සුලබය. එම වයස් සීමාව තුළ ඇතිවන හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් නිසා කාන්තාවන්ට සන්ධි රෝග ඇති වීමට බලපායි. ආර්ථවහරණය නිසා සිරුරේ මේ ප්‍රමාණයට හෝමෝනවල වෙනස්කම් හට ගැනීම නිසා සන්ධි රෝග ඇතිවන බව සඳහන්ය. එසේම කුඩා දරුවන්ට වුවත් මෙම සන්ධි රෝග ඇතිවිය හැකියි. ඔවුන් වැඩිපුර සන්ධි ක්‍රියාකරවීම සිදු කරන්නේ දුව පැන ඇවිදින විට හා වෙනත් සෙල්ලම් වැඩවලදි යෙදුණ විටයි.

ආයුර්වේදයේ සන්ධි රෝග වර්ග 4කි.

* ආමවාත සන්ධි රෝග

* සන්ධිගත වාත සන්ධි රෝග

* ගම්භීර වාත රක්ත රෝග

* අභිඝාතජ රෝග වේ.

සන්ධි රෝග ඇතිවීමට බලපාන හේතු

* සිරුරේ අධි ක්‍රියාකාරීත්ව නිසා ඇතිවන සන්ධි රෝග

* ආහාර වර්ග නිසා ඇතිවන සන්ධි රෝග

* ගන්නා ඖෂධ වර්ග නිසා ඇතිවන සන්ධි රෝග

* ජානමය හේතු නිසා ඇතිවන සන්ධි රෝග

ආමවාත සන්ධි රෝග අවස්ථාව

මේ සඳහා දූෂිත ආහාර (නොගැලපෙන ආහාර) ආමවාත සන්ධි රෝගයට හේතු වෙයි. පිළුණු ආහාර වර්ග, කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය ගැනීම හා මස්, මාළු, කිරි, බිත්තර එකවර ගැනීම ද මෙයට හේතු වේ. එනම් මේවා ආහාරයට ගැනීම නිසා ආහාර දිරවීමේදී යම් වෙනසක් සිදු කරයි. එහි ඇතිවන ආමය සන්ධි ආක්‍රමණය කිරීමෙන් පසුව අඩපණ වේ.

එවිට ආමවාත සන්ධි රෝගී අවස්ථාවට පත් වේ. එම නිසා පිළුණු වූ ආහාර, බර ආහාර, මස් මාළු කිරි බිත්තර එකට ගැනීම වළක්වා ගත යුතුයි. එසේම එකිනෙකට නොගැලපෙන ආහාර ගැනීම ද අප විසින්ම වළක්වා ගත යුතු වන්නේ මෙම ආමවාත සන්ධි රෝගයට මුල්වන බැවිනි.

සන්ධිගත වාත රෝග අවස්ථාව

සන්ධි අධි ක්‍රියාකාරීත්වයෙන් පැවතීම නිසා මේ රෝගී අවස්ථාවට ගොදුරු වේ. මෙහිදී මෙම රෝගී තත්ත්වයට පත්වන්නේ කාන්තාවන්ය. වැඩිපුර සන්ධිය ක්‍රියා කිරීම මෙය ඇති වීමට හේතු වේ. පයින් ඇවිදීම, රැකියාවේදී යන්ත්‍ර ක්‍රියා කිරීම අධික ව්‍යායාම තත්ත්වය හා වැරදි ඉරියව් වලින් සිටීම මෙම රෝගී තත්ත්වයට බලපායි. උදා. ලෙස කාර්යාලයේදී ඔබ සේවය වැඩිපුර එකම ඉරියව්වකින් ඉඳගෙන සිටීම තුළින් සිටීම, එක ඇලයකට දිගටම නිදා සිටීම, වැනි ඉරියව්වන්ද මෙයට බලපායි.

මේ නිසා වැඩිපුර ක්‍රියා කරන සන්ධියට විවේකයක් ලබා දීම තුළින් මේ රෝගී තත්ත්වයේ මුදාගත හැකියි.

වාතරක්ත

රුධිරය දුෂණය වීම හේතුකොට ගෙන මෙම රෝගී තත්ත්වය ඇති වේ. කාලයක් තිස්සේ මේ තත්ත්වය පැවතීමෙන් පසුව සන්ධිවලට බලපෑමක් ඇති වේ. පසුව සන්ධිය ඉදිමී වේදනා ගෙන දෙන්නට වේ. මෙහිදී රෝගියාට දැවිල්ල ගතිය ද ඇතිවිය හැකියි.

අභිඝාතජ රෝග තතත්වය

මේ තත්ත්වය හදිසි අනතුරුවලින් සිදුවිය හැකියි. මහා මාර්ග අනතුරු, ගසකින් වැටීමෙන්, තද රළ පහරකට හැපීමෙන් සන්ධි ආබාධ වී මෙම අභිඝාතජ රෝග තත්ත්වයට පත්විය හැකියි. මේ සඳහා නිසිකලට ප්‍රතිකාර ලබාදිය යුතුයි. එසේ නොවුණහොත් සන්ධි බිදීමක් වී උත්සන්න විය හැකියි. මේ තත්ත්වය යටතේ වහා ප්‍රතිකාර කළ යුතුයි.

පෝෂණ ඌනතාවය නිසා ඇතිවන සන්ධි රෝග

අස්ථිවලට නිසි පෝෂණය නොලැබීමෙන් මෙම අස්ථි සන්ධි රෝග ඇති වේ. ඔස්ටියෝ පොරෝසිස් රෝගය යනුවෙන් හඳුන්වන්නේ ද මෙයයි. මේ සඳහා පලා වර්ග කිරි බිත්තර මස් මාළු ආහාරයට ගැනීම සුදුසු වේ. කංකුං, කතුරුමුරුංගා වඩාත් සුදුසු වේ.

කාන්තාවන්ට ඇතිවන සන්ධි රෝග තත්ත්වය

මෙය ආර්තවහරණය නිසා හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස්වීම හේතු කොටගෙන ඇති වේ. එබැවින් ප්‍රතිකාර කිරීම සඳහා නිශ්චිතව රෝග තත්ත්වය නිර්නය කරගත යුතුව ඇත.

ප්‍රතිකාර කිරීමේදී

විශේෂයෙන් මේ සඳහා ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වේ. බාහිර හා අභ්‍යන්තරික වශයෙන් ප්‍රතිකාර සිදු කෙරේ. මුළුමනින්ම රෝගය සුව වීමට නම් මේ ප්‍රතිකාර වර්ග දෙවිධියටම කළ යුතුයි. ඉදිමුම් හා වේදනාවන් බාහිර ප්‍රතිකාර ක්‍රමයන් අඩු කරගත හැකියි. බොරැල්ල ආයුර්වේද රෝහෙලේ මේ සඳහා ප්‍රතිකාර සිදු කෙරේ.