ඔබේ ගැටලු අප වෙත එවන්න

ඔබේ ගැටලු අප වෙත එවන්න (වෛද්‍ය ගැටලු, ආරෝග්‍යා, ලේක්හවුස්, කොළඹ 10)

ලිංගාශි‍්‍රත රෝග ගැටලු

වයසට ගැලපෙන අයුරින් ලිංගේන්ද්‍රිය වැඩී නැහැ

මාදම්පේ - හරිඳු

ගැටලුව

වෛද්‍යතුමනි, මාගේ ගැටලුව මාගේ ශිෂ්නය හරි ආකාරව වර්ධනය නොවීමයි. මාගේ අනිකුත් සියලු දේවල් හරි ආකාරව වර්ධනය වී ඇත. මා සිතන විදිහට මෙයට හේතුවක් වන්නේ මා කුඩා කළ අවුරුදු 10 සිට වැඩිමල් අය මාව ලිංගික කාර්යයන් සඳහා යොදා ගැනීමයි. මම තනියම ජීවත් වූණේ ඉතින් වැඩිමල් අය මාව බලහත්කාරයෙන් ලිංගික කාර්යන් සඳහා යොදා ගන්නා. මට ජීවිතේ එපා වෙලා තියෙන්නේ. මට මෙයට විසඳුමක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

පිළිතුර

ඔබ දකින්නේ ඔබගේ ලිංකේන්ද්‍රිය කුඩා බවයි. නමුත් ශරීර අවයව එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ලිංගික කාර්යයන්වල නිරත වීමෙන් ලිංගේන්ද්‍රිය කුඩා වන්නේ නැහැ. විශේෂයෙන් මව්පියන්ගෙන් පැමිණෙන ජාන ලක්ෂණ අනුව ශරීර අවයව වල වෙනස්කම් පවතිනවා. ඔබ පවසන පරිදි ලිගේන්ද්‍රිය කුඩා යැයි සිතෙනවා නම් වෛද්‍යවරයෙකු හමුවීම වඩාත් වැදගත්. ඔබගේ ගැටලුවට අනුව ඔබගේ තත්ත්වය ඉතා සංකීර්ණ බව කිව යුතුයි. කුඩා කළ සිට ඔබව ලිංගික අපයෝජනයේ යොදවා ගත්තේ නම් පිටතට නොපෙනෙන විවිධ ලිංගාශි‍්‍රත රෝග තත්ත්ව පැවතිය හැකියි. මේ නිසා ඔබගේ ගැටලුවටත් ඔබට නොපෙනෙන තත්ත්ව පරික්ෂා කරවා ගැනීමටත් ළඟම පිහිටි රජයේ රෝහලේ ලිංගාශි‍්‍රත රෝග ඒකකයට යොමුවන්න.

විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ නම් එහි වෛද්‍යවරු ඔබව ඒ සඳහා යොමු කරනු ඇති.

මහනුවර මහ රෝහලේ

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

ගංගා පතිරණ

අක්ෂි රෝග ගැටලු

වෛද්‍යවරයෙකුට නොපෙන්වා ඇස්වලට බෙහෙත් සමන්න එපා

මිනුවන්ගොඩ - ගාමිණි

ගැටලුව

මේ දවස්වල තිබෙන ඇස් රෝගයකින් මම පෙළෙමි. ඒ සඳහා ෆාමසියකින් ඇස්වලට දමන බෙහෙතක් ගෙන එය කීපවාරයක් ඇස්වලට දැම්මා. නමුත් එහි ගුණයක් නැහැ. තවමත් ඇස් කැසීමත් ඇස් රතු පැහැ ගැන්වී පැවතීමත් තවමත් තිබෙනවා. වෛද්‍යතුමනි මා දැන් කුමක් කළ යුතුද? උපදෙසක් බලාපොරොත්තු වෙමි.

පිළිතුර

ඔබට සෑදී ඇත්තේ ඇස් ලෙඩ යැයි ස්ථීර නිගමනයට පැමිණිය නොහැකියි. ඔබ ඇස සම්බන්ධ ප්‍රතිකාරවලදී ලබාගෙන ඇත්තේ ඉතාම වැරදි සහගත ක්‍රියාවකි. ඇස් රෝගයක් පවතී නම් එහි තත්ත්වය නිවැරදිව හඳුනාගත හැක්කේ නිසි වෛද්‍ය පරීක්ෂාවකින් පසුවය. එසේ වෛද්‍ය පරීක්ෂණයකින් පසු ඇස් රෝගය සඳහා වෛද්‍යවරයා විසින් ඊට අදාලව නිසි ප්‍රතිකාර ලබා දෙනු ඇත.

ඔබට ලබාදෙන ප්‍රතිකාරය නිවැරදි මාත්‍රාව අනුව ලබාගත යුතුය. එමෙන්ම නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුත් සුව නොවන්නේ නම් නැවත වතාවක් වෛද්‍යවරයා හමු වි උපදෙස් ලබාගත යුතුය.

ඇස් රතු වූ පලියට හෝ ඇස් කැසූ පලියට එය ඇස් ලෙඩ යැයි නිගමනය කළ නොහැකියි. සාමාන්‍ය තත්ත්ව යටතේ ද ඇස් රතු වීම, කැසීම සිදුවිය හැකියි. අනවශ්‍ය ලෙස වෛද්‍ය උපදෙස් වලින් තොරව ඇස්වලට ප්‍රතිකාර කිරීමෙන් ඇස් අන්දවීම හෝ වෙනත් අක්ෂි රෝග ඇතිවිය හැකිය.

අක්ෂි රෝග

විශේෂඥ වෛද්‍ය

ෂමින්ත අමරතුංග

ප්‍රසව හා නාරි ගැටලු

වසරක පටන් ඔසප් චක්‍රය අක්‍රමවත්

කළුතර - ශානිකා

ගැටලුව

මාගේ වයස අවුරුදු 28කි. දැනට වසරක පමණ කාලයක සිට මාගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වී ඇත.

ඔසප් වීම සිදුවන්නේ මාස දෙක තුනකට සැරයක් පමණි. මා විවාහ වී දැනට වසරක් පමණ වෙනවා. එහෙත් තවම ගැබ් ගැනීමක් සිදු වූයේ නැත.

වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වූ පසු පැවසුවේ මාගේ ඩිම්බ මේරීම හා පිටවීම සිදු නොවන බවයි. මාගේ ශරීර බර ද වැඩි වී තිබෙනවා.

දරුවකු නොමැති වීම පවුල් ජීවිතයට ගැටලුවක් වී ඇත. මා දැනට මේ නිසා මානසිකව විදවමි. මා හට මේ සඳහා ප්‍රතිකාරයක් තිබේද?

පිළිතුර

දැනට ඔබගේ ශරීරයේ තිබෙන බරෙන් කිලෝ ග්‍රෑම් 5ක් පමණ අඩු කරගත යුතුය. එසේ බර අඩු කර ගැනීමෙන් ඔබේ ආර්ථවය නිසි පරිදි සිදුවීමට ඉඩ තිබෙනවා. එසේ වූවාට පසු නැවත වරක් කිලෝ ග්‍රෑම් 5ක් බර අඩු කරගත යුතුය. බර අඩුකර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්ය. බර අඩු කර ගැනීමෙන් හා වෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන් ඇති වී ඇති තත්ත්වය සාර්ථකව පාලනය කළ හැකිය. එසේම ඔබගේ පුරුෂයාගේ ශුක්‍රධාතු පරීක්ෂා කිරීමක් ද කළ යුතුය. ඒ නිසා වෛද්‍ය පරීක්ෂණ වෙත යොමුවන්න.

පළමුවම ඔබ ඔබගේ චිත්ත ශක්තිය වර්ධනය කර ගැනීමට උත්සාහ ගත යුතුය. අධිෂ්ඨානශීලීව කටයුතු කිරීම ඉතා වැදගත් බව සලකන්න.

ද සොයිසා

කාන්තා රෝහලේ

ප්‍රසව හා නාරි

විශේෂඥ වෛද්‍ය

මහාචාර්ය

හේමන්ත දොඩම්පහල

චර්ම රෝග ගැටලු

මුහුණේ කුරුලෑ අඩුවෙන්නේම නැහැ

මිරිහාන - සෙව්වන්දි ඉරේෂා

ගැටලුව

මා වයස 23ක තරුණියකි. දැනට වසර දෙකක පමණ කාලයක සිට මාගේ මුහුණේ කුරුලෑ හට ගන්නවා. වෛද්‍යවරුන් කිහිපදෙනෙකුගෙන්ම ප්‍රතිකාර ගත්තද තවමත් සුවයකක් නැත. වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමේදී ඔවුන් විසින් වරින් වර සබන්, ජෙල් වර්ග හා බෙහෙත් කරල් ලබා දුන්නා. මෙම ඖෂධ ගන්නා තෙක් කුරුලෑ සුව වෙනවා. ඖෂධ නැවැත්වූ පසු නැවත කුරුලෑ හටගන්නවා. මා ආහාර ගැනීමේදී සැර ආහාර හා තෙල් ආහාර ගන්නේ ද නැත.

පිළිතුර

ඔබ පසුවන නව යොවුන් වයස අනුව කුරුලෑ ඇති වීම ස්වභාවික තත්ත්වයකි. මෙම තත්ත්වය තවත් වසර 5ක් හෝ ඊට වැඩි කාලයක් පැවතිය හැකිය. ප්‍රතිකාර ලබා ගනිද්දී කුරුළෑ අඩු වීමත් ප්‍රතිකාර නැවැත්වූ පසු නැවත ඇති වීමත් කුරුලෑවල ලක්ෂණයකි.

දිගින් දිගටම කුරුලෑ නැවත නැවත මතු වේ නම් දිගින් දිගටම ප්‍රතිකාර ගත යුතුය. කුරුලෑ යනු රෝගයක් නොවේ. එය තරුණ වයසේදී ඇතිවන හෝමෝන ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලයකි. මෙය නිට්ටාවට සුව කිරීමට හෝ සුළු කාලයකට සුව කිරිම හෝ නොකොට කුරුලෑ පාලනය කොට ඉබේම සුව වන්නට හැරිම සුදුසුම ක්‍රමය වේ. යම්කිසි වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා සුවයක් ලැබූ පසු එම වෛද්‍යවරයා නැවත හමු වී දිගුකාලීනව ඔබගේ මුහුණට අවශ්‍ය සත්කාරය කෙබදු විය යුතුද යන්න දැනගන්න. වෙනත්් ආලේපන භාවිතා කරන්නේ නම් එය වෛද්‍ය උපදෙස් මත ලබාගන්න.

කුරුලෑ කැඩීම හෝ පොඩි කිරීම සුදුසු නොවේ.

කරවනැල්ල මූලික රෝහලේ

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය

ඉන්දිරා කහවිට