ක්‍රීඩාවට ආවේණික ක්‍රීඩා භාණ්ඩ නොමැතිනම් අනතුරු සිදුවිය හැකියි

ක්‍රීඩාවට ආවේණික ක්‍රීඩා භාණ්ඩ නොමැතිනම් අනතුරු සිදුවිය හැකියි

ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ

ක්‍රීඩා වෛද්‍ය නිලධාරි

ලාල් ඒකනායක

ක්‍රීඩා අනතුරු නිසා ක්‍රීඩාව මෙන්ම ඇතැම් විට ජීවිතය ද අහිමි විය හැකිය. පසුගිය කාලයේ එවැනි බිහිසුණු අත්දැකීම් නිසා මරණය අත්වූ ප්‍රබල ක්‍රීඩකයන් ද සිටිති. එසේ වන්නේ ඇයි. අවදානම් සහගත ක්‍රීඩා මෙන්ම ඕනෑම ක්‍රීඩාවකට අදාළ නීති රීති පනවා තිබේ. ඒ අතර සියලුම ක්‍රීඩාවන්ට ආවේණික උපකරණ, ඇඳුම් පැළඳුම්, පාවහන් වර්ගීකරණය කර තිබේ. එහෙත් මේ සියල්ල ක්‍රියාත්මක වන්නේ ද?

ඒ පිළිබඳ විමසා බැලීම කාලෝචිතය. යම් ක්‍රීඩාවක යෙදෙන ක්‍රීඩකයකු තම ආරක්ෂාව සඳහා භාවිතා කළ යුතු ක්‍රීඩා උපකරණ නොපැළඳ ක්‍රීඩා කිරීම අවදානම් තත්ත්වයක් මෙන්ම ක්‍රීඩාව ද අනතුරේ හෙළීමකි. ක්‍රීඩාවට අදාළ උපකරණ නිෂ්පාදනය කර තිබෙන්නේ සිදුවන අනතුරු වළක්වා ගැනීමට හා අවම කර ගැනීමට ය. ඒ කෙසේ වෙතත් මෙවන් ආරක්ෂාකාරී පියවරයන් අනුගමනය නොකිරීම හේතුවෙන් තම ජීවිතය පවා අහිමිවීමේ ඉඩකඩක් ඇත. පසුගිය කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව ආන්දෝලනයට පත් කරමින් ඕස්ට්‍රේලියානු ප්‍රබල පිතිකරුවකු වූ ෆිල් හියුස් මියගියේ ද තම හිස් වැසුමේ ආවරණය නොවූ කොටසකින් පන්දුව හිසේ වැදීම නිසා වෙනි.

මෙලෙස අවදානමකට ලක් වන්නේ, අදාළ ක්‍රීඩකයාගේ නොසැලකිල්ලකින් පමණක්ම යැයි චෝදනා කළ නොහැකි මුත් ක්‍රීඩකයා තම ජීවිත අවදානම පිළිබඳ වඩා සැලකිලිමත් විය යුතු යැයි ප්‍රබල ලෙස මතුවන කාරණාවක් ලෙස දැකගත හැකිය. සෑම අවස්ථාවකම තම ක්‍රීඩාවට උචිත මෙන්ම අදාළ උපකරණ පරිහරණය කිරීමට වගබලා ගැනීම වැදගත් යැයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙයි.

එසේම ක්‍රීඩාවට අදාළ ඇඳුම් තෝරා ගැනීමේ දී ක්‍රීඩාව පහසුවෙන් කළ හැකි ඇඳුම් තෝරා ගත යුතුය. ඒ ඒ ක්‍රීඩාවට නිෂ්පාදනය කර ඇති ඇඳුම් ක්‍රීඩාව පහසුවෙන් හා ඵලදායී ලෙසින් අවසන් කිරීමට යෝග්‍ය ආකාරයට නිෂ්පාදනය කර ඇත. එසේ නොමැතිව වෙනත් ආකාරයක ඇඳුම් භාවිතා කළහොත් එය ගැටලුසහගත විය හැකිය. ක්‍රීඩිකාවන් තම උඩුකය ආවරණය වන ඇඳුම් තෝරා ගැනීමේ දී ඉතාමත් සැලකිලිමත් විය යුතුය. පහසුවෙන් සන්ධි චලනය කළ හැකි ක්‍රීඩා ඇඳුම් තෝරා ගත යුතුය. ඇතැම් ඇඳුම් ක්‍රීඩකයාගේ ස්වසන ක්‍රියාවලියට පවා බාධාවන අවස්ථා තිබේ. එනිසා හොඳීන් දහඩිය උරා ගන්නා මෙන්ම වාතාශ්‍රය ලැබෙන සේ නිර්මාණය කළ ක්‍රීඩා ඇඳුම් තෝරා ගැනීමෙන් සිදුවන හානි අවම කර ගත හැකියි.

ක්‍රීඩා කිරීමේදී වැදගත්වන තවත් ප්‍රධාන මෙවලමක් වන්නේ පාවහන් ය. මෙය ඉතා කල්පනාකාරීව තෝරා ගත යුතුය. ක්‍රීඩකයාගේ පාදයේ ස්වභාවය අනුව පාවහන් තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතුයි. එසේ නොවුණහොත් වළලුකර ආශ්‍රිත ආබාධ මෙන්ම පාදවල විවිධ ස්ථානවල ආබාධ ඇතිවීමේ අවදානමක් ඇත. පාවහන් තෝරා ගැනීමේ දී ක්‍රීඩකයා ක්‍රීඩා කරන්නේ කිනම් පරිසරයක ද, කුමන ඉසව් නියෝජනය කරන්නේ ද යන්න වඩාත් වැදගත් වේ. ඒ ඒ අවස්ථානුකූලව නිෂ්පාදනය කර ඇති පාවහන් යොදා ගැනීමෙන් ක්‍රීඩාව අතරතුර ඇතිවන ආබාධ බොහොමයක් අවම කර ගැනීමේ හැකියාව ඇත.

සියලුම ක්‍රීඩා සඳහා නිෂ්පාදනය කර ඇති ක්‍රීඩා උපකරණ පැළඳීමෙන් ක්‍රීඩකයාගේ ජීවිතාරක්ෂාව මෙන්ම ආබාධ රහිත පරිසරයක් නිර්මාණය වේ. එනිසා සෑම ක්‍රීඩකයකුම මතක තබා ගත යුතු කාරණය වන්නේ යම් ක්‍රීඩාවකට යොමුවන්නේ ද, ඒ ක්‍රීඩාවට අදාළ ආරක්ෂිත උපකරණ පැළඳ ක්‍රීඩාවට අවතීර්ණ වීමෙන් තම ක්‍රීඩාව ආරක්ෂා කරන්නාක් මෙන්ම ජීවිතය ද ආරක්ෂාවන බවයි. ඇතැම් ක්‍රියා කලාපයන් ක්‍රීඩාවේ අනාගතයට ද බෙහෙවින් බලපාන බැව් ක්‍රීඩකයන් මතක තබා ගත යුතුය. තම අභිමතයන්ට ප්‍රථම අදාළ ක්‍රීඩාවේ නීති රීතිවලට අනුගත වන්නේ නම් එය දක්ෂ ජයග්‍රාහී ක්‍රීඩකයකු බිහිවීමට මෙන්ම ක්‍රීඩාවේ අනාගතය රැකුමට ද ඉවහල් වේ.