ඇස් රෝගයෙන් පෙළෙනවිට අක්ෂි සැත්කම් කිරීම අවදානම්

ඇස් රෝගයෙන් පෙළෙනවිට අක්ෂි සැත්කම් කිරීම අවදානම්

මහනුවර ශික්ෂණ රෝහලේ අක්ෂි ඒකකයේ

හෙද සොයුරිය

එස්.එම්.පී. කුමාරිහාමි

මේ දවස්වල හැමතැනම ඇස් ලෙඩ. කොහොමහරි පරිස්සම් වෙන්න කියලා වෛද්‍යවරු දැනුම් දුන්නත් කොහොමද මේ ඇස් ලෙඩවලින් බේරෙන්නේ. ඒ විතරක් ද ඇස් දෙක කියන්නේ, ඉපදුන දවසේ ඉඳලා මැරෙන තුරුම ලෝකය දකින්නේ ඇස් දෙකින්. හතළිස් ඇඳිරිය, වැඩිහිටි අවධියේ පෙනීම, මේ හැමකාලේදීම ඇස් දෙක ගැන කවුරුත් විමසිලිමත් වෙනවා. ඒ නිසාම අපි පෙනීම අඩුවෙන කාලයේදී ඇස් පෙනීම වැඩි කරගන්න කාච බද්ධ කරනවා.

ඔන්න ඉතින් යම් හෙයකින් කාචයක් දාන්න ලෑස්තිවෙලා ඉන්න වෙලාවක ඇස් ලෙඩ හැදිලා තිබුණොත් අපිට මොකද කරන්න වෙන්නේ? කාචයක් බද්ධ කරන්න ආසන්නම වෙලාවක ඇස් ලෙඩ කියලා හඳුනාගන්න ලැබුණොත් මොකද කරන්නේ? මේවා අපට අද තියෙන ප්‍රශ්න නේද?

මේ පිළිබඳව අපට තොරතුරු ගෙන ආවේ මහනුවර ශික්ෂණ රෝහලේ අක්ෂි ඒකකයේ හෙද සොයුරිය එස්.එම්.පී. කුමාරිහාමි මහත්මියයි.

“මේ දිනවල පැතිර යන ඇස් ලෙඩ නමින් අපි හඳුන්වන රෝගය සුදු ඉංගිරියාවේ ප්‍රදාහය හෙවත් Conjunctivits තත්ත්වයයි.

මෙය ඉතා ඉක්මණින් බෝවන රෝගයක්. ඇස් ලෙඩ හැදිලා තියෙන රෝගියෙකුගේ ඇස් දෙක නිතර රත්පැහැ ගැන්වී තිබෙනවා. කඳුළු ගලනවා. ඇස අභ්‍යන්තරයේ තරමක කසන ස්වභාවයක් ගන්න නිසාම රෝගයට ගොදුරු වුණ ඕනෑම කෙනෙක් නිරායාසයෙන් ඇස අල්ලනවා. අතගානවා. එවිට කඳුළු අතේ තැවරෙනවා. මේ කඳුළු හරහා ඉතා ඉක්මනින් රෝගය තවත් කෙනෙකුට බෝ වෙනවා. කළ යුතු හොඳම දෙය නිතරම අත් දෙක සෝදා සිටීම වගේම නිතරම අත් සේදීමයි.

නානවා නම් නිතරම මූණ සෝදනවා නම් ඇස් ලෙඩ හැදෙන්නෙත් නෑ. දැන් ඇසට කාචයක් දාන්න දින නියම කරලා ඉන්න රෝගියෙකුට ඇස් ලෙඩ හැඳුනා කියමු. එවැනි අවස්ථාවක කාචයක් බද්ධ කරන්න සුදුසු නැහැ. කාචයක් බද්ධ කරන්න මොහොතකට පෙර හෝ Conjunctivits වැළඳී ඇති බව සැලවුවහොත්, ශල්‍යකර්මය අත්හිටුවීමට සිදුවනවාමයි.

ඉන් අනතුරුව ඇස් ලෙඩ හොඳ වෙන්න ගතවන කාලයකට ඉඩ දෙන්න වෙනවා. ඇස් ලෙඩ කියන තත්ත්වයට ප්‍රතිකාර සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.

ප්‍රතිකාරවලදී වෛද්‍යවරයා ලබාදෙන බෙහෙත් බිංදු වෛද්‍යවරයා අනුමාන කළ වේලාවට එම වාර ගණනටම ඇසට දැමිය යුතුයි. ඒ හරහා ඇසේ සුවය සාමාන්‍ය තත්ත්වයට පත් වනතුරු සිටිම අතිශය වැදගත්.

ඉන් පසුව නැවත වෛද්‍ය උපදෙස් මත කාච බද්ධ කිරීමකට යා යුතුයි. එවිට කිසිවිට අයහපතක් සිදුවන්නේ නෑ.