බොහෝ අයට ඇදුම ඇතිවන්නේ දූෂිත පරිසරය නිසයි

බොහෝ අයට ඇදුම ඇතිවන්නේ දූෂිත පරිසරය නිසයි

අද බොහෝ දෙනා අතර දක්නට ලැබෙන රෝගයක් පිළිබඳව ඔබ දැනුවත් කිරීමටයි. අප සූදානම් වන්නේ ලොකු කුඩා බාල මහලු කොයි කා හටත් වැළඳෙන ඇදුම රෝගය පිළිබඳ දැනුවත් වීම වැදගත් වන්නේ ඇදුම බොහෝවිට පරිසරය ආශි‍්‍රතව වැළඳෙන රෝගයක් බැවින් එය වළක්වා ගැනීමට අපට හැකියාවක් තිබෙන බැවිණි.

අප ගන්නා හුස්ම පොදත් සමඟ වායුගෝලයේ ඇති ඔක්සිජන්වලට අමතරව පරිසරයේ තිබෙන දූෂිත වූ අහිතකර වායුවත් ආශ්වාසය සමඟ ස්වාස නාළිකා ඔස්සේ අපේ පෙනහළු කරා ගමන් කරයි.

ඉතා සංවේදී වූ මේ ස්වාස නාළිකා දූෂණය වූ වාතය හා ගැටීමේදී රසායනික ප්‍රතිකියාවන්ට භාජනය වී අධික ලෙස ශ්ලේෂ්මල ස්‍රාවය වන්නට පටන් ගෙන ස්වසන මාර්ගයේ අභ්‍යන්තර සෛල ස්ථර ඉදිමීමට ලක් වේ. එවිට පෙනහලුවලට වාතය ගමන් කිරීමට තිබෙන ඉඩකඩ ඇහිරී හුස්ම ගැනීමට අපහසු වේ. ඇදුම ලෙස ඔබ අප හඳුන්වන්නේ මේ තත්ත්වයයි.

ඇදුම ඇතිවිමට හේතු

ඇදුම ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතු කාරක වන සාධක අතර පාරිසරික සාධක, අධික ශීතල දේශගුණය, වියළි දේශගුණයේ සිට සීතල දේශගුණයට මාරුවීම හෝ සීතල දේශගුණයේ සිට වියලි දේශගුණයට මාරු වීම, ජානමය හේතූන් මත (මව, පියා, ආච්චි, සීයා, ඇදුම තිබීම නැතිනම් පීනස සමේ දද වැනි රෝග තිබීම) ආහාරවල අසාත්මිකතා ආදිය වේ.

ඇතැම් මානසික ගැටලු දික්කසාදවීම්, වියෝවීම් අඩදබර ආදියේදී ද ඇදුම රෝගය උත්සන්න විය හැකි අවස්ථා ද තිබේ.

රෝග ලක්ෂණ

ඇදුම රෝගය යම් පුද්ගලයෙකුට සෑදී ඇති බවට දැක්වෙන ලක්ෂණ නම් හුස්ම ගැනීමට අපහසු වීම, පපුවේ හිරවීම, තද ගතිය, වියළි කැස්ස, හුස්ම ගැනීමේදී රුං රුං ශබ්දයක් ඇතිවීම යනාදියයි. විශේෂයෙන් පාරිසරික ගැටලු ඇදුමට ඍජුව බලපෑම් ඇති කරවයි.

නිවසේ ඇති දූවිලිවල අපේ ඇසට නොපෙනෙන කෘමින් ඇති අතර ඔවුන්ගේ අසූචි (ඇසට නොපෙනෙන) ආග්‍රහණය වීමෙන් ඇදුම ඇති වේ. තවද ලෝම සහිත සෙල්ලම් බඩු, බුමුතුරුණු නිදන ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට මේ සියල්ලෙහි ද කෘමීන්ගේ අපද්‍රව්‍ය රැඳී තිබිය හැක. සුරතලයට ඇති කරන බල්ලන් පූසන්ගේ ලොම් ආග්‍රහණය වීමෙන් ද ඇදුම ඇතිවීමට තිබෙන ඉඩකඩ බොහෝය.

යම්කිසි හෙයකින් ඔබේ කුඩා දරුවාට ඇදුම තත්ත්වයක් උදාවී තිබේ දැයි දැන ගැනීමට ඔබ අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ඇත. ඒවා වනුයේ නොනවතින කැස්ස, හුස්ම ගැනීමේ වේගය වැඩි වීම, පෙනහැල්ල උස් පහත් වීමේ වේගය වැඩි වීම, රුං රුං ශබ්දය ඇති වීම, ඇවිදීමට කතා කිරීමට අපහසු වීම ඇඬීම, කිරි බීමෙන් වැලකීම, ආදියයි. කුඩා දරුවන්ට තමා පෙළෙන රෝගය පිළිබඳව පැවසිය නොහැකි බැවින් මෙම රෝග ලක්ෂණ මතු වූ වහාම රෝහලකට දරුවා රැගෙන යාම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගයයි.

ඇදුම රෝගීන් නොකළ යුතු දේ

ඇදුම රෝගීන් මකුලු දැල් කැඩීම, පොත්පත් පිරිසිදු කිරීම, කාපට් පිස දැමීම, දූවිලි පිරුණු කාමර පිස දැමීම, අතුගෑම පිදුරු වැනි දේ ඇවිස්සීම ආදියෙන් වැළකී සිටිය යුතුය.

නොකළ යුතු රැකියා

වෙස් මුහුණු කැපීම, තේ කර්මාන්තශාලාවල රැකියාව කිරීම, ලී ඉරීම, ලී යතු ගෑම, ඇඟලුම් ආශි‍්‍රත රැකියා, ගුරුවරයකු නම් කලුලෑල්ලේ චොක්වලින් ලියන ලද අකුරු පිස දැමීම අලුහුණු ආශි‍්‍රත රැකියා, ගල් කැඩීම, සිමෙන්ති වැඩ ආදියෙහි ඇදුම රෝගීන් නිරත නොවිය යුතුය. හේතුව මෙම රැකියා නිසා ඇදුම තත්ත්වය වැඩි වර්ධනය වීමට ඉඩ ඇති බැවිණි.

ප්‍රතිකාර

ඇදුමට ප්‍රතිකාර වර්ග 2කි. inheler සහ ඖෂධීය ප්‍රතිකාරයි. ඇදුම රෝගීන්ට ලබාදෙන හොඳම ප්‍රතිකාරය වන්නේ ඉන්හේලර් ඖෂධීය ප්‍රතිකාර ක්‍රමයයි. මුඛයෙන් ආග්‍රහණය කරන ඉන්හෙලයේ ඖෂධ ඍජුව ස්වසන පද්ධතිය කරා ගමන් කරයි. මෙය ක්ෂණික ප්‍රතිකාර ක්‍රමයයි.. මුඛයෙන් ලබාදෙන ඖෂධවලට වඩා වැඩි මාත්‍රාවක් එකවරම ස්වසන පද්ධතියට ඉන්හෙලරය මඟින් ඇතුල් වේ. එබැවින් මෙම ප්‍රතිකාර ක්‍රමය නිසා නාගරික පෙදෙස්වල ඇදුම රෝගයෙන් සිදුවන මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වී ඇත.

ඇදුම උත්සන්න වූ විට නෙබියුලයිස් (දුම් ඇල්ලීම) ක්‍රමය මඟින් ඇඳුම සමනයට පත් කරයි. ඇදුමට නිසි ප්‍රතිකාර නොකිරීම සහ ඖෂධ නිසිලෙස භාවිතා නොකිරීමෙන් නිතර නිතර ඇදුම තත්ත්වයක් උදාවිය හැකි අතර එම තත්ත්වය හඳුන්වන්නේ Cronic Astma යනුවෙනි. මෙය යථා තත්ත්වය පත් කිරීමට අපහසුය. මෙම තත්ත්වය නිසා පෙනහලු දුර්වල වී අවසානයේ රෝගියා මිය යාමට ද පුළුවන.