ගුද මාර්ගයේ කෙළවර පැළිලා

ගුද මාර්ගයේ කෙළවර පැළිලා
 

බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ

විශේෂඥ වෛද්‍ය

ඉන්ද්‍රලතා අදිකාරම්

ලැජ්ජා නොවී වෛද්‍යවරයකු මුණ ගැසෙන්න

වැඩිපුර ගොදුරු වන්නේ තරුණ පරපුරයි

ගැබිණි සමයේ ද ඇතිවිය හැකියි

වාතය හා පිත කෝප කරන ආහාර නිසා ඇතිවිය හැකියි

යම් අවස්ථාවන් ඇති ඔබට වැළඳෙන රෝගවලදී කොතරම් දරුණු වුවත් පීඩාගෙන නොදෙන අවස්ථා සමහරවිට ඔබ ඒ සඳහා ප්‍රතිකාර කිරීම පසුවට කල් දමා දෛනිකව ජීවිතය ගෙවන අවස්ථා ගැන අත්දැකීම් ඇති. නමුත් මේ මා පවසන්නට යන්නේ එවන් තත්ත්වයකින් මිදුණු අවස්ථාවක් ගැනයි. රෝගයේ බරපතලකම කෙසේ වෙතත් රෝගය ඔබට වැළඳෙන්නේම කිසියම් පීඩාකාරී හා අසහනකාරී බව මුදුන් පමුණුවාගෙනය. එබැවින් එවැනි රෝගාබාධ සිරුරේ කොතැනක හෝ හට ගත්තත් අප ඒ පිළිබඳව දැනුවත් වීම වැදගත්. මේ එවැනි රෝගාබාධයක් ගැනයි මෙවර ලිපියේ තේමාව. බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රලතා අදිකාරම් පාඨක ඔබ වෙනුවෙන් ගෙනෙන තොරුතුරුයි මේ.

විශේෂයෙන්ම මෙම රෝගයට පාදක වන සිරුරේ අවයවය වන්නේ ගුදය ආශි‍්‍රතවයි. විවිධ රෝග ගුදය ආශි‍්‍රතව හට ගැනුනත් වඩාත්ම පීඩාකාරී රෝගය යැයි හඳුන්වාදීම වැරදි නැත.

ගුද මාර්ගයේ කෙළවර ඇතිවන පැල්ම මේ සඳහා හේතු වේ. සාමාන්‍යයෙන් ඉතාම කුඩා පැල්මක් වුවත් රෝගියෙකුට දැරිය නොහැකියි. එබැවින් මෙහි ඇතිවන පැලීම් පරිකර්තිකාව ලෙස හඳුන්වයි. වේදනාව දැරිය නොහැකියි. කැපීමක් බඳු ස්වභාවයක් හට ගැනේ. ගුදය අවට ඇති සම ඉතාමත් සංවේදී වීම හා ස්නායු අන්තවලින් ගහනය වීම වේදනාව අධික වීමට හේතුවයි. හැමවිට මෙම රෝගය වැළඳෙන අය සිටින්නේ ශාරීරික මෙන්ම මානසික වේදනාවකිනි.

රෝගය උත්සන්න වන අවස්ථාව

බොහෝවිට මෙම පරිකර්තිකාව රෝගයට බහුලවම ගොදුරු වන්නේ තරුණ පරපුරයි. ඔවුුන් රෝගයට බිය වගේම ප්‍රතිකාරයට ලැජ්ජාශීලියි. මෙම රෝගයේ උත්සන්නභාවයට ප්‍රධාන හේතුවක් ලෙස වෛද්‍යවරයෙකු වෙත නොයන අදාළ ප්‍රතිකාරවලට යොමු නොවීම දැක්විය හැකියි. මේ තත්ත්වය මත තරුණ පරපුර රෝගය පිළිබඳව පැවසීමට ලැජ්ජාශීලී වීම හෝ නොසලකා හැරීම නිසා වෛද්‍යවරයෙකු වෙත පැමිණීමට මැලිවෙති. ඒ නිසා රෝගියා මේ තුළින් ඇතිවන අධික වේදනාව දැවිල්ල, ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම නිසා දරුණු පිඩාකාරී බවට ලක් වේ. ඒ නිසා රෝගියාගේ ශක්තිය දුබල වීමට පුළුවන. හේතුව වන්නේ රෝගියාගේ ක්‍රියාකාරී ශක්තියට ඇති ඉඩකඩ ඇහිරෙන බැවිනි. මේ අනුව ක්‍රියාකාරී ශක්ති හීනවීම නිසා ආදායම් තත්ත්වය හා ඵලදායිතාවය පහත වැටීමට බලපානු ලබයි. සමාජ ආර්ථික ගැටලු සමුදායකට මුහුණදීමට ඒනිසා සිදුවේ.

රෝග ලක්ෂණ

* ගුද මාර්ගයේ කෙළවර කැපීමක් බඳු වේදනාවක් හා දැවිල්ල

* ගුද මාර්ගය අවට ප්‍රදේශය වේදනාව

* ගුද මඟින් රුධිරය පිටවීම

(මෙහිදී රුධිරය පිටවන්නේ බින්දු වශයෙන් හෝ පිට කරන මලවල ඉරක් මෙන් තැවරීමෙනි.

* මල බද්ධය

* මල පිට කිරිමේ අවශ්‍යතාව නිතර දැනෙන මුත් මල පිට නොවීම.

* ගුද මඟෙහි ස්පර්ශ කළ හැකි අංකුරයක් තිබීම.

* බඩ පුරවා දැමීම

මුත්‍ර දාහය

* ස්පර්ශ කළ විට වේදනාව

රෝගය ඇතිවන්නේ කෙසේද?

කොතරම් සඟවන්නට හැදුවත් පරිකර්තිකා රෝගයට ප්‍රතිකාර අවශ්‍යයයි. මේ රෝගය ඇති වීමට විවිධ හේතු බලපායි. ආහාර ප්‍රධාන වශයෙන් හේතු වේ. වාතය හා පිත කෝප කරන ආහාරවලින් රෝගය ඇතිවිය හැකියි. උෂ්ණාධික ආහාර ගැනීම, මල බද්ධය ඇති කරන ආහාර ගැනීම, කෙඳි සහිත ආහාර නොගැනීම, පිෂ්ටය අධික ආහාර ගැනීම, ජල පානය අඩු වීම, දිරවීමට අපහසු ආහාර ගැනීම ආදිය පරිකර්නිකාවට හේතු වේ.

වැරදි ඉරියව් නිසාද මෙම රෝගය ඇතිවීමට බලපායි. මලවේග දරා සිටිම ප්‍රධාන හේතුවකි. බොහෝ වේලාවක් හිඳගෙන සිටීම, අධික ලෙස බයිසිකල් පැදීම, රාත්‍රී නිදිවැරීම, දහවල් නිදා ගැනීම, ආදිය නිසාද පරිකර්නිකාවට හේතු වේ.

මීට අමතරව ඖෂධ හේතු විය හැකියි. සමහර ඖෂධවල අතුරු ප්‍රතිඵලයක් ලෙස පරිකර්කිකාවට ලක් වේ. ආහාර දිරවීමේ ශක්තිය අඩු රෝගීන් විසින ගන්නා උෂ්ණාධික ඖෂධ, ප්‍රබලත්වයෙන් වැඩි ඖෂධ, ලවණ රස වැඩි ඖෂධ ආදිය පරිකර්කිකාවට හේතු විය හැකියි.

වෙනත් රෝගවල හේතු මීට බලපෑ හැකි බවද ආයුර්වේදයේ සඳහන් කරයි. සමහර රෝගවල සංකූලතාවක් ලෙස පරිකර්කිකා රෝගය ඇති වේ. එනම් මල බද්ධය ඇති වීමේදී තදට මල පිටවීමේදී ගුද මඟ කෙළවර ඉරී යෑමට හැකියි. ස්වල්ප වශයෙන් පෙන හා ශබ්ද සහිතව වැඩි වාර ගණනක් ඝන මල පිට කරන වාතජ අතීසාරයේදී සංකූලතාවක් ලෙස පරිකර්කිකා රෝගය ඇති වේ. මලවේග දරා සිටීම නිසා ඇතිවන තත්ත්ව වලදී ද පරිකර්කිකාවට ඉඩ ඇත. ගැබිණි සමය ද පරිකර්කිකාවට වැඩි ප්‍රවනතාවක් ඇත.

ඊළඟට පරිකර්නිකාව ඇති වීමට ආගන්තුක හා වැරදි ලෙස ප්‍රතිකාර යෙදීම හේතු වේ.

වස්ති කර්මයේදී වස්ති බටය වැරදි ආකාරයට ගුද ප්‍රවේශ කිරීමෙන් ගුද මඟ කෙළවර තුවාල වීමට හැකියි. මෙය බොහෝවිට ගැබිනි මව දරු ප්‍රසූතියට සූදානම් කරන අවස්ථාවේදී සිදුවිය හැකි අනතුරකි.

ගුදලිංග සංසර්ගයේදී ද මෙම රෝගය ඇති වීමට බලපායි. මෙවැනි හේතුවලින් ඇතිවන පරිකර්තිකා රෝගය ඉතාමත් වේදනාකාරී නිසා මල පිට කිරීමේදී රෝගියා දැඩි අපහසුතාවට ලක් වේ. ඒ නිසා මල වේග දරා සිටීම හේතුවෙන් රෝගය නැවත නැවතත් ඇතිවිය හැකියි. මේ නිසා සුව වීම ප්‍රමාද වී රෝගය කාලීන තත්ත්වයට පත් වේ.

ප්‍රතිකාර හා වළක්වා ගැනීම

මෙම රෝගයට ස්ථානිකව හා සර්ව දේහිකව ප්‍රතිකාර කළ හැකියි. සරල ප්‍රතිකර්මයක් ලෙස ගිතෙල් ආලේප කිරීම සිදු කළ හැකියි. එහිදී තුවාල සුව වී දැවිල්ල ගතිය නැති වේ. තල තෙල් ආලේපයෙන් වේදනාව සමනය වේ.

ශාරීරිකව ඇතිවන අනෙකුත් රෝග තත්ත්වයන් දුරු කිරීමට නිසි වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

මලබද්ධය නැති කිරීමට කෙඳි සහිත ආහාර ගත යුතු අතර පිෂ්ඨය අධික ආහාර නොගත යුතුයි. ප්‍රමාණවත් තරම් ජල පානය අත්‍යවශ්‍ය වේ. ජල පානය නිසා මුත්‍රා දැවිල්ල ද දුරු වේ.

උෂ්ණාධික ආහාර නොගැනීම මල වේග දරා සිටීම වැනි වැරදි පුරුදුවලින් මිදීම ආදිය අනුගමනය කිරීම හා රෝගය ඇතිවන අනෙකුත් හේතු වලින් ද ඉවත් වීම පරිකර්තිකා රෝගය වළක්වා ගත හැකියි.