ජාතික රෝහලේදී කර්ණශංඛ බද්ධය නොමිලේ

ජාතික රෝහලේදී කර්ණශංඛ බද්ධය නොමිලේ

ජාතික රෝහල යනු රෝගී සත්කාර සේවාවේදී මෙරට කැපී පෙනෙන සේවාවන් සිදු කරණ ආයතනයකි. මෙතෙක් ජාතික රෝහල තුළ නොමිලේ සිදු නොකළ කර්ණශංඛ බද්ධ කිරීම, ආරම්භ කිරීමට පසුගියදා මුල පිරුවේය. මේ සමඟම මෙරට ජනතාවට සුවිශේෂී අවස්ථාවක් හිමිව ඇත.

ජාතික රෝහලේදී සිදු කරන කර්ණශංඛ බද්ධ සැත්කම පිළිබඳව උගුර කන නාස පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය දැක්වූ අදහස් මෙසේයි.

ජාතික රෝහලේ මෙම සැත්කම 2007 වර්ෂයේ පටන් සිදු කළා. නමුත් එය සිදු කළේ මුදල් ගෙවීමට හැකි රෝගීන් සඳහා පමණයි. එම කාලයේදී රෝගීන් දෙදෙනෙකු සඳහා නොමිලේ ප්‍රතිකාර කළා. මෙම උපකරණය මිලදී ගැනීම සඳහා රුපියල් මිලියනයක් පමණ වැය වෙනවා. ටයිටේනියම්, ප්ලැටිනම් සහ ශරීරයට ආසාත්මික නොවන ප්ලාස්ටික් ද්‍රව්‍ය යොදාගෙන මෙම උපකරණය නිමවා තිබෙනවා.

මෙම උපකරණය සවිකළ පසු කනට පිටතින් එය ඉතා පැහැදිලිව පෙනෙනවා. මෙය කන ඇතුළතින් සවි කරන උපකරණයක් නොවෙයි. ජාතික රෝහලේදී දැනට මෙම සැත්කම කරනුයේ රටේ සංවර්ධනයට යම් දායකත්වයක් සැපයිය හැකි පිරිසටයි. අප මේ වනවිට සැත්කම සිදු කිරීමට අවශ්‍ය අයගේ තොරතුරු රැස් කරනවා. කර්ණශංඛ සැත්කම මඟින් ශ්‍රවණ දුර්වලතාව මඟහරවා ගැනීමට කැමති පිරිස් තමන්ගේ ප්‍රදේශයේ ඇති රෝහලේ උගුර කන නාසය පිළිබඳ සායනයට සහභාගී වී හෝ ජාතික රෝහලේ උගුර කන නාසය පිළිබඳ සායනයට ගොස් ලියාපදිංචි විය යුතුයි. එම පිරිස් අතරින් ප්‍රමුඛතා ලැයිස්තුවක් සකසා ඊට අනුව කර්ණශංඛ සැත්කම කිරීමට බලාපොරොත්තු වෙනවා.

උපතේ සිටම කථා කිරීමට නොහැකි අයගේ ශ්‍රවණ ආබාධ සඳහා මෙයින් සහනයක් සිදුවන්නේ නැහැ. උපතේ සිට බිහිරි වූ හා පසුව බිහිරිභාවයට පත් වූ අයට මෙම සැත්කම මඟින් සුවයක් ලබාගත හැකියි.

කර්ණශංඛ බද්ධ සැත්කමේදී කන තුළ ඉලෙක්ට්‍රොනික උපකාරණයක් සවි කොට විවිධ ශබ්ද වර්ධනය කර ශ්‍රවණය කිරීමට සැලැස්වීම කරනවා.

අධික ලෙස ශ්‍රවණාබාධිත රෝගීන්ගේ ඇතුළු කනෙහි ඇසීමට අදාළ සෛල නැවත වර්ධනය නොවන ලෙස විනාශ වී තිබෙනවා. නමුත් මෙම සැත්කමේදී සවිකරණ උපකරණය මඟින් ඇසීම සඳහා වූ ආවේග එක එල්ලේම ශ්‍රවණ ස්නායුවට සැපයීම කරනවා. මෙම උපකරණය මඟින් රෝගීන්ට ලබාගත හැකි ප්‍රයෝජන රෝගියාගෙන් රෝගියාට වෙනස් වෙනවා. රෝගියාගේ වයස බිහිරි භාවයෙන් පෙලුන කාලය, ශ්‍රවණ ස්නායුවෙහි තත්ත්වය මේ සඳහා බලපාන සාධක ලෙස දැක්විය හැකියි.

සැත්කමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට නම් සැත්කමට භාජනය වන්නාගේ ශ්‍රවණ ස්නායුව සහ මොළය හොඳ ක්‍රියාකාරී තත්ත්වයෙන් පැවතිය යුතුයි.

සැත්කමෙන් පසු රෝගියාගේ මොළය විවිධ ශබ්ද හඳුනා ගැනීම ආරම්භ කරනවා. මේ නිසා සැත්කමෙන් පසු සිදු කෙරෙන පුනරුත්තාපන කටයුතු දැනුවත් කිරීම් සහ පවුලේ අයගෙන්, නෑදෑ හිතමිතුරන්ගෙන් ලැබෙන සහාය ඉතා වැදගත් වෙනවා.

කොක්ලියර් ඉම්ප්ලාන්ට් පද්ධතිය කුඩා මයික්‍රපෝනයක් ආධාරයෙන් ශබ්ද තරංග රැස්කරගෙන සවුන්ඩ් ප්‍රොපසරයක ආධාරයෙන් ඒවා විද්‍යුත් තොරතුරු බවට පත් කොට ශ්‍රවණ ස්නායුවට ලබා දෙනවා. මේ නිසා කනේ හානියට ලක් වූ කේශි සෛලවලින් කරන ක්‍රියාව කොක්ලියර් ඉම්ප්ලාන්ට් පද්ධතිය මඟින් කරනවා.