අධික තරබාරු උදරය විශාල අයට කොලෙස්ටරෝල් ඇතිවිය හැකියි

අධික තරබාරු උදරය විශාල අයට කොලෙස්ටරෝල් ඇතිවිය හැකියි

මෙවර වැඩසටහනට සහභාගී වූයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කේ.වී.සී ජානක මහතායි.

කොලෙස්ටරෝල් යනු කුමක්ද? එය ඇතිවන්නේ කෙසේද?

කොලෙස්ටරෝල් ලෙසින් හඳුන්වන්නේ අපගේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. මෙය මේද වර්ගයක් ඒ වගේම එය සමට, ස්නායු වලට, හෝර්මෝනවල මූලික සංඝටකයක් බැවින් එය ශරීරයට අත්‍යවශ්‍ය අංගයක් ලෙසින් හඳුන්වාදිය හැකියි. ඒ වගේම මෙම සංඝටකය සතුන් තුළ නොමැති මිනිස් සිරුරේ පමණක් නිපදවෙන ද්‍රව්‍යයකි. නමුත් එය මිනිස් සිරුරට වුවත් අවශ්‍ය වන්නේ එක්තරා සීමාසහිත වූ ප්‍රමාණයකට පමණි. නමුත් එහි ප්‍රමාණය සීමාව ඉක්මවා ගියහොත් එමඟින් අතුරු ආබාධ ඇතිවිය හැකියි.

කොලෙස්ටරෝල් ශරීරයේ තැන්පත් වීම පිළිබඳ කතා බහ කළොත්?

අපගේ ශරීරයට කොලෙස්ටරෝල් ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට හිමි වේ. ඉන් ප්‍රධාන ක්‍රමය වන්නේ අප ලබා ගන්නා ආහාරයි. අප ආහාර වශයෙන් ලබා ගන්නා මේදය අක්මාවට ගොස් කොලෙස්ටරෝල් බවට පරිවර්තනය වේ. අප ආහාර වශයෙන් කොලෙස්ටරෝල් ලබා නොගත්තත් අපගේ අක්මාව මඟින් ඒවා නිපදවනු ලැබේ. ඒ අනුව අපගේ ශරීරයේ රුධිර නාලවලට ආහාර හා අක්මාව මඟින් එකතු වන කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉක්මවා යන විට ඒවා වයසත් සමඟ ක්‍රම ක්‍රමයෙන් රුධිර නාලවල තැන්පත් වීමට පටන් ගනු ලැබේ. මෙසේ වයසට යනවිට මෙම ලේ නහරවල තට්ටු තට්ටු වශයෙන් කොලෙස්ටරෝල් තැන්පත් වීමට පටන් ගනු ලබන අතරම ඒ සඳහා තවත් අමතර සාධක ද බලපෑමක් ඇති කරනු ලැබේ. ඒ අතර අධි රුධිර පීඩනය, දුම්පානය, මානසික පීඩනය, ව්‍යායාම කරන ප්‍රමාණය ආදිය ප්‍රමුඛ වේ.

කෙසේ වෙතත් මෙම රුධිරවාහිනීවල කොලෙස්ටරෝල් තැන්පත් වීමේ ක්‍රියාවලියේ අවසාන ඵලය ලෙස රුධිර නාල අවහිරි විය හැකියි. මේ නිසා අපට රෝගී තත්ත්ව වලට මුහුණ දිය හැකියි. ඒ වගේම තවත් බොහෝදෙනා වරදවා වටහා ගන්නා කරුණක් ද තිබේ. එනම් රුධිරයේ කොලෙස්ටරෝල් තිබූ පමණින් ශාරීරික විඩාව, පපුවේ වේදනාව ඇති වන බව විශ්වාස කිරීමයි.

නමුත් පපුවේ කැක්කුම වැනි රෝග ලක්ෂණ ඇති වන්නේ කාලයත් සමඟ කොලෙස්ටරෝල් රුධිර නාලවල තැන්පත් වී එය අවහිර වූ විටයි. එවිට රුධිර ගමනාගමනය අඩු වී විවිධ රෝග ලක්ෂණ පහළ විය හැකියි. ඒ නිසා තමන්ට දැනෙන රෝග ලක්ෂණවලින් පමණක් තමන්ට කොලෙස්ටරෝල් වැඩියෙන් තිබෙනවාද අඩුවෙන් තිබෙනවාදැයි තීරණය කිරීමට අපහසු වේ.

මෙසේ රුධිරනාල ආශි‍්‍රත රුධිරය තැන්පත් වීම මත ඇතිවිය හැකි හානිදායක අවස්ථා මොනවාද?

අපගේ ශරීරයේ ඇති ඕනෑම රුධිර නාලයක කොලෙස්ටරෝල් තැන්පත් විය හැකියි. උදාහරණ අවස්ථාවක් ලෙස හෘදයට රුධිරය සපයන රුධිර නාලයක් පිළිබඳ සලකා බැලුවොත් එම නහරයේ කොලෙස්ටරෝල් තැන්පත් වීම මත එම නහරය මඟින් රුධිරය සැපයීම අඩපණ වී එමඟින් රුධිරය සැපයෙන කොටස අඩපණ වීම හෝ මිය යාම සිදුවිය හැකියි.

තවද මොළයට රුධිරය සැපයෙන රුධිර වාහිනියක මෙසේ කොලෙස්ටරෝල් තැන්පත් වූවොත් එහිදී අංශභාග තත්ත්වයක් ඇතිවිය හැකියි. මෙය ශරීරයේ එක රුධිරවාහිනියකට පමණක් සීමා නොවේ. ශරීරය පුරාම ඇති ලේ නහර මෙසේ අවහිර වීමේ තර්ජනයකට මුහුණ පා සිටිය හැකි අතර ශරීරය පුරාවටම අවශ්‍ය ප්‍රතිකර්ම යෙදීම ඉතාමත් වැදගත් වේ. නමුත් එක් අවහිරතාවකට පමණක් ශල්‍යකර්මයක් වැනි පිළියමක් යෙදීම ප්‍රමාණවත් නොවේ.

කොලෙස්ටරෝල් ඇති බව සැක කළහැකි අවස්ථා මොනවාද?

සාමාන්‍යයෙන් ශරීරය තුළ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය පිළිබඳ පිටතින් බැලූ පමණින් අපට පැහැදිලි අවබෝධයක් ලබාගත නොහැකියි. සාමාන්‍යයෙන් අධික තරබාරු මෙන්ම උදරය තරමක් විශාල නම් ශරීරයේ කොලෙස්ටරෝල් වැඩි බවට සැක කළ හැකි වූවත් ඒ බව නිශ්චිතව හඳුනා ගැනීමට බාහිර වශයෙන් පැහැදිලි රෝග ලක්ෂණ පමණක් ප්‍රමාණවත් නොවේ. ඇතැම් අයගේ ජානමය හේතු නිසාත්, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යා හැකි අතර එවැනි අයගේ ඇතැම් රෝග ලක්ෂණ පිටතට පෙන්නුම් කළ හැකියි. මේ අතර ඇසේ කළු ඉංගිරියාව වටා සුදු පැහැති වළල්ලක් දැක ගැනීමට හැකි වීම මඟින් හඳුනාගත හැකියි.

එය ඕනෑම අයෙකුට වයස අවුරුදු 70, 80 පමණ වනවිට දැකගත හැකි කොලෙස්ටරෝල් හේතුවෙන් ඇතිවන තත්ත්වයක් වූවත් වයස අවුරුදු 30 - 35 පමණ වනවිට මෙවැනි ලක්ෂණයක් දැකගත හැකි නම් එය එතරම් හොඳ තත්ත්වයක් නොවේ. ඒ වගේම ශරීරයේ වැලමිට වැනි ස්ථාන ආශි‍්‍රතව ඇතිවිය හැකි ගැටිති වැනි ස්වභාවය ආදියත් කොලෙස්ටරෝල් ඇති බව අඟවන බාහිර ලක්ෂණ ලෙස හඳුනාගත හැකියි.

නමුත් මේවා මඟින් සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම නිවැරදිව තීරණය කළ නොහැකි අතර ඒ සඳහා රුධිර පරීක්ෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම රුධිර පරීක්ෂණ අතර “ලිපිඩ් ප්‍රොෆයිල් පරීක්ෂණයක් සිදු කිරීමේදී පැය 12ත් 14ත් අතර ප්‍රමාණයක් නිරාහාරව සිදු කළ යුතු වේ. එවිට ආහාර මඟින් එකතුව ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය හැර ශරීරයේ රුධිරය ආශි‍්‍රත ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය මැන බලාගත හැකි වේ. මෙහිදී ජලය පානය කිරීම ගැටලුවක් නැති අතර ආහාර ගැනීම කිසිසේත් නොකළ යුතුයි.