නිසි ප්‍රමිතියෙන් තොර Sunglasses නිසා ඇස්වලට හානි සිදුවිය හැකියි

නිසි ප්‍රමිතියෙන් තොර Sunglasses නිසා ඇස්වලට හානි සිදුවිය හැකියි

“නිශාදි තාත්තත් එක්ක පොළට යන්න ලෑස්ති වුණේ අම්මා ගෙදර නවතින්න කියන එකත් අහන්නේ නැතුවමයි. නිශාදී ඉක්මනට දුවලා ගිහින් තාත්තගේ බයිසිකලේට නැඟ ගත්තේ එයා හරියට තාත්තව බයිසිකලේ දාගෙන යනවා වගේ.

කොහොම හරි නිශාදිත්, නිශාදිගේ තාත්තත් එළවළු ගන්න බයිසිකලේ පැත්තක නවත්වලා මුළු පොළ පුරාම ඇවිද්දා එළවළුවල මිල ගණන් ඇහුවම තරු පෙණුන නිශාදිගේ තාත්තා, ගෙදරට උවමනා කරන එළවළු එකක් දෙකක් ගන්න කොට අතේ තිබුණු සල්ලි ටික දන්නෙම නැතුව ඉවර වුණා. එළවළු ගැනවත්, ඒවගේ මිල ගණන් ගැනවත් අවබෝධයක් නොතිබුණු නිශාදි පොළ පුරාම ඇවිදින මිනිසුන්ගේ මුණු දිහාවේයි ඇඳුම් දිහාවේයි, මුදලාලිලා කෑ ගහන දිහායි බලාගෙන හිටියේ ටීවි බලනවා වගේ. ටික වේලාවක් යන කොට එදා දවල් වරුවේ අව්ව හොඳටම තිබුණ නිසා නිශාදිට තෙහෙට්ටුවක් නොදැනුනත් අවට හිටි හැමොම වගේ බොහොම අමාරුවෙන් පොළේ ගමන් කළේ. ටිකවේලාවකින් කළුපාට කණ්ණාඩියක් දාගත්ත ලස්සන අක්කා කෙනෙක් තමන් ළඟින් යනවා දැකලා නිශාදි ඒ දිහා කට ඇරගෙන බලාන හිටියා.

අනේ මටත් මේ වගේ කණ්ණාඩි දෙකක් තිබුණා නම් කියලා හිතෙන් දුක් වුණු නිශාදිගේ යටපත් වුණු ආශාව නැවත වතාවක් ලියලා වැඩුණේ කුඩා සෙල්ලම් අව් කණ්ණාඩි අලෙවි කරන වෙළෙන්දෙක්ව දැකලයි. අනේ තාත්තා මට එකක් අරන් දෙන්නකෝ අනේ මොකක්ද තාත්තා...... ආයේ හම්බවෙන්නේ නැහැනේ...... මට එකක් අරන් දෙනවද? නිශාදිගේ තාත්තාට ඉවරක් නැති කරදර. කෑමක් ඉල්ලලාවත් මේ තරම් කරදර නොකරන නිශාදිගේ ඉවරයක් නැති ඇවිටිලි හින්දා අතේ ඉතිරිවෙලා තිබුණු සල්ලි ටිකෙන් එළවළු ගන්නවා වෙනුවට අව් කණ්ණාඩියක් මිලට ගන්න ඔහුට සිද්ධ වුණා.” ආරෝග්‍යා අප යම් කතාන්දරයක් මෙම ලිපිය යටතේ ගෙන එනවාදැයි ඔබට සිතෙන්නට ඇති. නමුත් ආචාර්ය මිහිර වික්‍රමාරච්චි මහතා සමඟ ඔබ වෙත ගෙන එන මෙවර ලිපිය සඳහා තේමා කොටගත් මාතෘකාවට ඉහත අප දැක්වූ කථාව කදිම ආරම්භයක් සපයනු ඇතැයි අප අපේක්ෂා කළා.

සිතා බලන්න ඔබගේ කුඩා කාලය. ඔබත් ඉහත කථාවේ නිශාදි මෙන් ඔබගේ වැඩිහිටියන්ට මෙවන් ඉල්ලීම් කරමින් නිතර කරදර කරන්නට ඇති. එවන් ආශාවන් ඇති වුවද ඇත්තෙන්ම අව්කණ්ණාඩියක් පළඳින්නේ ඇයි යන හේතුව එකලදී නම් නොදන්නවා විය හැකියි. නමුත් මේ වන විට ඔබට එහි නිශ්චිත හේතුව පිළිබඳ යම් අදහසක් ඇති. ඇත්තෙන්ම අපි අව්කණ්ණාඩියක් පැළඳීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? සාමාන්‍යයෙන් එය පළඳනාවක් ලෙස භාවිතා කරනවාට වඩා අහිතකර හිරු කිරණින් (පාරජම්බුල කිරණ) ඔබගේ ඇසට ඇතිවිය හැකි හානිය අවම කරවීම සඳහා යොදා ගත හැකි කදිම උපක්‍රමයක්. අතීතයේදී නම් විලාසිතාව හෝ ලස්සන නිසා බොහෝ අය ඒවා මිලදී ගන්නට පෙළඹුණද මේ වන විට ඒවා මිලදී ගැනීමට බලාපොරොත්තු වනවා නම් එහිදී විශේෂිත කරුණු කිහිපයක් පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

ඒ අතර ප්‍රධාන වශයෙන් අව්කණ්ණාඩි පළඳින්නේ ඇයි යන කරුණද, තමාගේ ඇස් සඳහා එය සුදුසුද යන බව පිළිබඳ විමසා බැලිය යුතුයි. මේ පිළිබඳ පෙරදීද ඔබව දැනුවත් කළත් තවමත් නොදැනුවත් කමින් හෝ ඔබෙන් සිදුවිය හැකි වැරදි ක්‍රියා නිසා පණ සේ රැකගත යුතු දෑසේ ආරක්ෂාවට හානියක් විය හැකියි. ඒ නිසා නිතරම අව්කණ්ණාඩියක් තෝරා ගැනීමේදී මේ පිළිබඳ විමසා බැලිය යුතුයි. ඇතැම් අයෙක් විලාසිතාවක් යැයි සිතා කණ්ණාඩියේ වර්ණය අනුව ඒවා මිලදී ගනු ලබයි. මේවාද නිවැරදි නොවන ක්‍රියා පිළිවෙත්.

මෙවන් කරුණු කාරණාවලට අමතරව අව්කණ්ණාඩියක් මිලදී ගැනීමේදී ඇසට ගැලපෙන බවට අමතරව සැහැල්ලු බව තමාගේ කාර්යයට (උදා ක්‍රීඩාවන්ට) ගැලපෙන බවද විමසා බැලිය යුතුයි. විශේෂයෙන් මේ වන විට ලෝකයේ පවතින උසස් තාක්ෂණික ක්‍රමවේද වලට අනුකූලව නවීන තාක්ෂණ ක්‍රමවේද මීට උපයෝගී කරගෙන තිබීම නිසා ඔබගේ එක් අවශ්‍යතාවක් පමණක් නොව අවශ්‍යතා ගණනාවක් සන්ග්ලාසස් වලට සම්බන්ධිතයි. විවිධ වෘත්තීන්ට අනුව සෑමවිටම ඇසේ ආරක්ෂාව සඳහා මෙම නවතම අව්කණ්ණාඩි නිපදවා තිබීමද තවත් විශේෂිත්වයකි.

කෙසේ වෙතත් හැමවිටම ඔබගේ පහසුව සඳහාම අව්කණ්ණාඩි එසේ නැත්නම් සන්ග්ලාසස් තෝරා ගන්නවා වගේම ඒවා නිසි ප්‍රමිතියට නිපදවා තිබේදැයි අනිවාර්යයෙන්ම විමසා බැලිය යුතුය. එවන් අව්කණ්ණාඩියක් ඔබගේ ඇය ආරක්ෂා කර ගන්නවා වගේම අලංකාරයටද විලාසිතාවටද කිසිදු හානියක් ඇති නොකරන බවද විශේෂයෙන් සිහි තබා ගත යුතුයි.