ඔබේ ගැටලු අප වෙත එවන්න

ඔබේ ගැටලු අප වෙත එවන්න (වෛද්‍ය ගැටලු, ආරෝග්‍යා, ලේක්හවුස්, කොළඹ 10)

මානසික ගැටලු

හැමදේම එපා වෙලා නිදා ගන්නමයි හිතෙන්නේ

නිර්මලා - රාජගිරිය
 

බදුල්ල පළාත් මහ රෝහලේ

මනෝ වෛද්‍ය විශේෂඥ

පුබුදු පණ්ඩිතසේකර

ගැටලුව

වෛද්‍යතුමනි, මෙම ගැටලුව මාගේ මිතුරියක් හා සම්බන්ධ ගැටලුවකි. මාගේ මිතුරියට හැමදේම එපා වී ඇති බවත්, ඇයව තවත් කෙනෙකු මෙහෙයවන බවක් දැනෙන බවත් පවසයි. මීට වසරකට පමණ පෙරද මෙවැනිම තත්ත්වයක් හටගත් අතර එය දින 2කින් පමණ යථාතත්ත්වයට පත් වී ඇත. නැවතත් මෑතකදී එවැනිම තත්ත්වයක් ඇතිවිය. එවිට ඇය කිසිවෙක් සමඟ කතා කරන්නේවත් අහන දේකට පිළිතුරු දෙන්නේවත් නැත.

ඇයට එන ඇමතුමකට, කෙටි පණිවිඩයකටවත් පිළිතුරු සැපයීමට නොහිතෙන බවත් හැමවිටම නිදා ගැනීමටම සිතෙන බවත් ඇයව කවුරුන් හෝ මෙහෙයවන බවක් දැනෙන බවත් අය මට පැවසුවේ දැඩි කනගාටුවකිනි. මෙය මානසික රෝගී තත්ත්වයක්ද? රෝහලකින් මෙවැනි තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගත හැකිද? ඇය දැනට රැකියාවක නියුතුව සිටින අතර වයස අවුරුදු 23කි. අවිවාහකය. මාගේ මිතුරියට බලපා ඇති මේ ගැටලුකාරි තත්ත්වයට පිළිතුරක් ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

පිළිතුර

කවුරුන් හෝ වෙනත් කෙනෙකු හෝ යම් බලවේගයක් විසින් තමන් මෙහෙයවන බව දැනීම මනෝ විද්‍යාත්මකව හඳුනාගන්නා රෝග ලක්ෂණයකි.

එය ඉංශ්‍රීසි බසින් පැසිවිටි (Pasivity) නමින් හඳුන්වනු ලැබේ.

මෙම රෝග ලක්ෂණය බොහෝවිට දක්නට ලැබෙන්නේ භින්නෝන්මාදය නමැති රෝගී තත්ත්වයේ කොටසක් ලෙසය. අද වනවිට මනෝ විද්‍යාවේ දියුණුවත් සමඟ භින්නෝන්මාදයට, සාර්ථක, අතුරු ප්‍රතිඵල ඉතා අඩු ඖෂධ ඇත.

එවැනි ඖෂධ හැකි ඉක්මනින් මෙම රෝගියාට ලබාදිය හැකි නම් රෝගී තත්ත්වය මුල් අවස්ථාවේදීම පාලනය කරගත හැකිය.

තවද ඔබ පවසා ඇති රෝග ලක්ෂණ මෙම පැසිවිටි රෝග ලක්ෂණයක්ම දැයි දැනගැනීමටත් එමෙන්ම රෝගියාව වැඩිදුර පරීක්ෂා කිරීම සඳහාත් ළඟම ඇති රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥවරයෙකු වෙත ඉක්මනින් යොමු කිරීම සුදුසු වේ.

රජයේ රෝහල්වල මේ සඳහා පහසුකම් පවතී.

චර්ම රෝග ගැටලු

මුහුණේ දුඹුරු පැහැති ලප

වරුණි - රක්වාන

චර්ම රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

පී. එච්. චන්ද්‍රවංශ

ගැටලුව

වෛද්‍යතුමනි, මා වයස අවුරුදු 39ක විවාහක කාන්තාවක් වෙමි. සාමාන්‍යයෙන් පියකරු හා පැහැපත් වතක් හිමිය. නමුත් මෑතක සිට මාගේ මුහුනේ දුඹුරු පැහැ ලප කීපයක් මතුවෙමින් ඇත. මෙවැනි ලප වයසත් සමඟ ඇතිවන බවද මා අසා ඇත. නමුත් මෙය මට අසහනයකි. මෙම ලප නැති කර ගැනීමට ක්‍රමයක් තිබේද?

පිළිතුර

ඔබේ පැනයට අනුව Freckles සහ Melasma ලෙසින් හැඳින්වෙන ලප පැහැපත් මුහුණුවල බහුලව දැකිය හැකි ලප විශේෂයකි.

හිරු එළියට බහුලව නිරාවරණය වන නළලේ, නාසය උඩ සහ කම්මුල්වල මෙම ලප බහුලව දැකියය හැක.

Freckles- දුඹුරු  පැහැති කුඩා ලප වශයෙන් පවතින මේවා මුහුණේ දෙපැත්තේ එක සමානවව පැතිරී පවතින ලප විශේෂයකි.

Melasma- - මේවා විශාල දුඹුරු පැහැති ලප වශයෙන් පවතී. වැඩිපුරම කම්මුල් ප්‍රදේශයේ දැකිය හැකි ලප වර්ගයකි.

මෙම ලප ඇති වීමට බලපාන හේතු නම්

හිරුඑලියෙන් සමට වන හානි, ජානමය හේතු හා ඇතැම් ඖෂධ පාවිච්චිය ආදිය වේ. උදා. උපත් පාලන පෙති පාවිච්චිය නිසා Melasma ලප ඇති වේ.

තවද ප්‍රතිකාර මඟින් මේවා අඩු කරගත හැක. එනම්, හිරුඑලියෙන් වන හානිය අවම කර ගැනීම (එහිදී කුඩයක් භාවිතා කිරීම, සන් ක්‍රීම් ආලේපය වැනි පිළියම් භාවිතා කළ හැක.) ආදිය සුදුසුයි.

එමෙන්ම මෙවැනි ලප ඇති අය උපත් පාලන පෙති භාවිතා නොකළ යුතුය. එසේම ෙවෛද්‍යවරයෙකු වෙත යොමුවීමෙන් මෙවැනි ලප සඳහා ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් පවතින බැවින් ඔබ ඒ සඳහා යොමුවීම සුදුසුයි.

ලිංගාශ්‍රිත රෝග ගැටලු

යෝනි මාර්ගයේ කිරි පැහැති ද්‍රව්‍යයක්

බිමාලි - බෙලිඅත්ත
 

ලිංගික හා ලිංගාශි‍්‍රත රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

ගංගා පතිරණ

ගැටලුව

මා වයස අවුරුදු 32ක තරුණියකි. මට ඇති ගැටලුව නම් මාගේ යෝනි මාර්ගයෙන් කිරි පැහැති ද්‍රව්‍යයක් ස්‍රාවය වීමයි. මේවා දුඟදක් හෝ කැසීමක් නැත. මෙම ස්‍රාවය සැමවිටම මාගේ යෝනි මාර්ගය අවට තැන්පත් වීම නිසා නිතරම සෝදා පිරිසිදු කිරීමට සිදු වී තිබේ.

විවාහ වුවහොත් මෙය සැමියාට බෝවිය හැකි බව සිතන නිසා විවාහ වීමට ඇත්තේ බියකි. මෙය වෛද්‍යවරයෙකු හමු වී කීමට ද මා හට නොහැකිය. එම නිසා මේ සඳහා ඖෂධයක් තිබේ නම් පත්‍රයේ පළ කරන මෙන් ඉල්ලා සිටිමි.

පිළිතුර

මෙවැනි සුද යෑමේ රෝග ලක්ෂණ සහිතව විවිධාකාර ලිංගික ආසාදන තිබිය හැකියි. ඒ නිසා මෙවැනි ගැටලුවකදී පුවත්පතක් මඟින් පිළිතුරු සැපයිම අපහසු වේ.

මෙවැනි ගැටලුවකදී රෝගියා පරික්ෂා කර බැලීම බොහෝ වැදගත්ය. රෝගය හඳුනා ගැනීම සඳහා සමහරවිට ඊට අදාළ යම් පරීක්ෂණ ද කිරීමට සිදුවිය හැකියි.

නිසි ප්‍රතිකාර කිරීම කළ හැකිවන්නේ මෙවැනි තත්ත්ව සියල්ල පරික්ෂා කිරීමෙන් පසුවයි.

එබැවින් ඔබ ළඟම පිහිටි රෝහල් ලිංගාශි‍්‍රත රෝග සායනයට යොමුවීම සුදුසුය. එහිදී ඔබගේ තොරතුරුවල රහස්‍යභාවය සුරක්ෂිත වීම පිළිබඳ ගැටලුවක් ඇති නොවන අතර ඒ පිළිබඳ බියක් ඇති කර නොගෙන ප්‍රතිකාර සඳහා යොමවන්න.

පෝෂණ ගැටලු

මහත පාලනයටම වෙන් වූ පිටි වර්ග බීම සුදුසුද?

නාවල - අෂාන්ති

පේරාදෙණිය වෛද්‍ය පීඨයේ පෝෂණවේදය පිළිබඳ

මහාචාර්ය සුධීර කළුපහන

ගැටලුව

වෛද්‍යතුමනි, මා වයස අවු. 42ක කාන්තාවක් වෙමි. තරමක් තරබාරු සිරුරක් සහිතය. මේ හේතුවෙන් මහත පාලනය කර ගැනීමේ අදහසින් යම් පිටි වර්ගයක් භාවිතා කරමි.

නමුත් මට ඇති ගැටලුව වන්නේ මේ පිටි වර්ගය දියකර පානය කිරිමේදී යම් අප්‍රසන්නතාවක් ඇති වීමයි. මෙසේ ද්‍රාවණයක් ලෙස සකස් කර බීමට අපහසු වුවත්, එය හැන්දකට ගෙන කෑමේදී එවැනි අප්‍රසන්නතාවක් නොදැනෙයි.

වෛද්‍යතුමනි, මෙසේ පිටිකිරි දියකර පානය කරනවා වෙනුවට මෙසේ කෑමට ගැනීමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය අත් කර ගත හැකිද? නැතිනම් එය නුසුදුසු දැයි කරුණාකර පහදා දෙන්න.

පිළිතුර

ඔබේ ගැටලුව අනුව බර පාලනය කර ගැනීමේ අරමුනින් ඔබ ලබාගන්නා පිටි වර්ගය පිළිබඳ අවබෝධයකින් තොරව නිශ්චිත පිළිතුරක් ලබාදිය නොහැකියි.

එබැවින් වඩාත් සුදුසු පියවර වනුයේ ඔබගේ වෛද්‍යවරයා වෙතින් විමසා මේ පිළිබඳ උපදෙසක් ලබා ගැනීමයි.