වැලමිටේ සහ මැණික් කටුවේ වේදනාවක්

වැලමිටේ සහ මැණික් කටුවේ වේදනාවක් Tennis Elbow

මිනිස් සිරුරේ ඕනෑම තැනක ආබාධයක් ඇතිවීම ස්වාභාවිකය. එහෙත් බොහෝ විට ආබාධ ඇතිවන්නේ නොසැලකිල්ල නිසා විය යුතුය. පුද්ගලයකු තම කාර්යයන්හි යෙදීමේ දී එය ඕනෑකමින් හා අවධානයෙන් සිදු කරන්නේ නම් සාර්ථකව තම කාර්යය නිමා කිරීමට හැකිවන්නා සේම වෙහෙසක් ද නොදැනේ. නිතර මිනිස් සිරුරේ ආබාධයන් නිසා අපහසුතාවලට ලක්වන පුද්ගලයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුත්තේ කුමකට ද?

ඉහත කී පරිදි යොමු කළ අවධානය අනුව වැලමිට හා මැණික් කටුව ආශ්‍රිතව සිදුවන ආබාධ බහුලව ඇතිවන බව පෙන්වා දිය හැකිය. මෙකී ආබාධය ඇතිවීමට කරුණු රැසක් බලපාන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද මෙහි අවදානමට බෙහෙවින් මුහුණ දෙති. කෙසේ වෙතත් ‘ටෙනිස් එල්බෝ‘ නමින් හඳුන්වන මේ ආබාධයට ගොදුරුවන බහුතරය කාන්තාවන් ය. මෙනමින් හඳුන්වන තත්ත්වය නිසා වැලමිටෙන් පිටත වේදනාවක් ඇති වේ. මැණික් කටුව ආශ්‍රිත සියලු චලනයන් පාලනය කරන පේශි සියල්ල ආරම්භ වන්නේ වැලමිටේ පිටපැත්තෙහි ඇති අස්ථි ප්‍රසරයකින් හා ඇතුළු පැත්තේ ඇති අස්ථි ප්‍රසරයකිනි.

මැණික් කටුවෙන් අත ඉහළට ඔසවන පේශිය ආරම්භ වන්නේ වැලමිටේ පිටපැත්තේ ඇති අස්ථිප්‍රසරයෙනි. යම් හෙයකින් අත ඉහළට එසවීමේ දී අසාමාන්‍ය ඇදීමකට ලක්වුවොත් හෝ තැලීමකට ලක් වු‍වොත් එම ස්ථානය ඉදිමීමකට ලක් වේ. එය ටෙනිස් එල්බෝ ලෙස හඳුන්නු ලැබේ. පේශි අසාමාන්‍ය ඇදීමකට ලක්වීම, පේශිවලට දරාගත නොහැකි බරක් එසවීම, තල්ලුකිරීම, ටෙනිස්, බැඩ්මින්ටන් වැනි ක්‍රීඩා නිතර නිතර සිදුකිරීම - වළලුකර ආශ්‍රිත පේශි යොදාගෙන කරන කාර්යයන් සඳහා පේශි ශක්තිමත් නොවීම සහ අධිඋපයෝගීතාවට (යම් කාර්යයක් දිගින් දිගට ඒකාකාරීව සිදුකිරීම) ලක්වීම ටෙනිස් එල්බෝ තත්ත්වය ඇතිවීමට හේතු වේ.

කෙසේ වෙතත් කුමන කාරණයක් නිසා හෝ ආබාධයට ලක් වූ පසු පළමුවෙන් කළ යුත්තේ වේදනාව අඩුකර ගැනීමට වේදනා නාශක ලබා ගැනීමය. ඉන් පසුව මැණික් කටුව ආශ්‍රිත චලනයන් සීමා කිරීම හා අනවශ්‍ය ආකාරයේ පීඩනයක් මැණික් කටුවට යොමු නොවීමට වගබලා ගත යුතුය. සාමාන්‍යයෙන් ගෘහණියක් නම් පොල්මිරිකීම, රෙදි මිරිකීම වැනි කාරණා ද අවම කර ගන්නේ නම් යහපත් ය.

වැලමිට ආශ්‍රිත පේශි ඇදීම අවම කිරීම සඳහා ටෙනිස් එල්බෝ බෑන්ඩ් එකක් භාවිතා කළ හැකිය. වැලමිට ආශ්‍රිත අස්ථි ප්‍රසරයට අඟල් 1 1/2ක් පමණ පහතට වන්නට එල්බෝ බෑන්ඩ් එක සවිකළ යුතුය. එහි තිබෙන කුෂන් එක වැලමිට සන්ධියේ පිට පැත්තේ පේශි කාණ්ඩයේ මැද කොටසට වන්න සවිකරගත යුතුය.

කෙසේ වෙතත් මැණික් කටුව ආශ්‍රිත චලන පරාසය උපරිම වන ආකාරයට වැලමිට හා මැණික්කටුව අතර කොටස ඇදීමට ලක් කළ යුතුය. ඇදීමට ලක් කිරීමේ දී තත්පර පහක කාලයක් වාර හයක් පමණ සිදුකළ යුතුය. එසේම යට බාහුවේ පේශි ශක්තිමත් කිරීම සඳහා ඩම්බෙල් එකක් භාවිතා කර ව්‍යායාම් කළ හැකියි.

මේ ආකාරයට ව්‍යායාම් වෙත යොමුවූ පසු ද වේදනාවෙහි අඩුවක් නොමැති නම් ස්ටෙරොයිඩ් වර්ගයේ එන්නතක් ලබාදී වේදනාව අඩුකර ව්‍යායාම් වෙත යොමුවිය හැකිය. මෙවැනි ආබාධයක් මතු නොවීමට නම් පේශි හොඳීන් ශක්තිමත් කිරීමට strengthening exercises සිදුකිරීම ඉතා වැදගත් ය.

එසේම අධිඋපයෝගීතාවයට ලක් නොවන සේ තම කාර්යයන් සිදු කිරීම මින් මිදීමට කදිම පිළිතුරකි. මේ තත්ත්වය ක්‍රීඩා කරන, නොකර ඕනෑම අයකුට ඇතිවිය හැකියි. එනිසා මේ ආබාධය වළක්වා ගැනීමට හැකි තාක් අවධානයෙන් යුතුව තම කාර්යයන් සිදු කරන්නේ නම් හැකියාව ඇත.