ස්ප්‍රේ කෝලා පානය කරන්නට එපා

ස්ප්‍රේ කෝලා පානය කරන්නට එපා

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක්

පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවීමේ අරමුණෙන් වෙළඳපලට නිකුත් කර ඇති “ස්පේ‍්‍ර කෝලා” නමැති ආනයනික පැණි බීම වර්ගය භාවිත කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

විශේෂයෙන්ම පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් පාසල් හා විවිධ ස්ථාන ආශි‍්‍රතව අලෙවි කරන මෙම පැණි බීම මේ වනවිට මුළුමනින්ම නීති විරෝධි බීම වර්ගයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව මෙම බීම විකිණීම නීති විරෝධි බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා සඳහන් කරයි.

කිසියම් රසායන ද්‍රව්‍යයක් වැඩිපුර මුසුකර සකස් කරන මෙම පානය හේතුවෙන් දරුවන් මත්ද්‍රව්‍යයවලට ඇබ්බැහි වීමේ හැකියාවක් පවතිනු ඇතැයි සැක කෙරේ.

මෙම ස්පේ‍්‍ර කෝලා පැණිබීම වර්ගයේ සාම්පල තුනක් මේ වනවිට රජයේ රස පරික්ෂකවරයාට හා කාර්මික තාක්ෂණික ආයතනයට භාරදී ඇති අතර, එහි අන්තර්ගත වී ඇති රසායනය හා ඉන් සිදුවිය හැකි බලපෑම පිළිබඳව මේ වනවිට සොයා බලමින් පවතින බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

එහිදී දෙමාපියන් විසින් තම දරුවන්ගේ කටයුතු පිළිබඳ අවධානය යොමු කරන අතරේදී ඔවුන් ආහාරයට ගන්නා ආහාර පාන හා ඇසුරු කරන අය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කරන ලෙස ඒ මහතා මව්පියන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටී.