ඔබගේ පාද පවා අහිමිවීමට ඉඩ සලසන සෙලියුලයිටීස්

ඔබගේ පාද පවා අහිමිවීමට ඉඩ සලසන සෙලියුලයිටීස්

අපේ සමේ සිදුරකින් හෝ සුළු තුවාලයකින් සමේ පටකවලට බැක්ටීරියාවක් ඇතුල් වී අවසානයේදී ඔබට පාදයක් හෝ පාද දෙකම අහිමි කරවීමට තරම් අකාරුණික තත්ත්වයකට ඔබව ඇද දමන රෝගයක් පිළිබඳවයි, අද සාකච්ඡාවට බඳුන් වන්නේ “සෙලියුලයිටීස්” නමින් හඳුන්වන මෙම රෝගී තත්ත්වයට පාදක වන බැක්ටීරියාව වන්නේ ස්පෙක්ටෝකොකර්ස් නැමැති බැක්ටීරියාවයි. සිරුරේ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්ට ඉක්මනින් පැතිර යා හැකි මෙම රෝගි තත්ත්වය වැළඳෙන්නේ කිනම් ආකාරයකට දැයි සොයා බලමු.

කුඩා තුවාලයක්, මදුරුවෙක් දෂ්ට කිරීමක්, සුළු කැපීමක්, සීරිමක්, ඇඟිලිකරු අතර පැසවීමක් දිලීර ආසාදනයක් නිසා ඇතිවන තුවාලයක් මඟින් මෙම බැක්ටීරියාව ඇතුල්වෙනවා. එවිට රුධිර සැපයුමට උපකාරී වන ධමනි, ශිරා වසාවාහිනී සියල්ල අවහිර කර පාදය අසාමාන්‍ය තත්ත්වයකට පත්වීම හේතුවෙන් පාදයට වතුර එකතු වීමක් සිදුවනවා. එවිට පාදය ඉදිමෙන්නට පටන් ගන්නවා.

මෙම රෝගය ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වන්නක් සුළු රෝග ලක්ෂණ පළමු දිනයේ පෙන්නුම් කළද පසුදින වන විට රෝග ලක්ෂණ වැඩි වශයෙන් මතු වන්නට පටන් ගෙන පාදය සොලවන්නට බැරි තත්ත්වයකට පවා පත්විය හැකියි.

රෝග ලක්ෂණ

ඇඟ සීතල වීම, වෙව්ලා, උණ ගැනීම, පැය කිහිපයකදී පාදයේ බර ගතියක් දැනීම දින කිහිපයකින් පාදය රතු වීම, ඉදිමීම, රතු පැල්ලමක් සේ පැතිර යාම, පාදයේ දැඩි වේදනාව කෙසේදයත් පාදය යන්තමින් හෝ ස්පර්ශ කිරීමට නොහැකි වීම. තුවාලය නොමැති පාදය හා සැසඳීමේදී තුවාලය තිබෙන පාදය දැඩි ලෙස රස්නය දැනීයි. “සෙලියුලයිටීස්” රෝගයට වයස් සීමාවක් නැත. නමුත් වයස්ගතවීමේදී රෝගය වැළඳීමේ ප්‍රවණතාවය වැඩි වන්නේ වයස්ගතවීමත් සමඟ සිරුරේ ප්‍රතිශක්තිය හීන වන බැවිනි.

“සෙලියුලයිටීස්” සිරුරේ ඕනෑම ස්ථානයක වැළඳිය හැකි නමුදු පාදයේ “සෙලියුලයිටීස්” වැළඳීමේදී තත්ත්වය එතරම් සුබදායක නොවේ. පාදයක “සෙලියුලයිටීස්” වැළඳීමේදී හරියාකාරව ප්‍රතිකාර නොලද්දේ නම් පාදය පවා අහිමි වීමට තිබෙන අවදානම වැඩිය.

නමුත් පියයුරු, වෘෂණ කෝෂය, අත් ආදී ස්ථානවල “සෙලියුලයිටීස්” වැළඳීමේදී එම තත්ත්වයන් ප්‍රතිජීවක ඖෂධ මඟින් සුව කළ හැක.

විශේෂයෙන්ම දියවැඩියා රෝගීන්ට “සෙලියුලයිටීස්” වැළඳීමේ ප්‍රවණතාවය වැඩිය. දියවැඩියා රෝගීන්ගේ පාදයක් කැපීමට බොහෝවිට “සෙලියුලයිටීස්” හේතුවන අවස්ථා ද නැතුවා නොවේ. විශේෂයෙන්ම රෝගය පාලනය නොකරන දියවැඩියා රෝගීන්ට “සෙලියුලයිටීස්” වැළඳෙනහොත් ඉතා ඉක්මණින් අවදානම් තත්ත්වයට රෝගියා පත් වේ.

විශේෂයෙන්ම දෙපා නිරෝගීව තබා ගන්නා අයට “සෙලියුලයිටීස්” වැළඳීමේ අවදානම අඩු වේ. පාදවල පටකවල ඇති නිරෝගි භාවය රෝගය වළක්වා ගැනීමට හොඳම ක්‍රමයයි. පාදවල තිබෙන ස්නායුවල රුධිර සංසරණය හරියාකාරව සිදුවීම, දැනීමේ හැකියාව, ධමනිවලට සහ ශිරාවලට රුධිරය සැපයීම ක්‍රමවත්ව පැවතීම ධමනි පද්ධති සහ ශිරා පද්ධති හරියාකාර ක්‍රියා කිරීම නීරෝගී පාදවල ආවේනික ලක්ෂණයයි.

නමුත් කාලාන්තරයක් තිස්සේ පවතින කුෂ්ඨ, ඒවා නිතරම කැසීමට ලක් වී තිබීම, ඇඟිලි කරු අතර දිලීර Fungus නියපොතු පිරිසිදුකම තබා නොගැනීම, නහර ගැට ගැසීමේ රෝගය තිබීම සෙලියුලයිටීස් රෝගයට අතවැනීමකි. එසේම එක තැන වාඩි වී රැකියාව කරන අයගේ පාද නිතැනින්ම ඉදිමීමට ලක්වන බැවින් පාදවලට ව්‍යායාම් ලබා දීම වඩාත් යෝග්‍යය.

සෙලියුලයිටීස් රෝග ලක්ෂණ මතු වූ සැනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍යය. මෙම රෝගය සීඝ්‍රයෙන් වර්ධනය වන නිසා ඉක්මණින් වෛද්‍යවරයෙකු වෙත යොමු වීමෙන් ප්‍රතිජීවක ඖෂධ මඟින් සම්පූර්ණයෙන්ම සුවපත් කළ හැක. නමුත් ප්‍රමාද වුවහොත් රෝහල් ගතකොට ශිරාගත ප්‍රතිජීවක එන්නත් ලබාදිය යුතුය.

ඔබ ප්‍රමාද වුවහොත් ඔබේ ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවක් විය හැකිය. සෙලියුලයිටීස් වලින් ආරක්ෂා වීමට නම් දෙපා අතිශයින් පිරිසිදුව තබාගත යුතුය. බැක්ටීරියා, විෂබීජ ඇතුල් වන්නේ අපිරිසිදුකම නිසා බැවින් වළක්වාගත හැකි මෙම රෝගයෙන් වැළකී දෙපා අහිමි වීමට තිබෙන ඉඩකඩ වලක්වා ගැනීම ඔබ සතු වගකීමකි.