මැදපෙරදිගින් සහ කොරියාවෙන් මෙරටට ඇතුල්විය හැකි මර්ස් කොරෝනා වෛරසය

මැදපෙරදිගින් සහ කොරියාවෙන් මෙරටට ඇතුල්විය හැකි මර්ස් කොරෝනා වෛරසය

මර්ස් කොරෝනා වෛරස් යනු අපට අලුත් නමකි. එය මේ අවධියේ ලෝකයට ද අලුත් නමකි. එය MERS - CoV (Middle east Respriratory syndrome - corona Virus Infection) ලෙස හඳුන්වනු ලැබේ.

තවද මෙය ප්‍රධාන වශයෙන් මැද පෙරදිග රටවල පැතිර යන ස්වසන රෝගයක් ලෙසද හඳුන්වනු ලැබේ. එමෙන්ම මෙය මේ වනවිට විශේෂයෙන්ම කොරියානු රටවල් ආශි‍්‍රතව පැතිර යමින් පවතින රෝගයකි. මේ අවධියේ ශ්‍රී ලංකිකයින් බහුල, වශයෙන් මැදපෙරදිග, කොරියාව වැනි රටවල සේවයේ නියුතුවනවා මෙන්ම එහි සිට මෙහි ගුවන් මඟින් පැමිණෙන බැවින් ද, ගුවන් තොටුපළ හරහා මෙම මර්ස් කොරෝනා වෛරසය ආසාදනය මෙරටට ඇතුළු වීම වැළැක්වීමේ අරමුණින් හා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයට පැමිණෙන හා පිටවන මඟීන් ආරක්ෂා කර ගැනීම් අරමුණෙන්, සෞඛ්‍ය අමාතශ්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය හා ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම ඒකාබද්ධව මේ වනවිට වැඩපිළිවෙලක් ආරම්භ කොට තිබේ.

ඒ අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ස්ථාපිත කර ඇති සෞඛ්‍ය ඒකකය මඟින් දවසේ පැය විසිහතර පුරා විදේශයන්හි සිට පැමිණෙන හා පිටවන මඟීන් දැනුවත් කිරීම හා රෝග ලක්ෂණ පිළිබඳ සැලකිල්ලෙන් සිටිමින් හා විශේෂයෙන් කොරියානු හා මැද පෙරදිග රටවල සිට පැමිණෙන මගීන් මෙන්ම අදාළ රෝග ලක්ෂණ සහිත මගීන් පරීක්ෂා කර වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙළක් මෙහිදී ක්‍රියාත්මක වේ. ඒ සඳහා වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු කාර්යය මණ්ඩලයක් මෙහි ක්‍රියාත්මක වෙයි. එහිදී වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය මඟීන් පමණක් ඒ සඳහා යොමු කෙරෙන අතර අනවශ්‍ය ආකාරයෙන් මඟීන් පරීක්ෂා කිරීමට රඳවා ගැනීමක් සිදු නොකරන බවද සඳහන් කළ යුතු වේ.

මර්ස් කොරෝනා වෛරස් (MERS - CoV)

මෙය මුල් වරට 2012 දී සවුදි අරාබියෙන් හඳුනාගනු ලැබූ වෛරසයකි. නමුත් ඒ වකවානුවේ පැතිරී යන මට්ටමක නොතිබුණත් අද වනවිට එය රට රටවලට පැතිරී යාමේ අවදානමක් පවතින බැවින් ජාත්‍යන්තර වශයෙන් මේ පිළිබඳ අවධානයක් යොමු වී තිබේ.

මෙහි විශේෂත්වය නම් සාමාන්‍ය හෙම්බිරිස්සාවේ රෝග ලක්ෂණ හා මෙම වෛරසයේ රෝග ලක්ෂණ ද සමාන වීමයි.

තවද මෙය ප්‍රථමයෙන් ඔටුවන් වෙතින් මිනිසාට ආසාදනය වූ තත්ත්වයක් හැටියට සාධක මඟින් හඳුනාගෙන ඇත.

පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවන්නේ කෙසේද?

බොහෝදුරට පුද්ගලයින් සමීපව ඇසුරු කිරීම හරහා මෙය පැතිරීමේ අවදානමක් සහිතය. එනම්, උදාහරණයක් ලෙස කිවිසුම් යෑමෙන් පසු එම අතින්ම තවත් තැනක් ස්පර්ශ කිරීමෙන් හා එම ස්ථානය වෙනත් කෙනෙකු විසින් ඇල්ලීමෙන් මෙය පහසුවෙන් තවත් පුද්ගලයෙකුට ආසාදනය විය හැක. එසේම ආසාදිත පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුව ස්පර්ශ කිරීමෙන්, සිප ගැනීමකින් ආදියෛන් තවත් පුද්ගලයෙකුට ආසාදනය විය හැකිය.

බෝවීමේ අවදානම ඇත්තේ කෙබඳු අයටද?

මෙම රෝගය පවතින රටවල සංචාරය කොට පැමිණෙන අයට මෙම අවදානම පවතියි.

තවද ඔටුවන් ඇති කරන, වෙළඳාම් කරන ඔටු කිරි ආදිය පානය කරන අය, ඔටු මස් නිසිලෙස නොපිස ආහාරයට ගන්නා අය ද අවදානමක් සහිත අය වේ.

රෝග ලක්ෂණ

පෙර සඳහන් කළ අයුරින්ම මෙහි මූලික රෝග ලක්ෂණ අප අත් දකින සාමාන්‍ය හෙම්බිරිස්සාවේ රෝග ලක්ෂණවලට සමාන වේ. සොටු දියර ගැලීම කිවිසුම් යෑම, හිසරදය ආදියට අමතරව රෝගය දරුණු තත්ත්වයකට යම් හෙයකින් පත් වුණොත් හුස්ම ගැනීමේ අපහසුතාවක් ද ඇතිවිය හැකියි. (මෙය ස්වසන පද්ධතියට සම්බන්ධ රෝගයකි.)

ඊට අමතරව මෙම වෛරසය පෙනහලුවලින් රුධිරයට ගමන් කර සිරුරේ සෙසු ප්‍රධාන ඉන්ද්‍රියන්වලට පැතිරී සෙප්ටික් ෂොක් නමැති තත්ත්වයට පත්විය හැකියි. යම් අවස්ථාවක එයින් රෝගියා මරණයට පවා පත්විය හැකියි. නමුත් වෛරසය ශරීරගත වන සියලුදෙනාටම මෙය අසාධ්‍ය ලෙසින් බලනොපායි. ඉතාම කලාතුරකින් සුළු පිරිසකට පමණක් මෙවැනි බරපතල තත්ත්වයක් බලපෑ හැකියි.

රෝග ලක්ෂණ ඇති වීමෙන් පසු අසීරු තත්ත්වයන්ට මුහුණ දිය හැකි අය නම් කුඩා දරුවන්, ප්‍රතිශක්තිය අඩු අය, වයස්ගත අය මෙන්ම දිගුකාලීන නිදන්ගත රෝග ආදියෙන් පෙළෙන අය ස්වසන පද්ධතියේ රෝග සහිත අයට පහසුවෙන් මෙය බලපෑ හැකියි.

ඊට අමතරව වෛරසය ශරීරගත වී තිබුණත් රෝග ලක්ෂණ නොපෙන්වා සිටින අය ද සිටිය හැකියි. නමුත් ඔවුන්ගෙන් සෙසු අයට වෛරසය පැතිරිය හැකියි.

දැනට මේ සඳහා කිසිදු ප්‍රතිකාරයක් නැති අතර රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීම පමණක් සිදු වෙයි.

වළක්වා ගැනීමට කළ හැකි දේ

එදිනෙදා ජීවිතයේ කටයුතු කිරීමේදී පරිසරයේ විවිධ දේ ඇල්ලීමට සිදු වෙයි. නමුත් ඒවා ස්පර්ශ කිරීමෙන් පසුව මුහුණ ඇල්ලීමෙන් වැළකිය යුතුයි. විශේෂයෙන් නාසය, ඇස් ආදිය ස්පර්ශ කිරිමෙන් වැළකිය යුතුයි. දෑත් සේදීමෙන් පසුව එවැනි දේ සිදු කරන්න. නිතර සබන් ගා අත් සේදීම - මෙයින් බොහෝදුරට වෛරසය ශරීරගත වීම වළක්වා ගත හැකි වේ.

කිවිසුම් යවන විට ටිෂූ එකක් භාවිත කරන්න. පසුව එම අපිරිසිදු කඩදාසි පියන සහිත කසළ බඳුනකට ආරක්ෂාකාරීව බැහැර කරන්න. එයින් පැතිරීම අවම වේ.

ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියක් නැති විට අතින් මුහුණ අල්ලා කිවිසුම් යවනවා වෙනුවට නාසයට වැලමිට තබා කිවිසුම් යවන්න. එයින්ද පැතිරීම අවම කරගත හැකියි.

කෝප්ප පිඟන්, තුවා පොදුවේ පාවිච්චි කිරීමෙන් වළකින්න.

පොදු ස්ථාන ස්පර්ශ කිරීමෙන් (පඩිපෙළ අත් වැටවල්, දොර ලොක්, මේස ආදිය)

යම්කිසි පුද්ගලයෙකුට මෙම වෛරසය ඇතැයි සැක කරනවා නම් එබඳු ස්ථානවල මුහුණ ආවරණයක් සහිතව කටයුතු කරන්න. ඊට අමතරව තමාට මෙම රෝග ලක්ෂණ ඇතැයි සැක කරනවා නම් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකට වඩා අපහසු රෝග ලක්ෂණ විශේෂයෙන් හුස්ම ගැනීමේ ගැටලුවක් ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවීම වැදගත්ය.