ලිංගිකව සක්‍රීය කාන්තාවන්ට ඇතිවන ලිංගාශ්‍රිත ආසාදන

ලිංගිකව සක්‍රීය කාන්තාවන්ට ඇතිවන ලිංගාශ්‍රිත ආසාදන

බොහෝදෙනෙකු ලිංගාශි‍්‍රතව ඇතිවන රෝග සමාජයෙන් සඟවන්නට උත්සාහ ගන්නේ ලැජ්ජාව හා සමාජයෙන් එල්ලවිය හැකි අපවාදයන්ගෙන් බේරීම සඳහාය. මෙය වෛද්‍යවරුන්ගෙන් ද සැඟවීමට උත්සාහ කිරීම නිසා රෝග තත්ත්වය බොහෝවිට සමාජය පුරා පැතිර යාමක් ද දැකිය හැකිය.

ලිංගාශි‍්‍රතව ඇතිවිය හැකි රෝගවල ස්වභාවය පිළිබඳව ප්‍රජා විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා අදහස් දැක්වූයේ මෙසේයි.

ලිංගික ප්‍රදේශවල හටගන්නා ආසාදන ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. ලිංගික එක්වීම නිසා සහ ලිංගික එක්වීමක් නොමැතිව ඇතිවන ලිංගාශි‍්‍රත රෝග මෙම දෙයාකාරය.

ආසාදනයක් ඇති වීමට හේතුවන්නේ ක්ෂුද්‍ර ජීවීන් හෙවත් විෂබීජයන් ය. ඒවා වෛරස්, බැක්ටීරියා හෝ දිලීර කාණ්ඩයට අයත් වේ.

ලිංගිකව බෝ නොවන ආසාදන කෙරෙහි අප වැඩි සැලකිල්ලක් නොදැක්වුව ද එවැනි ආසාදන බහුලව පවතී. අප ශරීරයේ බොහෝ ස්ථානවල ක්ෂුද්‍ර ජීවීන් දක්නට ලැබේ. සමෙහි, මුඛයෙහි, යෝනි මාර්ගය තුළ සහ ගුද මාර්ගය තුළ බැක්ටීරියා, වෛරස් සහ දිලීර සහයෝගයෙන් සමතුලිතව ජීවත් වෙති. සමතුලිතව පැතිර ඇති ක්ෂුද්‍ර ජීවීන්ගෙන් එක් කාණ්ඩයක් සමතුලිතතාව බිඳිමින් සීඝ්‍ර වර්ධනයක් දැක්වුවහොත් ඒ අවට ඇති පටකයන් ද විනාශයට පත් වී තුවාල හෝ වණ ඇතිවිය හැකිය.

එවැනි අස්වාභාවික තත්ත්ව ආසාදන ලෙස හඳුන්වයි.

ලිංගාශි‍්‍රත ආසාදන බොහෝවිට ගුද මාර්ගය තුළ හෝ යෝනි මාර්ගය තුළ ඇති වේ. මුත්‍රා ආසාදන, යෝනි මාර්ගයේ හටගන්නා බැක්ටිරීයා ආසාදන මුත්‍රාශයේ ආසාදන හා මධුසමයේදී හටගන්නා මුත්‍රා ආසාදන ලෙස ඒවා වර්ග කළ හැකිය.

මුත්‍රා ආසාදන - Acute Urethritis

මුත්‍රා දැවිල්ල, නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාව, යටිබඩේ අපහසුතාව හෝ වේදනාව, යෝනි ප්‍රදේශයේ වේදනාව රෝග ලක්ෂණ ලෙස දැක්විය හැකිය. ඇඟ සීතල කර උණ ගැනීම, කොන්දේ කැක්කුම, ආහාර අරුචිය මුත්‍රා අවපැහැගැන්වීම ආසාදන තත්ත්වය උග්‍ර වූ විට ඇතිවිය හැකි තත්ත්වයන්ය. මේ සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාගත හැකිය. මුත්‍රා පරීක්ෂාවකින් පසු ප්‍රතිකාර කළ යුතුය.

යෝනි මාර්ගයේ හටගන්නා බැක්ටීරියා ආසාදන - Bacterial vaginosis

මෙවැනි තත්ත්ව ලිංගික වශයෙන් වැඩි ක්‍රියාකාරී කාන්තාවන්ට බොහෝවිට ඇති වේ. අළු වර්ණයට හුරු සුදු පාට පිළීගඳින් යුත් පෙණ සහිත දියරයක් යෝනි මාර්ගයෙන් ස්‍රාවය වේ. යෝනි මාර්ගය තුළ සහ පිටත දැවිල්ලක් ද හට ගනී.

වෛද්‍යවරයා විසින් නියම කරනු ලබන ප්‍රතිජීවක ඖෂධ, පෙති පානය කිරීමෙන් හා යෝනි මාර්ගයේ තැන්පත් කරනු ලබන පෙති හෝ ක්‍රීම් මඟින් රෝගය සුවපත් කරගත හැකිය.

මුත්‍රාශයේ ආසාදන - Cystitis 

පෞද්ගලික පිරිසුදුතාව නිසිලෙස පවත්වාගෙන නොයාම සහ අපිරිසුදු තත්ත්වයන් යටතේ ලිංගික සංසර්ගයේ යෙදීම නිසා මුත්‍රා මාර්ගය තුළටත්, මුත්‍රාශය තුළටත් ඇතුළු වී ආසාදන ඇති වේ.

බොහෝවිට මුත්‍රාශයේ ආසාදනවලට හේතුවන්නේ බැක්ටීරියාවන්ය. මුත්‍රා දැවිල්ල, ඉක්මනින් මුත්‍රා කිරීමට අවශ්‍ය වීම, මුත්‍රා හොඳින් පිට නොවීම, යටිබඩේ වේදනාව, ඇඟ සීතල කර උණ ගැනීම, කොන්දේ කැක්කුම යන රෝග ලක්ෂණ ඇති වේ. මුත්‍රා රතු පැහැයෙන් හෝ අවපැහැයෙන් යුක්ත වේ. මුත්‍රා පරීක්ෂා කළ විට එහි රතු රුධිරානු, සුදු රුධිරානු සහ විෂබීජ විශාල වශයෙන් දැකිය හැකි අතර මුත්‍රා තුළින් දුඟදක් ද ඇති වේ.

මුත්‍රා ආසාදන දින දෙකක් ඇතුළත ඉබේම සුව වේ. ජලය සහ දියර වර්ග වැඩිපුර පානය කිරීම, ලිංගික ප්‍රදේශය සබන් යොදා පිරිසුදු කිරීම කළ යුතුය. රෝග ලක්ෂණ පැය 48කට වඩා පවතී නම් වෛද්‍යවරයෙකු හමුවීම වැදගත්ය. මෙම ආසාදන මුත්‍රා නාළිකා තුළටත් ඒ හරහා වකුගඩු තුළටත් පැතිර යා හැකිය. එය ඉතා භයානක තත්ත්වයකි.

මධුසමයේදී හටගන්නා මුත්‍රා ආසාදන - Honeymoon cystitis

අලුත විවාහ වූ කාන්තාවන් ප්‍රථමවරට ලිංගික ක්‍රියාවලියට නිරාවරණය වීම නිසා මේ කාලයේදී මුත්‍රා ආසාදන ඇතිවිය හැකිය. ප්‍රතිකාර ලෙස සාමාන්‍ය මුත්‍රා ආසාදනයකදී කළ යුතු ප්‍රතිකාර ප්‍රමාණවත්ය.

ගර්භණී වීමට පෙර ඇතිවන මුත්‍රා ආසාදන නිසා ගබ්සා වීම් ඇතිවිය හැකිය. දරුවාගේ වර්ධනය බාල වීමට ද පුළුවනි. මේ නිසා ගර්භණී කාලයේ ඇතිවන මුත්‍රා දැවිල්ලකදී හැකි විගස වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය.