නිසි ප්‍රමිතියානුකූලව පංචකර්ම සිදුකරන කිරිබත්ගොඩ පංචකර්ම ආයුර්වේද රෝහල

නිසි ප්‍රමිතියානුකූලව පංචකර්ම සිදුකරන කිරිබත්ගොඩ පංචකර්ම ආයුර්වේද රෝහල

කොළඹ කිව්වම අපට මතක් වෙන්නේ දුම් දමා දුවන විවිධ මාදිලියේ මෝටර් රථ ගමන් කරන මාර්ග හා අතරින් පතර නොසෙල්වී තිබෙන උස ගොඩනැඟිලියි. තැන තැන එක් රැස් වුණු කුණු ගොඩවල් වටපිටාවම ගඳ ගස්වමින් එකතු කරන ට්‍රැක්ටර් රථ තාර පාරවල් හරස් කරමින් නිතර නිතර දකින්නට ලැබෙන තවත් සුලබ දසුනක්.

නමුත් මේ වටපිටාව කොතරම් කලබලකාරී වුවත් හිතාමතාම ගහකොළ වවා ගොඩ නංවපු මනස්කාන්ත පරිසරය ද නැතුවාම නොවේ. මෙවන් වටපිටාවක් ඇති හිතාමතාම පිළිවෙලකට ගහ කොළ සමඟ සබඳකම් පවත්වන නිස්කලංක ඇහැට පි‍්‍රයමනාප බිම් කඩකටයි මේ පිවිසෙන්න.

මේ නිස්කලංක වටපිටාව ඇත්තේ කිරිබත්ගොඩ පංචකර්ම ආයුර්වේද රෝහල වටායි. මෙම පංචකර්ම රෝහල ගැන වගතුග ඔබ වෙත ගෙන ඒම මේ ලිපියේ ප්‍රධාන අරමුණයි. කිරිබත්ගොඩ නගර මධ්‍යයේ සිට 300m ක දුරින් ශ්‍රී සුදර්ශනාරාම මාවතේ පිහිටි මෙම පංචකර්ම රෝහල යාබද වන්නේ කිරිබත්ගොඩ රජයේ රෝහලටයි. තරමක් උස් බිමක ඉදිවී ඇති රෝහල වෙත පිවිසෙන විට සිත ශාන්ත බවකින් අපව වෙලා ගත්තා. සුහද ලෙස පිළිගැනීම සිදු වන ආකාරය එහි ඇති සන්සුන් බව හා භූමියේ ඇති පිහිටීම ද හොඳම නිදසුනකි.

බාහිර රෝගී අංශය

වෙනත් රෝහල්වල සේ මෙහි බාහිර රෝගී අංශයෙන් රෝගියා යොමුවිය යුතු මීළඟ පියවර ගැන සොයා බැලේ. රෝගය හොඳින් පරීක්ෂා කර බලා රෝගය අනුව ප්‍රතිකාරවලට යොමු කිරීම මෙමඟින් සිදු වේ. සමහර අවස්ථාවලදී පංචකර්මයක් අවශ්‍ය නොමැති නම් ඖෂධ පමණක් නිකුත් කිරීම කොට රෝගියාව නැවත පිටත් කර යවයි.

රෝහල

ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටියත් මෙය පාලනය වන්නේ බස්නාහිර පළාත් සෞඛ්‍ය හා දේශිය අමාත්‍යංශය යටතේවන ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟිනි.

කාර්ය මණ්ඩලය

දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයකින් පුහුණුව ලැබූ හා විදේශ රටවල පුහුණුවලත් කාර්යමණ්ඩලයක් මෙහි සේවය කරයි. ඉන්දියාව, තායිලන්තය, ජපානය හා චීනය මෙසේ පුහුණුව ලබාගත් රටවල් වේ. වෛද්‍යවරු 5ක් හා ස්ථීර සේවක මණ්ඩලය 25කින් සමන්විතයි. 2006 ජනවාරි 21 වැනි දින ආරම්භය සනිටුහන් කළේ නියමු ව්‍යාපෘතියක් ලෙසයි. පසුව මෙම නියමු ව්‍යාපෘතිය සාර්ථක වූ නිසා 2010 වර්ෂයේදී ස්ථීර ලෙසම ආරම්භ වූයේ කිරිබත්ගොඩ මෙම භූමි පරිශ්‍රයට රැගෙන ඒමෙන් පසුවයි. ගත වූ අවුරුදු කිහිපය තුළ මෙහි දැරූ ප්‍රාග්ධන වියදම ආවරණය කර ගැනීමට හැකිවීම මෙහි ඇති විශේෂත්වයක් බව එහි කාර්යභාර නිලධාරීනිය වන වෛද්‍ය තිලානි වරුසවිතාන අප හා පැවසුවාය. රෝහලේ ප්‍රතිකාර කිරීම සතියේ දින පහේම උදේ 8 සිට සවස 4 දක්වා විවෘතව ඇති අතර සෙනසුරාදා පමණක් උදේ 8 සිට 12 දක්වා ප්‍රතිකාර කෙරේ. මෙහි නේවාසිකව ප්‍රතිකාර ලබාගත නොහැකි වී ඇත්තේ ඒ සඳහා අවශ්‍ය ගොඩනැගිලි හා අවශ්‍ය ප්‍රතිපාදන නොමැති බැවිණි. එසේම තවත් ගැටලුවක් ලෙස කාන්තා සේවිකාවන් ද හිඟයක් වී ඇති බව වෛද්‍ය තිලානි පැවසුවාය.

ප්‍රතිකාර

මෙහි සෑම පංචකර්ම ප්‍රතිකාරයක් සිදු කරන්නේ ඒ සඳහා සිටින වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය මතයි. කාන්තාවන් සඳහා ප්‍රතිකාර කිරීමට පංචකර්ම සිදු කරන්නේ කාන්තාවන් විසිනි. ඒ වගේම පිරිමින් සඳහා පංචකර්ම ප්‍රතිකාර සඳහා පිරිමි සේවකයන් යොදා තිබීම මෙම රෝහලේ විශේෂත්වයයි. රජයේ රෝහලක් බැවින් සියලුම පංචකර්ම සිදු කරන්නේ රෝගියාගේ සහ රෝහලේ ගෞරවය රැකෙන පරිදිය. එසේම රජයේ රෝහලක් වුවත් අවශ්‍ය ප්‍රතිපාදන සැලසුම් කිරීමට මෙහි පැමිණෙන රෝගීන්ගෙන් යම් සාධාරණ මුදලක් අය කෙරේ. එය රජය විසින් අනුමත කරන ලද මුදලකි.

පංචකර්ම

මෙම රෝහල මඟින් අති සාර්ථකව සිදු කරන පංචකර්ම ලෙස නස්නය, වමනය, විරේකය, වස්ති, රක්ත මෝක්ෂණය වේ. වැඩිහිටි ජනතාවට නිතර වැළඳෙන බෝ නොවන රෝග සඳහා මේ පංචකර්ම මඟින් ලැබෙන සහාය අපමණය. ඕනෑම අයෙකුට බලපාන පීනස් රෝග මෙන්ම සෙම් ආශි‍්‍රත රෝග සඳහා එනම් (බෙල්ලෙන් උඩ කොටස) ශිර්ෂ රෝගවලට නස්නය සිදු කෙරේ. වමනය හා විරේකය සිදු කරන්නේ උදරාශි‍්‍රත හා ජීර්ණ පද්ධතියේ ඇතිවන රෝග සඳහාය. මල බද්ධය, මේ සඳහා විශේෂ වේ. මෙහිදී වස්ති කර්මය ද යොදනු ලැබේ. අපවිත්‍ර වන රුධිරය ඉවත් කිරීමට මෙන්ම සන්ධි ආශි‍්‍රත රෝග සඳහා ද රක්ත මෝක්ෂණය සිදු කරයි. ඇතැම් රෝග පාලනයටත් ඇතැම් රෝග නිට්ටාවට සුව කිරීමටත් පංචකර්ම අතිශයින් ඉවහල් වේ.

මෙම පංචකර්ම සිදු කිරීමේදී ඒවා ප්‍රමිතියානුකූලව සිදු කළ යුතුව ඇත. හේතුව මේවා පංචකර්ම සිදු කිරීමට කලින් “පූර්ව කර්ම” කළ යුතුව ඇත. ඒ වගේම පංචකර්මයෙන් අනතුරුවද “පසු කර්ම” කළ යුතු බව ආයුර්වේදයේ සඳහන්. රෝගය නිට්ටාවට සුව වන්නේ එවිටයි.

ආකර්ශනය නිසා අද වාණිජ මට්ටමින් බොහෝදෙනා මෙවන් සම්භාහන ස්ථාන කරා ඇදෙති. වෛද්‍ය අධීක්ෂණයකින් තොරව තැනින් තැන සිදු කරන හතු පිපෙන්නාක් මෙන් බිහිව ඇති මෙම ඉනච පංචකර්ම මූලික කරගෙන කෙරෙන බව පැවසුවත් වෛද්‍යවරයෙකුගේ අනුමැතියක් හෝ උපදේශනයකින් තොරව සිදුවන නිසා කිසිම ප්‍රමිතියක් මෙහි දක්නට නැත.

ඒ නිසා මේ ශාස්ත්‍රයට හානි සිදුවිය හැකියි. එය ආරක්ෂා කර ගැනීම ආයුර්වේදයේ යුතුකමකි. එසේම නියමාකාරයෙන් මෙම පංචකර්ම සිදු කළ යුතු බව සලකන්න. ඒ නිසා කිසිදු වෛද්‍ය උපදෙසක් නොමැතිව පංචකර්මවලට යොමු වේ නම් ඒ සඳහා තමාගේ නිරෝගී භාවය දුරස් වීම ගැන තමා ම වගකිව යුතුව ඇත.

එසේත් නොමැතිව හතු පිපෙන්නෙක් මෙන් නගරයේ සිට ගම දක්වා සංක්‍රමණය වී ඇති සම්භාහන ආයතනවලින් පංචකර්ම සිදු කිරීමෙන් නම් රෝගීන්ටවත් නිරෝගී සුවය අපේක්ෂා කරන අයටවත් කිසිදු ඵලක් නැත. එය හුදෙක් මුදල් උපයා ගන්නා බඩ වඩා ගැනීමේ ක්‍රමයකි.