ඔබේ ගැටලු අප වෙත එවන්න

ඔබේ ගැටලු අප වෙත එවන්න
(වෛද්‍ය ගැටලු, ආරෝග්‍යා, ලේක්හවුස්, කොළඹ 10)

පිළිකා රෝග ගැටලු

දිරාගිය දත්වල කැබැලි මුඛයේ ඉතිරි වෙලා

යක්කල - පෙරේරා

සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන් ප්‍රජා වෛද්‍ය විශේෂඥ

සුරාජ් පෙරේරා

ගැටලුව

වෛද්‍යතුමනි, මා 48 හැවිරිදි පුද්ගලයකු වෙමි. මාගේ ගැටලුව මුඛ පිළිකා හා සම්බන්ධ ගැටලුවකි. මාගේ මුඛ සෞඛ්‍යය එතරම්ම යහපත් නැති බව මාගේ හැඟීමයි. මේ වනවිට දත් කීපයක් දිරා ගොස් ඇති අතර සමහර දත්වල කැබලි කටේ ඉතිරි වී පවතියි.

වෛද්‍යතුමනි, මට ඇති ගැටලුව නම් මෙබඳු නරක් වූ දත් කැබලි කටේ පැවැතීම අහිකර ද යන්නයි. එය යම් දවසක මුඛ පිළිකාවලට හේතුවක් විය හැකිද?

පිළිතුර

කැඩුණු දත් කැබලි කටේ ඉතිරි කරගෙන සිටීම යහපත් පුරුද්දක් නොවෙයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් දන්ත ශල්‍ය වෛද්‍යවරයකුට පෙන්වා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ලබාගන්න.

ඔබ අසා ඇති පැනය අනුව කැඩුණු දත් මඟින් ඍජුවම මුඛ පිළිකාවලට සම්බන්ධයක් නැති වුවද, එමඟින් මුඛ කුහරයේ ආස්තරණ පටල දිගුකාලීනව තුවාල වීම හේතුකොටගෙන එම තුවාල හරහා පිළිකා කාරක විය හැකි විෂ සංඝටක (උදා. මත්පැන්, බුලත්විට, සිගරට් ආදියෙහි ඇති) එම තුවාල හරහා ශරීරගත වී පිළිකා ඇති වීමේ අවදානමක් ඇති විය හැකියි.

එම නිසා ඉක්මනින් ඔබ දන්ත ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමු වී ඔබගේ මුඛයේ ඇති කැඩුණු දත් සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

ළමා රෝග ගැටල

එක් පියයුරක් අනෙක් පියයුරට වඩා විශාලයි

මාතලේ - නදීෂා

ළමා රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

මනෝරි ගමගේ

ගැටලුව

වෛද්‍යතුමනි, මාගේ දියණියගේ වයස අවුරුදු දහයකි. මේ වනවිට වර්ධනය වෙමින් පවතින වයසේ පසුවන ඇය නිරෝගී දැරියක ලෙස කටයුතු කරයි.

මාගේ ගැටලුව නම් දියණිය තවම වැඩිවිය පැමිණ නැති අතර, පියයුරු වර්ධනයේ ඇති යම් වෙනස්කමක් පිළිබඳවය. එනම් එක් පියයුරක් අනෙක් පියයුරට සාපේක්ෂව තරමක් වැඩිපුර වර්ධනය වී ඇති ආකාරයක් දිස් වේ. වෛද්‍යතුමනි, මෙය සාමාන්‍ය තත්ත්වයක්ද? පසුකාලිනව පියයුරු දෙකම එක සමාන ප්‍රමාණයකින් වර්ධනය වේවිද?

පිළිතුර

ඔබේ පැනයට අනුව මෙය බොහෝදුරට සාමාන්‍ය තත්ත්වයකි. විශේෂයෙන්ම මේ අවධිය දරුවාගේ සිරුර වැඩිවියට පැමිණීමට සූදානම් වන අවධියක්. ඒ නිසා මේ කාලයේ දරුවාගේ සිරුරේ පුංචි පුංචි වෙනස්කම් දැකිය හැකියි.

තවද මේ අවධියේ සිරුරේ හෝර්මෝන ක්‍රියාකාරීත්වය නිසි පරිදි පටන් ගෙන නැත. විශේෂයෙන්ම අවුරුදු 12 -13 පමණ වනවිට හෝර්මෝන ක්‍රියාකාරීත්වය නිසිලෙස සිදු වනවිට මෙම ගැටලු මඟහැරී යයි. එසේ නොවන්නේ නම් දරුවා වැඩිවියට පත් වීමෙන් පසුව ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුයි.

ප්‍රසව හා නාරි ගැටලු

ලිංගික ඉන්නන් නිසා නැවත වරක් සිසේරියන් සැත්කමක් කිරීමට සිදුවේවිද?

මහේෂා - කුරුණෑගල

ප්‍රසව හා නාරිවේදය පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

ඉන්දු අසංක

ගැටලුව

වෛද්‍යතුමනි, මාගේ වයස අවුරුදු 24ක් වේ. මාගේ පළමු දරුවා ලැබීමට මාස 8ක් වනවිට මා හට ලිංගික ඉන්නන් හට ගත්තා. එම නිසා සිසේරියන් සැත්කමක් කිරීමට සිදු වුණා. එම තත්ත්වය ප්‍රතිකාර කිරීම නිසසා සුව වී ඇත. පැප් පරීක්ෂණ ද ප්‍රශ්නයක් නැති බව වෛද්‍යවරු පැවසුවා. මාගේ ගැටලුව වන්නේ නැවත ගැබ් ගැනීමට එම රෝගී තත්ත්වය ගැටලුවක්ද? පළමු දරුවා සිසේරියන් සැත්කමට ලක් කළ නිසා නැවතත් සිසේරියන් සැත්කමකට මුහුණ දීමට සිදු වේවිද?

පිළිතුර

ඔබ අසා ඇති දෙවැනි පැනයට අනුව පළමු වරට සීසර් සැත්කමක් කරනු ලැබුවේ ඒ අවස්ථාවේ පැන නැඟුණු ගැටලුවකට අනුව බැවින්, නැවත අනිවාර්යෙන්ම සීසර් කිරීමක් කළ යුතු වන්නේ නැහැ.

එමෙන්ම ලිංගික ඉන්නන් නැමැති රෝග තත්ත්වය යටපත් කළ හැකි වුවත් යම් අවස්ථාවක එය නැවත මතුවිය හැකියි. එසේ වුවත් නැවත මතු වීමකදීත් සාර්ථකව ප්‍රතිකාර කළ හැකියි.

ඔබ අසා ඇති පරිදි නැවත දරුවකු බිහිවන අවස්ථාවකදී රෝගය මතු වී නැත්නම් එය ගැටලුවක් නොවේ.

තවද ලිංගික ඉන්නන් ඩ්ර්‍ථඍ නැමැති වෛරසය නිසා හටගන්නා තත්ත්වයකි. මෙම වෛරසයේ වෙනත් ප්‍රභේද ගැබ්ගෙල, පූර්ව පිළිකා හා පිළිකා තත්ත්වයකට ද බලපෑ හැකි බැවින් ඔබ වසර තුනකට වරක් පැප් පරීක්ෂණයක් කර ගැනීම සුදුසුයි.

කායික රෝග ගැටලු

සවස් වනවිට උදරය පිම්බෙනවා

රත්ගම - සෙව්මිණී

කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ප්‍රදීප් කුමාරසිංහ

ගැටලුව

වෛද්‍යතුමනි, මා අවුරුදු 29ක තරුණියක්මි. දැනට අවුරුද්දක පමණ කාලයක සිට මාගේ උදරය අධික ලෙස ඉදිරියට නෙරා ඒමක් දැකිය හැක. උදේ වරුවට උදරය සැහැල්ලු ගතියක් දැනුණ ද හවස් වනවිට පිම්බීමක් වැනි තත්ත්වයක් දැනේ.

එවිට ඉදිකටුවකින් අනින්නාක් මෙන් සියුම් රිදීමක් ද ඇති වේ.

මාගේ මෙම තත්ත්වයට ප්‍රතිකාර ලබා ගැනීමට කායික රෝග සම්බන්ධ වෛද්‍යවරයෙකු වෙත ගියද පැවසුවේ ගැස්ට්‍රයිටීස් බවය. තවද ඉජචද එකක් කළ ද එයද සාමාන්‍යය බව පවසන ලදී. එහෙත් මාගේ රෝග තත්ත්වයන් තවමත් එසේමය. මේ තත්ත්වය කුමක්දැයි මා හට ගැටලුවකි. මා කළ යුත්තේ කුමක්ද?

පිළිතුර

ඔබේ ගැටලුවට අනුව ඔබ මීට පෙර යොමු වූ වෛද්‍යවරයා වෙත නැවත යොමු වී මේ තත්ත්වය පිළිබඳ දැන්වීම සුදුසුයි.

තවද මේ වනවිට ඔබ කරන ලද පරීක්ෂණවල ගැටලුවක් නැතිනම්, ඒ පිළිබඳ තවදුරටත් සොයා බැලීමට අවශ්‍ය විය හැකියි.

ඒ සඳහා යම්විටක ඔබට වැඩිදුර පරීක්ෂණවලට යොමු වීමට සිදුවිය හැකියි. ඒ නිසා නැවත ඔබගේ වෛද්‍යවරයා මුණගැසී මේ පිළිබඳ විස්තර පවසා උපදෙස් ලබාගන්න.