නීරෝගීව දිවිගෙවන්න හොඳම Life Style එක

නීරෝගීව දිවිගෙවන්න හොඳම Life Style එක

“සුව දිවියට මඟ” යනුවෙන් ලේක්හවුස් ආයතනයේ සේවකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ආයතන පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි. ලේක්හවුස් ආයතනයේ සුබසාධක අංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා පොලිස් රෝහලේ වරලත් රසායනාඥ, පෝෂණවේදී, වෛද්‍ය එන්. එම්. එස් හෙට්ටිගෙදර මහතා පෝෂණයේ අර්බුදකාරී තත්ත්වයන් පැහැදිලි කළේ ය. ඔහු පවසන ආකාරයට ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ දෛනික හැසිරීම් රටාවේ ඇති අධික කාර්යය බහුලත්වය නිසා ශාරීරික පෝෂණය දැඩි අවදානමකට ලක්ව තිබේ.

මිනිසාගේ පෝෂණයේ වැදගත් කරුණු රැසක් මඟහැරී ඇතැයි පවසන වෛද්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් වර්තමාන සමාජය තුළ දක්නට ලැබෙන බෝ නොවන රෝගවලට හේතු වී තිබෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් යැයි තරයේ කියා සිටිනවා. මිනිසාගේ නිවැරැදි නොවන ආහාර රටාව මෙන්ම ශාරීරික ක්‍රියාකාරකම් (ව්‍යායාම්) අඩුවීම මේ සඳහා ප්‍රබල සාධකයක් ද වී තිබේ. එසේම අධික ලෙස මත්පැන් පානය හා දුම්බීම වැනි අහිතකර ක්‍රියා පිළිවෙත් මේ තත්ත්වය වේගවත් කිරීමට ඉවහල් වේ.

අධිරුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධිබර හා ස්ථූලතාවය, මානසික ආතතිය, ඖෂධ භාවිතය යන කාරණා මිනිසාගේ සුවබර දිවියට ප්‍රබල තර්ජනයක් වී තිබේ. වෛද්‍යවරයා පවසන පරිදි මිනිසා රෝග කාරක හඳුනාගැනීම පිළිබඳ පූර්ණ අවබෝධයකින් ද පසුවිය යුතුය. උදාහරණ ලෙස හෘද රෝග, වකුගඩු රෝග වැනි රෝගවල ප්‍රාථමික අවස්ථාවේදීම හඳුනාගැනීම දැක්විය හැකිය. එවැනි හඳුනාගැනීමක දී එකී රෝග පාලනය හා වළක්වාලීමේ හැකියාව උපරිමයෙන් පවතී. ඊට අමතරව පිළිකා වැනි තත්ත්වයන් ද මිනිසාට මඟහැර යා හැකි අවස්ථා තිබේ. ඒ සඳහා අධික ලෙස හිරු රශ්මියට නිරාවරණය, අධික ලෙස ජංගම දුරකථන භාවිතය, දුම්බීම හා මත්පැන් භාවිතය වැනි කරුණුවලින් ඈත්වීම හා මානසික ආතතිය දුරු කර ගැනීම ඒ අතර වේ.

මානසික අවපීඩනයට ලක් වූ මිනිසාගේ ශරීරයේ අභ්‍යන්තර හෝර්මෝන ක්‍රියාකාරීත්වයේ වෙනසක් සිදු වේ. මෙය රෝග ගණනාවක් ඇතිවීමට ප්‍රබල සාධකයක් ද වේ. එනිසා වැදගත් වන්නේ නිරන්තරයෙන් යහපත් මානසික මෙන්ම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාමයි. කෙසේ වෙතත් නූතන මිනිසා වාර්ෂිකව වෛද්‍ය පරීක්ෂණයකට ලක් වන්නේ නම් එය ඉතා වැදගත් ය. එහි දී සිරුරේ බර, රුධිර පීඩනය, රුධිරගත සීනි මට්ටම, කොලෙස්ටරෝල් ප්‍රමාණය හා පිළිකා පිළිබඳ මූලික පරීක්ෂණ වැනි තත්ත්ව පරීක්ෂාවන් කළ හැකිය.

සෞඛ්‍ය සම්පන්න දිවි පෙවතක් ගත කිරීමේ දී පවුල් සංස්ථාව තුළ ගොඩනැඟෙන සාමකාමී පරිසරය නිසා මානසික පීඩනය අවම වේ. එනිසා අත්‍යවශ්‍ය වන්නේ මිනිසා හැකිතාක් උදෑසන අවදිවීමයි. ඇතැමුන් බෝ නොවන රෝගවලට ප්‍රධාන හේතුව ආහාර රටාවේ දෝෂ යැයි ප්‍රකාශ කළත්, එය සත්‍යයක් නොවේ. මිනිස් දෛනික ක්‍රියාකාරකම්වල යම් යම් දුර්වලතා හේතුවෙන් ඉතා ඉක්මනින් රෝගියකු බවට පත්වීම සිදුවේ.

මිනිසාගේ දවස ආරම්භය ඉතා උදෑසනින් සිදුවීමේ දී ශාරීරික පද්ධතීන් නිවැරැදිව ක්‍රියාත්මක වේ. ඒ අනුව උදෑසනින් අවදි වී ජලය වීදුරුවක් දිනපතා පානය කරන්නේ නම් අන්ත්‍රයේ සිදුවන අර්බුදකාරී තත්ත්වයන් මඟහැරී යයි. ඒ ආකාරයට ශරීරයේ සියලු පද්ධතිවල ක්‍රියාකාරීත්වය යහපත්වීමට තම මානසික ඒකාග්‍රතාවය ද ඉවහල් වේ. ඊට අමතරව ක්‍රමානුකූල ව්‍යායාම් සිදුකිරීමද (දිනකට විනාඩි 30ක් සතියකට දින 3ක්) මිනිස් සිරුර යහපත්ව පවත්වාගැනීමට වැදගත් වේ.

පවුලක් ලෙස ජීවත් වීමේ දී තම පවුලේ සාමාජිකයන් ආහාර ගන්නා ක්‍රමවේදය පිළිබඳ පූර්ණ සැලැස්මක් තිබිය යුතුය. ඒ අනුව.

ආහාරයට ගන්නේ කුමක් ද?

ආහාර ලබා ගන්නේ කුමන වේලාවේ ද?

ආහාර ලබා ගන්නේ කොතැනක සිට ද?

ආහාර ලබා ගන්නේ කුමක් සඳහා ද?

ආහාර ලබා ගන්නේ කුමන ආකාරයකට ද? යන්න පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුය. සෑම විටම සමබල ආහාර වේලක් ලබා ගැනීම කළ යුතු අතර ඒ සඳහා පීෂ්ඨය අවශ්‍යතාවය සඳහා සහල් තෝරා ගැනීමේ දී නිවුඩු සහිත සහල් හා තැම්බු සහල් වඩාත් උචිතය. එමෙන්ම ප්‍රෝටීන් අවශ්‍යතාවය සඳහා මුංඇට, කව්පි, කඩල වැනි ධාන්‍ය ලබාගත හැකිය. විටමින් අවශ්‍යතාවයට මැල්ලුම්, බෝංචි, වැටකොළු වැනි එළවළු ආහාරයට එක් කළ හැකිය.

මිනිසා තේ පානය කිරීම ද වැදගත් සාධකයකි. එහි දී සැලකිලිමත් විය යුත්තේ තේ වල ගුණාත්මක බව රැකගැනීමය. ඒ සඳහා තේ කොළ ඇල්වතුරෙන් සෝදා හැර උණුවතුර උපරිම උෂ්ණත්වයට (නැටවීමට) ලක් නොකර ලබා ගන්නා ජලයෙන් තේ සාදා ගැනීමය. එසේම තේවලට කිරි එකතු කර පානය කරන්නේ නම් එය වඩාත් යෝග්‍ය ය.

සාමාන්‍යයෙන් මිනිසා කුමන හෝ ආහාරයක් ලබා ගන්නා අවස්ථාවක මනස ඉතා සැහැල්ලුවෙන් හා විවේකයෙන් තබා ගත යුතුය. එසේ වීමෙන් රෝගාබාධ ඇතිවීම වළකාලයි. අධික ලෙස මානසික පීඩනයට ලක් වූ අවස්ථාවක ආහාර ගැනීම යනු පිළිකාමය තත්ත්වයන් පවා ඇතිවීමේ ඉඩකඩක් පවතී.

ප්‍රධාන වශයෙන් ශරීරයට අවශ්‍යවන පෝෂක වර්ග වන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය සහ තෙල් ය. මේවා සමබල ලෙස ලබා ගැනීමෙන් අනවශ්‍ය රෝග ඇතිවීමක් සිදු නොවේ. එසේම සෑම විටම කෘත්‍රිම ආහාර පාන ලබා ගැනීමට වඩා තම නිවසේ පිසගත් ආහාර ලබා ගැනීමට උනන්දු විය යුතුය. එය ගුණාත්මක අතින් ඉහළ ය. එවැනි ක්‍රියාදාමයක් තම නිවස තුළ ක්‍රියාත්මක කිරීමෙන් පවුලේ සාමාජිකයන් සියල්ලෝම නිරෝගී, ජව සම්පන්න පිරිසක් බවට පරිවර්තනය වීම නිරායාසයෙන් සිදු වේ.