කනේ කලාඳුරු කිසිවිටක කොට්න්ඩබ් යොදා ශුද්ධ කරන්න එපා!

කනේ කලාඳුරු කිසිවිටක කොට්න්ඩබ් යොදා ශුද්ධ කරන්න එපා!

කලාඳුරු නොමැති කන නිරෝගී කනක් නොවේ

කන යනු මිනිස් සිරුරට අත්‍යවශ්‍යම ඉන්ද්‍රියයකි. පෘථිවියේ ඇති සියලු ශබ්ද තරංග කන් බෙරයට පතිත වී මොළයට සංඥාවක් යැවීම සිදු වේ. එවිට එම ශබ්ද අපේ දෙසවන් මත පතිත වේ. මිනිස් සිරුරේ සන්නිවේදනයෙහිලා ප්‍රමුඛස්ථානය කනට හිමිවන්නේ මේ සිද්ධාන්තය පදනම් කරගෙනය. සියලුම ශබ්දවලට හොඳින් ප්‍රතිචාරය දක්වන අපේ දෙසවන ආරක්ෂා කර ගැනීමේ වටිනාකම අපට දැනෙනුයේ කන යම්කිසි රෝගාබාධයකට ගොදුරු වූ විටකදීය.

කනට ඇතිවන රෝගී තත්ත්වයන් අතර කන් කැක්කුම බහුල ලෙස දක්නට ලැබෙන්නකි. වැඩිහිටියන්ට මෙන්ම විශේෂයෙන් කුඩා දරුවන් ද පෙළෙන මෙම රෝගී තත්ත්වය ඇතිවන්නේ කිනම් ආකාරයකට දැයි විමසා බලමු. කන් කැක්කුමට එක් හේතුවක් ලෙස බාහිර කනේ කැක්කුම හැඳින්විය හැකියි. බාහිර කන යනු කන් පෙත්ත සහ කන් කුහරයයි. සැරව ගෙඩි බොහෝවිට ඇතිවන්නේ බාහිර කනේ ආසාදනයක් ඇති වීමෙනි. ඇතැමුන් කොට්න් බඩ්, ආය කටු යතුරු කටු ආදිය යොදා කන ශුද්ද කිරීම නිසා කන් කුහරය තුවාල වීමකට ලක්විය හැකියි.

එවිට කන තුළ ආසාදිත තත්ත්වය හටගෙන සැරව ගෙඩි කන තුළ හටගන්නා අතර මේ සැරව වලින් කන් කුහරය වැසී යා හැක. මෙය ඉතාමත් වේදනාකාරී ආසාදිත තත්ත්වයකි. මෙවැනි අවස්ථාවකදී දැඩි ලෙස කන් කැක්කුම ඇති වේ. වහාම වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රතිකාර ගත යුතු අතර ආසාදිත තත්ත්වය වර්ධනය වී ඇත්නම් රෝහල්ගත කොට ප්‍රතිජීවක ඖෂධ එන්නත් කිරීමෙන් සහ ප්‍රතිජීවක ඖෂධ කනට දැමීම සිදු කළ යුතුය. මෙවැනි කනේ ආසාදිත තත්ත්වයන් උදාවීමට එක්තරා හේතුවක් වන්නේ කනේ තිබෙන කලාඳුරු ඉවත් කිරීමට ඇතැමුන් උත්සාහ කිරීමයි.

කලාඳුරු යනු ඇතුළත කනේ පිහිටා ඇති කන් බෙරය වැනි සංවේදී කොටස ආරක්ෂා කිරීමට ස්වභාවයෙන්ම බාහිර කනේ ග්‍රන්ථි වලින් ස්‍රාවය වන ද්‍රව්‍යයකි. කන තුළ තිබෙන ග්‍රන්ථි වර්ග දෙකකින් ස්‍රාවය වන මේ ද්‍රව්‍ය එකතු වී කලාඳුරු සෑදේ. කලාඳුරු තිබීමෙන් ස්වභාව ධර්මයා විසින්ම කනට ආරක්ෂාව සැපයේ. කන් බෙරයට ආසන්නයේ තිබෙන මෙම කලාඳුරු පසුව බාහිර කන තුළට ගමන් කොට හොඳින් වියළි කැබලි මෙන් එළියට වැටේ. කලාඳුරු තිබීම රෝගයක් හෝ කනේ අපිරිසුදු භාවයට නිදසුනක් වත් නොවේ. එය ස්වභාවික ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. ආගන්තුක ද්‍රව්‍යයකින් කන් ශුද්ධ කිරීමට යාමේදී කලාඳුරු කන තුළට තල්ලු විය හැක. එයින් ගැටලුකාරී තත්ත්වයකට ඔබට මුහුණ දීමට සිදු වේ. කලාඳුරු සහිත කන නිරෝගී කනක් ලෙස හැඳින්විය හැකි අතර කලාඳුරු නොතිබේ නම් කනේ නිරෝගී භාවය පිළිබඳ සහතික කළ නොහැක. විශේෂයෙන් කනට කුහුඹියෙක් හෝ කෘමි සතෙක් ඇතුළු වුවහොත් කලාඳුරු තිබේ නම් කන තුළට කෘමියාට රිංගා යා නොහැක. කලාඳුරු නොමැති නම් කන් බෙරය දක්වා කෘමියෙකුට ගමන් කළ හැක. එවිට කෘමියා විසින් කන් බෙරය සපා කෑමට ඉඩ ඇත.

තවද කෘමියාට කන් බෙරය මත ගමන් කිරීම ද අවකාශ ඇත. එවිට කන් බෙරය සිදුරු වී ආසාදිත තත්ත්වයන් හට ගැනීමට බෙහෙවින් ඉඩ ඇත. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ කන් තුළට කෘමින්, කුහුඹීන් මැක්කන් වැනි සතුන් රාත්‍රි කාලයේදී රිංගා යා හැක. කන තුළට ගිය විට කන් බෙරය වරින් වර සපන්නට පටන් ගන්නා බැවින් දරුවාට තද කන් කැක්කුමක් ඇති දරුවා මහත් හඬින් හඬන්නට පටන් ගනී. ඇතැම්විට සිඟිති දරුවෙකු නම් දරුවාට තත්ත්වය පැවසිය නොහැකි බැවින් ඔබ ඒ පිළිබඳව ද අවධානයෙන් සිටිය යුතුය.

ඇතැම් දරුවන්ගේ කන්වල දින 3-4 කුහුඹියා රැඳී සිටින්නට පුළුවන. එබැවින් වහාම රෝගියාව රෝහල වෙත ගෙන ගොස් ප්‍රතිකාර ලබා දිය යුතුය. ඇතැම් කුඩා දරුවන් නොදැනුවත් කමින් මදටිය ඇට, කොළ කැබලි, කුඩා ගල් කැට කන තුළට දමා ගැනීම සිදු කරයි.

දරුවන්ගේ කන් කුහරය කුඩා වුවද ඇතුල් කන විශාලය. ඇටයක් වැනි දෙයක් කන තුළට ගිය විට එය ආපසු ගැනීම දුෂ්කරය. මෙවැනි අවස්ථාවලදී රෝගියාව නිර්වින්දනය කර නළලට පළඳින ආලෝක ධාරාව වැනි උපකරණ උපයෝගී කර වෛද්‍යවරයා විසින් සියුම් අඩු යොදා ඒවා ඉවත් කරණු ඇත. එබැවින් ඔබේ හෝ ඔබේ දරුවාගේ කන ආරක්ෂා කර ගැනීමට නම් කටු වලින් කන්හැරීම නොකළ යුතු අතර දරුවන්ගේ කන් කැක්කුම පිළිබඳ දැඩි අවධානයකින් ද සිටිය යුතුය.