පීනස ඇදුමට නස්න කර්මයෙන් සුවය

පීනස ඇදුමට නස්න කර්මයෙන් සුවය

ශරීරයේ ඇති අපවිත්‍ර දේ බැහැර කිරීමේ ක්‍රියාවලිය පංචකර්මයෙන් සිදු වේ. බෝ නොවන රෝග සඳහා වගේම ලෝකයේ වැඩිවන වැඩිහිටි ජනගහනය පුනරුත්ථාපනය සඳහාත් පංචකර්මය අතිශයින්ම වැදගත්ය.

ප්‍රධානවම ඔබගේ නිරෝගීකම රැක ගැනීමට හා රෝග නිවාරණයට පංචකර්ම සිදු කළත් මින් ප්‍රතිකාර සිදු කෙරෙන්නේ රෝග මූලය මුලිනුපුටා දැමීමටයි. එය සිදු කිරීමට අඛණ්ඩ ප්‍රතිකාර පද්ධතියක් සිදු කළ යුතු වේ. මේ සඳහා වෛද්‍ය නිර්දේශිත වූ දින කිහිපයක් හරියාකාරව ප්‍රතිකාර සඳහා ගනු ලබයි. නස්නය, වමනය, විරේක, වස්ති, රක්ත මෝක්ෂණය එසේ සිදු කරනු ලබන පංච විධ කර්මයි. මේවායින් වන්නේ ශෝධනයයි. බැහැර වන අපවිත්‍ර කොටස් නස්න කර්ම ක්‍රියාවලියට බඳුන් වන ආකාරය දැන් බලමු.

නස්න කර්මය

නස්න කර්මයේදී සෑම කටයුත්තක්ම සිදු කරන්නේ දසරුවෙන් (බෙල්ලෙන්) උඩ කොටසටයි. ඕනෑම පංචකර්ම ක්‍රියාවලියකදී මුලින්ම සිදු කරනු ලබන පූර්ව කර්ම ඇත. ඒ අනුව නස්නයේදීත් පූර්ව කර්ම සිදු කළ යුතුයි. මෙසේ පූර්ව කර්ම දින 7ක් එක දිගට සිදු කළ යුතුයි.

පූර්ව කර්ම ස්නේහ හා ස්වේද යනුවෙන් දෙආකාර විධි පවත්වා ගත යුතුයි. ඒ අනුව ස්නේහ කර්මයේදී තෙල් ආලේපනයක් හා ස්වේද කර්මයේදී දුම් ඇල්ලීම හෝ ඉරීම සිදු වේ.

රෝගියාගේ හිසට, මුහුණට හා බෙල්ලට මෙම පූර්ව කර්ම සිදු කරනු ලබයි. රෝහලේ අදාළ නිසි වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදුවන මෙම පූර්ව කර්ම සිදු කරන්නේ මෙසේයි. මුලින්ම රෝගියාගේ රෝගයට අනුව සුදුසු ඖෂධීය තෙල් වර්ගයක් හිසේ ගල්වා හොඳින් සම්භාහය කරනු ලබයි.

මෙය විනාඩි 30ක් පමණ සිදු කළ යුතුයි. පසුව ඖෂධීය කොළ වර්ග යොදා තනාගත් පොට්ටනියකින් තැවිය යුතුයි.

මේ සඳහා නික, පාවට්ටා, බෙහෙත් එඬරු, බෙලි, යොදා සාදාගත් පොට්ටනිය වණ්ඩුවේ තම්බා ගෙන හිස තැවීම සිදු කළ යුතුයි. තෙල් දමා සම්භාහනය කරන ලද හිස එසේ තැවීමෙන් පැය 1/4ක් පමණ ගිය පසු රෝගියාට නිදහසේ විනාඩි 5ක් සිටින්න හරින්න. මෙම ස්නේහ කර්මයෙන් අනතුරුව කරනුයේ ස්වේද කර්මයි.

පසුව මුහුණ ද යම්කිසි ක්‍රියාදාමයකට ලක් කිරීමෙන් එහි ඇති අපවිත්‍ර දෑ ඉවත් කිරීමට පහසු කාර්යයක් වෙයි. මුලින්ම සුදුසු ඖෂධීය ර්‍ණඪත තෙල් වර්ගයක් මුහුණ හා බෙල්ල පුරා ගල්වා හොඳින් සම්භාහනය කරයි. ඉන් අනතුරුව කරනුයේ මුහුණට හා බෙල්ලට දුමක් ඇල්ලීමයි. එය ඖෂධීය කොළ වර්ග යොදා තම්බා ගැනීමෙන් ගන්නා දුමයි. ගනු ලබන තෙල් වර්ගය රෝගියාගේ ශාරීරික රෝග තත්ත්වය අනුව වෙනස් වෙයි. මෙම පූර්ව කර්මය ස්වේද කර්මයයි.

මේ ආකාරයෙන් පූර්ව කර්ම දින කිහිපයක් සිදු කරයි ද?

මේ සිදු කළ පූර්ව කර්ම හරියටම දින 6කදී නිම කර 7 වන දින නස්නය සිදු කරයි. දසරුවෙත් උඩ කොටසේ (බෙල්ලෙන් උඩ) ඇති සියලුම අපද්‍රව්‍ය අපද්‍රව්‍ය විශේෂයෙන්ම සෙම් ඉවත් වීම සිදු වේ. පූර්ව කර්මයෙන් සිරුර පදම් වී ඇති නිසා එක්රැස් වී ඇති සෙම හා අපද්‍රව්‍ය නස්නයේදී නාසයට දමන ඖෂධීය තෙල නිසා හොඳින් උත්තේජනය වී නාසයේ හා කෝටරක ශෛල කි‍්‍රයාත්මක වී සෙම පිටතට ගලා ඒම සිදු වේ. මේ නස්නය සිදු කිරීමෙන් පසු හොඳින් සෙම පිටතට ගලා එයි. රෝගියාගෙන් සෙම පිටවීමේදී ක්‍රියාවලිය හොඳින් සිදු කිරීමට අදාළ වෛද්‍යවරයාගේ මඟ පෙන්වීම අත්‍යවශ්‍යයි.

අනතුරුව රෝගියාට ගතට මෙන්ම හිසට ද සහනයක් දැනේ.

නස්නයෙන් පසුව සිදු කරන පශ්චාත් කර්ම මොනවාද?

ප්‍රධාන නස්න කර්මයෙන් පසු ධූම පානයක් සිදු කරයි. කහ, එළඟිතෙල් මිශ්‍ර කර සාදා ගන්නා ලද දුම්වැටියක ආධාරයෙන් මෙම ධූමය සකස් කෙරේ. එම දුම නාසයෙන් උරා කටින් පිට කිරීම සිදු කරයි. මෙම ධුම පානයෙන් පසු උත්තේජනය වී ඇති ශෛල ක්‍රියාකාරිත්වය නවතියි. පසුව සාමාන්‍ය තත්ත්වයට පත් වී රෝගියාගේ මුළු සිරුරම සැහැල්ලු බවකින් පිරී යයි. හිස බර ගතිය අඩු වේ.

නස්නයෙන් පසු (නස්න පත්‍ය විහරණ)

ආහාර චර්යා රටාව වෙනස් කළ යුතුයි. අවේලාවේ ස්නානය හා පරිසරය සමඟ බද්ධ වීම වෙනස්වීම කළ යුතුයි. මානසික ව්‍යායාම සිරුරට අත්‍යවශ්‍ය වේ. පින්නේ යාම, ශීතල වතුර සමඟ ඇති සම්බන්ධය සීමා කළ යුතුයි. ශීතාධික කාලවලදී අවේලාවේ ඇඟපත සේදීම හා ස්නානය නොකළ යුතුයි.

මින් සුව වන රෝග මොනවාද?

පීනස, ඇදුම, කැස්ස, ප්‍රතිශ්‍යාව යන රෝගවලට නස්න කර්ම හොඳ ප්‍රතිකාරයකි. විශේෂයෙන් සෙම් ආශි‍්‍රත රෝගවලට ගුණයි. බෙල්ලේ පිටිපස ඇතිවන (මණ්‍යස්තම්භ) රෝග, උත්මාද, අක්ෂි රෝග, කර්ණ රෝග, නාසා රෝග ආදියට ගුණදායක වේ.