තරුණ ගුරුවරුන්ගේ කාර්යක්ෂමතාව දුටුවිට මට ඇතිවන්නේ නොරිස්සුම්සහගත තත්ත්වයක්

මානසික ගැටලු

තරුණ ගුරුවරුන්ගේ කාර්යක්ෂමතාව දුටුවිට මට ඇතිවන්නේ නොරිස්සුම්සහගත තත්ත්වයක්

වෛද්‍යතුමනි, මා වයස අවු. 38ක් වයසැති පාසල් ගුරුවරියකි. දැනට වසර 15කට ආසන්න කාලයක් මෙම සේවයේ යෙදෙන්නෙමි. මා හට ඇති ප්‍රධාන ගැටලුව වන්නේ මාගේ වයසට වඩා වයසින් අඩු ගුරුවරුන් සිදු කරන කාර්යයන් නොරිස්සුම් දීමයි. එවිට සිත පාලනයකින් තොරව විකාර සිතුවිලි වචන වලට පෙරළෙයි.

ඉහත තත්ත්වය නිසා පාසල තුළ සිදු කරන ඕනෑම කටයුත්තකදී එයට සහභාගී නොවී සිටීමට සිතෙයි. එසේම නොසෑහෙන ගැටුම් ද ඇති වේ. මා සිත තුළ මා වරදක් කරන බව හැඟුණ ද, අනෙක් ගුරුවරුනගේ කාර්යක්ෂම වැඩ නිසා එම වරදම දිගින් දිගටම සිදු වේ. මෙය නිවැරදි කරගෙන, අනෙකුත් අය හා සමඟියෙන් කල්ගත කිරීමට මා ද කැමතිය. ඒ සඳහා මා කළ යුත්තේ කුමක්දැයි පහදා දෙන්න.

පිළිතුර

ඔබ මතු කර ඇති කාරණය වන්නේ, අප කණ්ඩායමක් වශයෙන් කටයුතු කරන විට යම් පුද්ගලයකු තුළ ඇතිවිය හැකි සුලබ තත්ත්වයකි. ඔබ යොමු කර ඇති ගැටලුව ඇසුරෙන් මෙහිදී සිතෙන දේ හා යම් අවබෝධයක් ලබා දීමට මෙහිදී උත්සාහ කරමි.

මා හට සිතෙන්නේ, ඔවුන් ඔබව නොසලකා හැර හෝ සම්බන්ධ කර නොගන්නා බව වැනි සිතුවිල්ලක් ඔබ තුළ ඇති බවයි. එසේම ඔබ වැඩිමහල් බවත්, ඒ අය තරුණ බවත්, ඔවුන් එක් කාණ්ඩයකටත්, ඔබ වෙනත් කාණ්ඩයකටත් ඔබගේ මනසින් වෙන් කරවාගෙන ඇත. සමහරවිට ඔබගේ යටි සිත තුළ ඔවුන් වැඩ කරන රටාව පිළිබඳ තරහක් හෝ ඊර්ෂ්‍යාවක් තිබිය හැකිය. සමහර විටක ඔවුන් අතින් කියැවුණු දෙයකින් හෝ ඔවුන් සමඟ වැඩ කිරීමේදී ඔබගේ සිත රිදෙනවා විය හැකිය. එම නිසා ඔවුන් සම්බන්ධ වන ව්‍යාපෘතිවලට ඔබ සම්බන්ධ නොවේ. එහිදී ගැටලුව වන්නේ, ඔබ එහි කොටස්කරුවකු නොවීම පමණක්ම නොව, ඉන් පසුව දුකට හා පසුතැවීමකට ද ලක් වීමය.

මෙය දිගින් දිගටම සිදුවන ක්‍රියාවක් වී ඇත. ඔබ කෙසේ හෝ මෙම රටාව වෙනස් කළ යුතුය. එම පිරිස ද ඔබගේ ක්‍රියා කලාපයන් පිළිබඳ අදහසක් ඇති කරගෙන ඇති නිසා කිසිදු කාර්යයකට සම්බන්ධ කර නොගන්නවා ඇත. ඒ නිසා ඔවුන් කතා කරන තෙක් නොසිට ඊළඟ ව්‍යාපෘතියේදී ඔබ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්න.

මෙය ලැජ්ජාවට, අභිමානයට කැලලක්, පරාජයට ලක් වීමක් යැයි නොසිතන්න. එය ඔබේ සිත සමඟ කරන සටනකින් ජය ලැබීමකි. එහිදී ඔවුන්ට මෛත්‍රී කිරීම, දයාවෙන් සිතීම අත්‍යවශ්‍ය වේ. එකවර සියලු දෙනා සමඟ සුහද විය නොහැකි නම්, එක් අයෙකු හෝ දෙදෙනකු සමඟ සුහද වන්න. ඊළඟ කටයුත්තේදී එයට සම්බන්ධ වීමට කැමැති බව ඔවුන්ට පවසන්න. එවිට ඔවුන් ද ඔබ කෙරේ ඇති ආකල්පය වෙනස් කොට ඔවුන් හා එක්ව කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙනු ඇත.

මුලදී මෙය කිරීමට ලැජ්ජාවක්, පැකිලීමක් ඇති වීම ස්වාභාවිකය. එය දරාගෙන ඔබ කටයුතු කළ යුතු වේ. ඇතැම්විට ඔවුන් සමඟ වැඩ කිරීමේදී ඔවුන්ගෙන් ඔබට සිත රිදෙන ඇනුම් පද ඇසීමට පුළුවන. එහිදී කෝප නොගෙන ඉවසීමෙන් කටයුතු කිරීමට වගබලා ගන්න. මෙම උපදෙස් අනුව කටයුතු කළ නොහැකි නම් මනෝ වෛද්‍යවරයෙකුගේ හෝ මනෝ විද්‍යා උපදේශකවරයෙකුගේ වෘත්තීය සහාය ලබා ගැනීම සුදුසු වේ.