ජූලි 27දිනට යෙදුණු ලෝක හිස හා ගෙල පිළිකා දිනය නිමිත්තෙනි

ජූලි 27දිනට යෙදුණු ලෝක හිස හා ගෙල පිළිකා දිනය නිමිත්තෙනි

සාමාන්‍ය අයෙකුගේ ශරීරයේ සෛල ක්‍රියාකාරීත්වය ශරීරයේ අනෙකුත් පටක සහ පද්ධතිවල මෙන්ම ජානමය තත්ත්වයන් හරහා පාලනයකට නතු වී තිබේ. එම නිසා අසාමාන්‍ය සෛල වර්ධනයක් හෝ විනාශ වීමක් සාමාන්‍ය තත්ත්ව යටතේ සිදු නොවේ. සෛලවල පාලනය නොමැති වී ගොස් අසාමාන්‍ය ලෙස සිදුවන්නා වූ වර්ධනයක් පිළිකාවක් ලෙස අපි හඳුන්වමු. පිළිකා සෛල අනෙකුත් සෛල පටක හා පද්ධතිවල පාලනයකට නතු නොවන අතර නොනවත්වාම වර්ධනය වේ.

එපමණක් නොව එම පිළිකා සෛල විසින් අවට තිබෙන්නා වූ සෛල සහ පටක විනාශ කරමින් පැතිරෙන්නට පටන් ගනී. අවසානයේ ශරීරයේ ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යවශ්‍යම පටක විනාශ වීම නිසා ඇතිවන්නා වූ අකර්මන්‍යභාවය නිසා මරණය පවා ඇති වීමට පිළිවන. එසේම පිළිකා සෛල රුධිරවාහිනී පද්ධතිය හෝ වසා පද්ධතිය හරහා වසා ගැටිති හෝ ශරීරයේ අනෙකුත් අවයව කරා පැතිරි යෑමට ද එමඟින් නොයෙකුත් හානිකර තත්ත්වයන් හා මරණය පවා ඇති කිරිමට ද පිළිවන.

විශේෂයෙන් පෙනහලු මොළය, අස්ථි, අක්මාව වැනි වැදගත් අවයව වල ද ශරීරයේ ඇති ඕනෑම පටකයක ද පිළිකාවක් ඇති වීමට පිළිවන. එසේ පිළිකාවක් ඇති වීමට බලපන්නා වූ හේතු කාරක වර්ග රැසක් තිබෙන අතර ඒවා රසායනික, භෞතික, ජීව විද්‍යාත්මක හෝ ජානමය කාරණා විය හැකිය. පුද්ගලයා නිරාවරණය වූ පිළිකා කාරක වර්ගය මත පිළිකා වර්ගය හා ස්ථානය තීරණය වේ.

හිස හා ගෙල ආශි‍්‍රතව ඇති වන්නා වූ පිළිකා මාරාන්තික වන අතර එයට අමතරව ශාරීරික හා මානසික දුබලතා රැසකට හේතු වේ. රටක ආර්ථිකයට දැඩි බලපෑමක් කිරීමට පිළිකා හේතු වී තිබේ. හිස හා ගෙල ආශි‍්‍රත පිළිකා අතර ප්‍රධාන ස්ථානය මුඛ පිළිකාවට හිමිය.

ශ්‍රී ලාංකික පිරිමි අතර ප්‍රධානම පිළිකාව වන්නේ මුඛය ආශි‍්‍රත පිළිකාවයි. මෙසේ බහුල වීමට ප්‍රධානතම හේතුව වන්නේ දකුණු ආසියාතික ජනතාව අතර තිබෙන පාරම්පරිකව සහ සංස්කෘතිකව බැඳී ඇති පුරුද්දක් වන බුලත් හැපීමයි.