සුසුම්නාවට සිදුවන අනතුරු නිසා අත්වල ක්‍රියාකාරීත්වයට බලපෑම් සිදුවිය හැනියි

සුසුම්නාවට සිදුවන අනතුරු නිසා අත්වල ක්‍රියාකාරීත්වයට බලපෑම් සිදුවිය හැනියි

මෙවර Meet Your doctor වැඩසටහනට සහභාගී වූයේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ අමිල ශශංක රත්නායක මහතායි.

ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ ක්ෂේත්‍රය පිළිබඳ හැඳින්වීමක් කළොත්?

ඇත්තෙන්ම “ප්ලාස්ටික්” යන්නෙන් අපට අවශ්‍ය ආකාරයට සකසා ගත හැකි යන්නෙන් අරුත් නැංවෙයි. මෙම වෛද්‍ය ක්ෂේත්‍රයේ තිබෙන විශේෂත්වය සිරුරේ තිබෙන පටක කොටස් එක් තැනක සිට තවත් තැනකට රැගෙන යාමයි. ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පියා වශයෙන් සලකන්නේ සර් හැරල් ගලීස්ය. ශරීරයේ විවිධ කොටස්වලට මෙමඟින් ප්‍රතිකාර සිදු කළත් එහි ආරම්භයේදී මුහුණේ විවිධ කොටස්වලට සිදු කරන ලදී. ඒ නිසා මෙම වෛද්‍ය ක්‍රමයේ ආරම්භය මුහුණ හා සම්බන්ධ බව පැවසීම වරදක් නොවේ.

ලංකාවේ මේ සේවාව දැනට භාවිතා වන්නේ කුමන රෝහල් ආශි‍්‍රතවද?

මේ වනවිට ප්ලාස්ටික් ශල්‍ය විශේෂඥවරු සංඛ්‍යාව 12ක් දක්වා වැඩි වී තිබෙනවා. ඒ අනුව කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යයා ළමා රෝහල, කළුබෝවිල රෝහල, රාගම ශික්ෂණ රෝහල කරාපිටිය, කුරුණෑගල, යාපනය හා මඩකලපුව යන රෝහල් ආශි‍්‍රතව මෙම වෛද්‍යවරු විසිරී පවතිනු ලැබේ. ලංකාව පුරා තිබෙන සියලුම ශික්ෂණ රෝහල් ආශි‍්‍රතව මෙම වෛද්‍ය ක්‍රමය ව්‍යාප්තව පවතියි.

ස්නායු යනු මොනවාද ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අංශය ඊට සම්බන්ධ වන්නේ කෙසේද?

ස්නායු සැකසී තිබෙන්නේ නියුරෝනය නැමැති කුඩාම ස්නායු සෛල මඟිනි. මෙම කුඩා සෛල එකතු වී මොළයෙන් හෝ සුසුම්නාවෙන් ආරම්භ වන ස්නායු තන්තු විශේෂයෙන් නිර්මාණය වී තිබේ. යම් අනතුරකදී එම ස්නායු තන්තුවට යම් හානියක් සිදු වුවහොත් එය යථා තත්ත්වයට පත් කිරීම මෙහිදී සිදු කරනු ලැබේ. මෙසේ නැවත ස්නායු තන්තු නැවත සකස් කිරීම සාර්ථක නොවන බව අතීතයේ වෛද්‍ය විද්‍යාත්මක මතයක් බිහි වී තිබුණි.

නමුත් මේ වනවිට මෙම නැවත සකස් කිරීම ඉතාම සියුම්ව සිදු කළ යුතුයි. ඊට ආවේනික උපකරණ භාවිතා කරන අතර අන්වීක්ෂ භාවිතා කර බොහෝදුරට මෙම ශල්‍යකර්ම සිදු කරනු ලැබේ. සාමාන්‍යයෙන් ස්නායුවකට හානියක් සිදු වූ විට එය නැවත පසු පසට හැකිලෙනු ලැබේ. එම ස්නායුව වටා ඇති කොපුව නැවත සැකසීමක්, මැසීමක් සිදු කරනු ලබන අතර එම සකසන ලද ස්නායු වටා ඇති කොපු හරහා ස්නායුව නැවත වර්ධනය වීමක් මෙහිදී සිදුවනු ඇත. මෙම ස්නායු දිනකට මිලි ලීටරර් එක බැගින් නැවත වර්ධනය වන බව වෛද්‍ය මතයයි.

අක්ෂි ස්නායු බද්ධය සිදු කළ නොහැකිද?

මෙය ඉතාම සංකීර්ණ නිසා එවැනි පරීක්ෂණ සිදු කිරීම පවා ඉතාම අපහසු දෙයක්.

මුහුණේ ස්නායු පිළිබඳ කථාබහ කළොත්?

ඇතැම්විට හදිසි අනතුරු, පිළිකාමය තත්ත්වයන් මෙන්ම උපතින් ඇතිවන ආබාධ හේතුවෙන් ද ස්නායු ආබාධ ඇතිවිය හැකියි. මුහුණට පැමිණෙන ස්නායු මොළයේ සිට ආරම්භ වේ. බොහෝදුරට විවිධ ක්‍රම හරහා මුහුණේ විවිධ ඉන්ද්‍රියයන්ට ඇතිවන බලපෑම්වලට අනුව ශල්‍යකර්ම සිදු කරනු ලැබේ.

ස්නායුවක් බද්ධ කළ පසුව එය නිවැරදිව බද්ධ වී ඇති බව අප දැනගන්නේ කෙසේද?

අදාළ රෝගියා සායනයකට පැමිණි පසු විවිධ පරීක්ෂා කිරීම් හරහා ඒ බව විමසා බලනු ලැබේ. එහිදී නැවත සංවේදන දැනෙන නොදැනෙ බව පරීක්ෂා කිරීම, මාංශපේශි චලනය පිළිබඳ පරීක්ෂාව, ස්නායුවක් තුවාල වූ තැනකට තට්ටුවක් දැමූ විට කරන්ට් එකක් යනවා වැනි හැඟීමක් ඇති වන නොවන බව පරීක්ෂා කරනු ලැබේ. මෙවැනි පරීක්ෂා කිරීම හරහා ඒ පිළිබඳ පරීක්ෂා කර බලාගත හැකියි.

අතට ගමන් කරන ස්නායු පිළිබඳ යමක් පැවසුවොත්?

ලංකාවේ බොහෝදුරට මෝටර්් සයිකල් නිසා වන අනතුරු සුලබ වේ. නමුත් එහිදී හෙල්මට් පැළඳීම නිසා හිසට හානි සිදු නොවුණත් සුසුම්නාවට සිදුවන අනතුරු නිසා අත්වල ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිවිය හැකියි.

සුසුම්නාවේ සිට පැමිණෙන ස්නායු 5කින් අතට ගමන් කරන ස්නායු සැකසී තිබේ. ඒවා ගී‍්‍රව ස්නායු 5,6,7,8 සහ උරස් ස්නායු 1ලෙස එම ස්නායු ජාලය සමන්විතයි. උරහිස එසවීම, වැලමිට නැවීම, දිගහැරීම, ඇඟිලි ආදී චලන සඳහා මෙම ස්නායුවල බලපෑම් ඇතිවිය හැකියි. යම් අයෙක් මෙසේ අනතුරට ලක්වන ආකාරය අනුව සහ එම අනතුර මත බලපෑම් එල්ල වන ස්නායු වලට අනුව අත් විවිධ ස්ථානවල චලනයන් තීරණය වනු ලැබේ. අනතුර සිදු වී ඇති ආකාරය අනුව අදාළ පිළියම් මඟින් ප්‍රතිකාර යොදනු ලැබේ. මෙම ප්‍රතිකර්ම ඉතාමත් මෑතකාලීනව දියුණු වූ ශල්‍ය වෛද්‍ය ක්‍රම ලෙසින් ද හඳුන්වා දිය හැකියි.

ඇතැම් ස්නායු රෝග කාලයත් සමඟ සුව වනවා යැයි බලාපොරොත්තු වුණත් එසේ බලා සිටීමට කාලය ගත කළ යුතු වන්නේ නැද්ද?

උපතේදී දරුවාගේ බෙල්ල උරහිස සිරවීම නිසා අත පණ නැති තත්ත්වයකට පත්විය හැකියි. සාමාන්‍යයෙන් මාස 03ක් පමණ ගතවන විට එය සාමාන්‍ය තත්ත්වයට පත් වේ යැයි බලාපොරොත්තු වනු ලැබේ. ඒ අනුව ඉන් 80%ක් පමණ යථා තත්ත්වයට පත් වුවත් ඉතිරි 20%ට එසේ නොවේ. එවැනි අය මාස 3ක් ගත වූ පසුව රෝගී තත්ත්වය සුව අතට පත් නොවූයේ නම් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් වෙත යොමුවිය යුතු වේ.