හෘදයාබාධයක් නිශ්චිතව හඳුනාගත හැකි පරීක්ෂණ

හෘදයාබාධයක් නිශ්චිතව හඳුනාගත හැකි පරීක්ෂණ

හෘදයාබාධ යනු, සැහැල්ලුවෙන් මැන බැලීමට හෝ නොසලකා ඉවත දැමිය හැකි රෝග තත්ත්වයක් නොවන බව අපි හොඳින් දනිමු. කෙනෙකු පුංචි පපුවේ කැක්කුමකට හෝ භීතියට පත්වන්නේ මේ නිසයි. මෙවැනි තත්ත්වයකදී යමෙකුට හදිසියේ පපුවේ කැක්කුමක් හැදුණොත්, එය හෘදයාබාධයක්ද නැතිනම් වෙනත් රෝගයක් නිසා ඇතිවුවක්ද යන්න ඉක්මනින් හඳුනා ගැනීම වැදගත්ය. ඒ අනුව එවැනි තත්ත්වයකදී සිදුකරන පරීක්ෂණ කීපයක් ගැන විමසා බලමු.

ඒ සඳහා කරන විශේෂ පරීක්ෂාවක් වන්නේ ECG පරීක්ෂාවයි. නමුත් සමහර අවස්ථාවලදී ECG පටියේ විශේෂ වෙනසක් නොපෙන්වාම වූවත් හෘදයාබාධයක් වැළඳී තිබිය හැකියි. එමෙන්ම ECG පටියේ ඇති වී තිබෙන වෙනස දැන් ඇතිවු පපුවේ කැක්කුම නිසා ඇතිවූ එකක්ද එසේ නැතිනම් පෙර ඇතිවූ එකක්ද යන්න සමහර අවස්ථාවලදී වෙන්කර හඳුනා ගැනීම අපහසුයි.

ඒ වගේ අවස්ථාවකදී රෝගියාට වැළඳී ඇත්තේ හෘදයාබාධයක්ද යන්න නිශ්චය කර ගැනීම සඳහා හෘද එන්සයිම පරීක්ෂාව (Cardiac enzyme test) ඉතා වැදගත් වෙනවා.

මෙම පරීක්ෂාව රජයේ රෝහල්, පෞද්ගලික රෝහල් හා රසායනාගාර ආශ්‍රිතව සිදුකෙරෙනවා.

හෘදයාබාධයකදී සිදුවන්නේ, හෘදයේ නිරන්තර ක්‍රියාකාරිත්වය සඳහා රුධිරය සපයන කිරීටක ධමනියක රුධිර කැටියක් හිරවීම නිසා හෘදයේ යම් කොටසක් මියයාමයි. එහිදී විනාශවන පටක කොටස්වල ඇති ඉහත කී හෘද එන්සයිම රුධිරයට මුදාහැරෙනවා.

එවිට රුධිරයේ ඇති එම එන්සයිම සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒ අනුව රුධිරයේ එම එන්සයිම සාන්ද්‍රණය මැන බලා එම පුද්ගලයාට හෘදයාබාධයක් වැළඳී තිබේද යන්න නිශ්චය කිරීමට පුළුවන්.

හෘදයාබාධයක් වැළඳී ඇති බව ECG පරීක්ෂාවකින් පැහැදිලිව හඳුනාගත හැකි අවස්ථාවකදී පවා හෘද එන්සයිම පරීක්ෂාවක් කිරීමෙන් හෘදයාබාධය නිසා හෘදයට සිදුවී ඇති හානිය පිළිබඳ යම් තක්සේරුවක් කළ හැකියි. හෘද එන්සයිම පරීක්ෂාව සරල රුධිර පරීක්ෂාවක්.

ඒ සඳහා නිරාහාරව සිටීම හෝ වෙන කිසිදු පෙර සූදානමක් අවශ්‍ය නොවෙයි. බොහෝ විට එහි ප්‍රතිඵලය පැයක් හෝ දෙකක් තුළ ලබා ගැනීමටද පුළුවන්.

සාමාන්‍යයෙන් කෙරෙන හෘද එන්සයිම පරීක්ෂාවන් අතර බහුලව සිදුකරන්නේ Troponin T, Troponin I වැනි පරීක්ෂණයි.

මේවා සුලූබව කිරීමට එක් හේතුවක් වන්නේ, හෘදායාබාධය වැළඳී පැයක් හෝ දෙකක් වැනි කාලයක් තුළ මෙම එන්සයිම රුධිර පරීක්ෂාවක් මගින් හඳුනා ගැනීමට හැකිවීමයි. රෝගියකු රෝහලට පැමිණි වහාම කරන රුධිර පරීක්ෂණයේ දී මෙම හෘද එන්සයිම හඳුනා ගැනීමට බැරිවුණත් පැය කීපයකට පසුව නැවත එම පරීක්ෂණ සිදුකරන අවස්ථා තිබෙනවා.

මෙහිදී Troponin පරීක්ෂාවට අමතරව CPK, CK (MB) SGOT සහ LDH වැනි හෘද එන්සයිම පරීක්ෂා කර බැලෙන අවස්ථාද තිබෙනවා.

විශේෂයෙන් පපුවේ කැක්කුමක් සෑදී දින කීපයකට පසුව රෝහලට පැමිණෙන අයෙකුට මෙවැනි පරීක්ෂණවලින් හෘදයාබාධය ඇතිවූ දිනය ගැන අවබෝධයක් ලබාගත හැකියි. එසේ වන්නේ හෘදයාබාධයකින් පසු, මෙම විවිධ එන්සයිම වර්ග රුධිරයේ මැන බැලීමට හැකිවන්නේ විවිධ කාලවලින් පසුව වීමයි.

උදාහරණ ලෙස, CPK එන්සයිමය රුධිරයේ මැනීමට හැකිවන්නේ පැය 4ත් 6 ත් අතර කාලයකින් පසුව වන අතර එය දින කීපයක් රුධිරයේ වැඩි සාන්ද්‍රණයකින් යුක්තව පවතිනවා.

LDH  එන්සයිමය රුධිරයේ ඉතා සෙමෙන් වැඩිවන අතර, දින කීපයක් යනතුරු රුධිරයේ මැන බැලිය හැකියි. ඒ අනුව හෘදයාබාධයකින් දින කීපයකට පසුව වුවත්, රෝගියකුගේ හෘදයාබාධයක් නිශ්චය කර ගැනීමට මෙම විවිධ එන්සයිම පරීක්ෂා කිරීමෙන් හැකියාවක් තිබෙනවා. ඒ අනුව පපුවේ කැක්කුමක් ඇතිව රෝගියකු රෝහලට පැමිණි වහාම හෘදයාබාධය නිශ්චය කර ගැනීමට මෙවැනි හෘද එන්සයිම පරීක්ෂාවන් ඉතා වැදගත් වෙයි.