ශ්‍රවණ ආබාධිත දරුවන්ගේ ගුරුවරුන්ට සහ දෙමාපියන්ට පැවරෙන වගකීම්

ශ්‍රවණ ආබාධිත දරුවන්ගේ ගුරුවරුන්ට සහ දෙමාපියන්ට පැවරෙන වගකීම්

ශ්‍රවණ ආබාධිත දරුවාගේ පාසල් අධ්‍යාපන කටයුතු වලට සහයෝගයක් දීමට ගුරුවරුන්ට පවතින්නේ දැඩි වගකීමක්. එහිදී ගුරුවරයෙකු කටයුතු කළ යුත්තේ කෙසේදැයි විමසා බලමු. මෙමගින් ආබාධිත දරුවෙකුගේ දෙමාපියන්ට ද ගුරුවරයාගේ කටයුතු පිළිබඳ යම් දැනීමක් ලබා ගැනීමට උපකාරී වේ.

සාමාන්‍ය වේගයෙන් මෙන්ම ස්වභාවික පැහැදිලි හඬකින් කථා කරන්න. ආයාසයෙන් වචන උච්චාරණය වෙනස් කිරිමෙන් වළකින්න.

පන්තියට උපදෙස් ලබාදෙන විට ජනේල අසල හෝ ආලෝකය නොවැටෙන ස්ථානවල සිට ගැනීමෙන් වළකින්න. එවිට දරුවාට දෙතොල් කියවීමට අපහසු වේ.

උපදෙස් ලබා දෙන විට කෙටි හා සරල වාක්‍ය භාවිතා කරන්න. තනි වචන ශ්‍රවණය කිරිමට අපහසු බැවින් තනි වචන භාවිතා නොකරන්න.

ගෙදර වැඩ ආදිය ලබා දෙන විට එය කලුලෑල්ල මත සටහන් කරන්න. මන්ද පාඩම අවසානයේ දරුවන් බෑගය තුළට උපකරණ දැමීමත්. යාමට සූදානම් වීමත් ආදී කරුණු නිසා පන්තිය තුළ ඝෝෂාකාරීත්වය වැඩි වේ.

කලුලෑල්ල මත ලියන විට කථා කිරීමෙන් වළකින්න. සෑම විටම පන්තිය දෙසට මුහුණලා කථා කරන්න.

මයික්‍රොෆෝනය තම කටට වඩා අඟල් 6ක් පහළින් පළඳින්න. පන්තිය සමඟ සාකච්ඡා කරන විට දරුවාගේ ට්‍රාන්ස්මීටරයට සම්බන්ධ මයික්‍රොෆෝනයක් අනෙක් ළමුන්ටද දෙන්න.

පළමු වර උපදෙස් ලබාදෙන විටදී දරුවාට නොතේරුණේ නම් නැවතත් එම උපදෙස් ලබා දෙතත් දෙවන වර සාරාංශයක් ලෙස කියන්න.

උදා - “සියලු දෙනාම නිශ්ශබ්ද වෙලා පස්සේ එළියට යමු”

දෙවන වර - “අපිට එළියට යන්න ඔක්කෝම නිශ්ශබ්ද වන්න”

දරුවාගේ ප්‍රකාශවල තේරුම වෙනස් නොවන පරිදි ඒ ආශ්‍රයෙන්ම ප්‍රශ්න ගොඩ නගන්න.

දරුවා - “මම කඩේට ගියා”

ගුරුවරයා - “ඔබ කඩේට ගියාද?”

මේ ආකාරයට දරුවා විවිධ ආකාරයෙන් ප්‍රශ්න ගොඩනැඟීමට පුරුදු කළ හැක.

පන්තියේ අනෙක් ළමුන් ඇසූ ප්‍රශ්න හා පිළිතුරු නැවතත් හඬගා කියන්න. ඒ අතරතුරේ එය ඇසූ දරුවා වෙත ඇඟිල්ල දිගුකොට ඔහුව පෙන්වන්න.

එවිට “ප්‍රශ්නය ඇසුවේ කවුද?”

“ඔහු කොතැනද අසුන් ගෙන සිටින්නේ” ආදිය ශ්‍රවණාබාධිත දරුවාටද දැක ගත හැක.

දෙමාපියන් සමඟ නිරන්තරයෙන් අදහස් හුවමාරු කරගත යුතුයි.

දරුවාගේ ගෙදර වැඩ හා පාසලේ ප්‍රගතිය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගන්න. විශේෂ ක්‍රියාකාරකම් වලට සතියකට පමණ පෙර ඒ සඳහා දරුවන් සූදානම් කරන ලෙස දෙමව්පියන්ට දන්වන්න. ගුරු දෙගුරු සම්බන්ධතා පිළිබඳ වාර්තා පොතක් භාවිතා කරන්න.

ගුරු දෙගුරු සම්බන්ධතා පොතට අමතරව රැස්වීම හා දුරකථන ඇමතුම් මඟින් දෙමව්පියන් හා සම්බන්ධ වන්න.