දැන් අවුරුදු 50යි ඉදිරියේදී සෞඛ්‍ය සම්පන්නව ජීවත්වන්නේ කොහොමද?

දැන් අවුරුදු 50යි ඉදිරියේදී සෞඛ්‍ය සම්පන්නව ජීවත්වන්නේ කොහොමද?

ජීවිතයේ ශත වර්ෂ භාගයක් ගෙවී ගොස් හමාරය. දැන් ඉතින් මොන ව්‍යායාමද? තරුණ කාලේ කළ හපන්කම් දැන් සිතියවත් නොහැකිය. අස්ථි දුර්වල වීම නිසා එදා එසවූ බර දැන් එසවීමට නොහැකිය. ශක්තිය හා දරා සිටීමේ හැකියාව මෙන්ම සුනම්‍යතාවය ද බිඳ වැටී ඇත. ඉරියව් එහා මෙහා වී කොඳු ඇට පේළියේ තැටියක් එහා මෙහා ගියහොත් කොන්ද රුදාවෙන් පීඩා විඳීමට විය හැකිය. එය සැමදා දුක් විඳීමට සිදුවන තත්ත්වයක් වීමට ද පුළුවන. එහෙත් සෞඛ්‍යමත්ව ඉදිරිකාලය ගෙවීමට නම් තරමක ඇඟ වෙහෙසීමකවත් යෙදීම අවශ්‍යයි.

පිරිමියෙක් නම්!

දැන් ඔබේ ආහාර වේල තුළ වැඩිපුර තිබිය යුත්තේ එළවළු හා පලතුරුය. මාළු හා ඇට වර්ගය. මේ ආහාර වලින් හෘදයාබාධ, අධික රුධිර පීඩනය මෙන්ම දියවැඩියාව ද දුරස් කළ හැකිය. මේද, සීනි හා ලුණු වලට හැකිතාක් දුරට සමුදීම අවශ්‍යය. ලොකු ආහාරවේල්වලට නොගොස් කුඩා ආහාර වේල් කිහිපයක් ගැනීම වඩා ගුණදායකය. මේදය අඩු ප්‍රෝටීන් සපිරි, ඔමේගා -3 මේද අම්ලය ද සහිත ආහාර වේලක් ගැනීම අමතක නොකළ යුතුය. දෙපා පේශීන් ශක්තිමත් කිරීම සඳහා අඩු තරමින් දිනකට පා අඩි 10000ක් වත් ඇවිදිය හැකිනම් ඉතා හොඳය. ඇවිදීම තරමටම එක තැන උඩ පැනීම මෙන්ම පඩි නැඟිම ද දෙපා පේශින් ශක්තිමත් කිරීමට සමත්ය.

කාන්තාවක් නම්

මෙම වයසේ කාන්තාවකගේ ආහාර වේලේ ප්‍රධාන ඉලක්කය විය යුත්තේ හෘදය මිතුරු, දියවැඩියාව සහ හෘදයාබාධ සතුරු ආහාරවේලක් ගැනීමය. මාළු, එළවළු, පලතුරු, සුදුළූණු යනාදිය එසේ හෘද මිතුරු ආහාර ලෙස සැලකෙයි.

50 ඉක්ම වූ පසු පමණට වඩා ශරීරය මහත්වීම හා බර වැඩිවීම පාලනය කරගත යුතුමය. එහෙයින් ගන්නා ආහාර ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතුමය. වේ ප්‍රෝටීන් (මෝරු ප්‍රෝටීන්) ද මෙහිදී සුදුසුය. කිරි වීදුරුවකින් එය ලබාගත හැකිය. ගෙදර දොර වැඩපලෙහි නිරත වීම, හැකි වේගයකින් ඇවිදිම (තදින් වෙහෙස නොවී) 50 පැන්නත් සෞඛ්‍යමත්ව සිටීමට උදව් වේවි.

දැන් 40යි මොන ව්‍යායාමද?

වැරදි සිතුවිල්ලකි. 20 -30 සමයේදී කිසිදු ව්‍යායාමයක නොයෙදුන සමහර අය වයස 40 දී ව්‍යායාම අරඹා මහත් ප්‍රතිඵල ලබා ගනිති. එහෙත් ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා නිසි ව්‍යායාමවල යෙදීම නම් අවශ්‍යය.

පිරිමියෙක් නම්

කෙටිකාලයක් තිව්‍ර ලෙස ව්‍යායාමයේ යෙදීම සුදුසුය. වරක් වෙහෙස වූ ශරීර ඉන්ද්‍රියයක් නැවත වෙහෙස කළ යුත්තේ තරමක විවේකයක් දීමෙන් පසුවය. මෙසේ ව්‍යායාමයෙහි යෙදෙන විට වැඩිපුර බර දිය යුත්තේ සන්ධිවලට නොව පේශි වලටය. ඇවිදීම වයසට ගැලපෙන ව්‍යායාමයකි. ආහාරයේ අඩංගු ලුණු, සංතෘප්ත මේදය සහ සීනි ප්‍රමාණය හැකිතාක් අඩු කිරීමට සුදුසු කාලය දැන් එළැඹ ඇති බව සිතට ගන්න.

කාන්තාවක් නම්

දැන් ක්‍රමයෙන් ලෙඩ ගානට ඇදීයන වයසේය. ගැහැණු රුධිරනාල, පිරිමි රුධිර නාලවලට වඩා පටු බැවින් හෘදයාබාධ අවදානමක් ද පැවතිය හැකි බව සිතට ගන්න.

මෙම වයසේදී දියවැඩියාව, හෘදයාබාධ, අධික රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන්ගෙන් මිදී සිටීමට නම් දවසකට මිනිත්තු 30ක් වත් සක්‍රීය කාර්යයන්හි නිරතව සිටිය යුතුය. එහෙයින් තරමක හයියෙන් මිනිත්තු 30 -45ක් ඇවිදීමට උත්සාහ ගන්න. බයිසිකල් පැදීම, පිහිනීම ද සුදුසු ව්‍යායාමය. ඇවිදින විට වරින් වර වේගය වෙනස් කරන්න. හෙමින්, හයියෙන්, අතපය වනමින් ආදී වශයෙන් ද යන දුර කෙටි හා මධ්‍යම දුර ආදී වශයෙන් වෙනස් කරන්න. මෝරු (වේ ප්‍රෝටීන්) ආහාරයට ගැනීම වෙහෙස වූ පේශින්ට ඉක්මන් සහනය සලසයි. වේ ප්‍රෝටීන් (මෝරු ප්‍රෝටීන්) කිරි තුළ අඩංගුය.