හඬන දරුවාට කිරි පොවන්න එපා

හඬන දරුවාට කිරි පොවන්න එපා

දරුවන් විවිධ ඉරියව්වලින් අඬන්නේ කුසගින්න නිසාම නොවන බව අප පසුගිය සතියේ පැහැදිලි කළා ඔබට මතක ඇති. අලුත උපන් දරුවා වැඩිපුර අඬන විට පවුලේ අය සිටිනුයේ කනස්සල්ලෙනි.

මව හැමවිටම සිතනුයේත් තමාගේ කුමන හෝ අඩුපාඩුවක් නිසා දරුවා හඬනු ඇති කියායි. තම දරුවා සැනසීමට අපොහොසත් නොවීම හේතුවෙන් මව මානසිකව ඇද වැටේ. ඇතැම් විට දරුවා කෙරෙහි කෝප වන්නට ද කිරි නොදී සිටීමට ද පෙළෙෙඔන්නට පුළුවන. මේ අතරතුර මව වටා සිටින්නන් ඈ පිටම වරද පැටවීමට උත්සාහ ගන්නා අවස්ථාවන් ඇත.

පවුලේ අයගේ ඉවසීම, බුද්ධිමත් බව, කිරි දෙන මවට මහත් සැනසිල්ලක් වනු ඇත. දරුවාගේ චර්යාව හා කිරි බීම පිළිබඳ සොයා බැලිය යුතුය.

එම අවශ්‍යතාවට අනුව මවුකිරි දීම සිදු කළ යුතු වේ. මවගේ ආහාර ද ඇතැම්විට දරුවාගේ හැඬීමට හේතුවිය හැකි බව සොයා ගෙන තිබේ. මව දිනපතා පුරුද්දක් මෙන් කෝපි බොන්නේ නම්, දුම්පානය කරයි නම් ඇතැම් බෙහෙත් වර්ග ගන්නේ නම් හෝ පවුලේ අයගේ අනවශ්‍ය බලපෑම් මවගේ ජීවන රටාවට තර්ජනයක්ව ඇත්නම් එයද දරුවාගේ ඇඬීමට හේතු වේ. දරුවා වේදනාවකින් හෝ අසනීපයකින් පෙළේ නම් එය ප්‍රතිචාර දක්වන්නේ ද ඇඬීමෙනි. දරුවාගේ අසාමාන්‍යතා හොඳින් හඳුනා ගත හැකි වේ. කන ආශි‍්‍රතව ඇතිවන අපහසුතාවන් නිසා ද දරුවන් නොනවත්වා හඬයි.

ඒ සමඟම දරුවාගේ වර්ධන වේගය ද පිරික්සිය යුතු වේ. වර්ධනය අවශ්‍ය තරමට නොමැති නම් මවුකිරි නොලැබී යෑමේ හේතුව නිසා අඬනවා විය හැකියි. එවන් විටෙකදී දරුවාගේ මුව පියයුරු හා සම්බන්ධ වන අයුරු පිරික්සීමෙන් හා දරුවා වරකට කිරි උරා බොන කාලසීමාව පිළිබඳව සොයා බැලීමෙන් තහවුරු කරගත හැකි වේ.

අඬන දරුවාට කිරි පෙවීමට උත්සාහ නොකිරීම වඩාත් යෝග්‍ය වේ. එය ඇඬීම වැඩි වීමට තවත් හේතුවනවා මෙන්ම අඬන අතරතුර මවට එම ක්‍රියාවලියට නිසි සේ සහය වීමට නොහැකි වේ.

දරුවා උදරය තෙරපන ලෙස උඩ අතට වඩාගෙන, ආදරයෙන් තුරුළු කරගෙන ඇඬීම නවත්වා පසුව, කිරි උරා බීමට දීම සුදුසු වේ.

මෙවැනි විටෙකදී බෝතල්, සූප්පු හෝ මවගේ කිරි වෙනුවට වෙනත් ආදේශක ලබා දීම ප්‍රශ්නය තවත් බැරෑරුම් කරාවි. දරුවාගේ අසාමාන්‍ය ඇඬීමට හේතුව කුමක් වුවත් කළ යුත්තේ මුලින්ම දරුවා සනසාලීමයි. එය බොහෝවිට මවට දුෂ්කර වේ. කිරි සුවඳ නොදැනෙන ලෙසට මව හැර වෙනත් අයෙක් දරුවා වඩා ගැනීමෙන් සැනසිය හැකි වේ.