උදරය ඉදිරියට නෙරා එන්නේ කිනම් හේතු නිසාද?

උදරය ඉදිරියට නෙරා එන්නේ කිනම් හේතු නිසාද?

උදරයේ විශාලත්වය කාන්තාවන්ට මෙන්ම පිරිමින්ට ද විශාල ගැටලුවක් බවට පත්ව තිබේ. එපමණක් නොව එය මානසික පීඩනයට හේතුවක් වීම ද අර්බුදකාරී තත්ත්වයන් ඇතිකර තිබේ. මෙනිසා අපහසුතාවයට ලක්වන්නට සිදුවීමත් අමිහිරි අත්දැකීමක් වනු නොඅනුමානය. මේ සම්බන්ධයෙන් පානදුර මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා දක්වන අදහස් විමසා බැලීම කාලෝචිතය.

වෛද්‍යවරයා විමසුමට ලක්කරන ආකාරයට ඕනෑම පුද්ගලයකුගේ උදරය ඉදිරියට නෙරා ඒමට බලපාන ප්‍රධාන කාරණා 5ක් ඇත. එහි බලපෑම අනුව උදරය ඉදිරියට නෙරා එන අතර ඊට බලපාන ප්‍රධාන කාරණා ලෙස Fat- තෙල් ඇතිවීම, Flatter - වාතය පිරීම, Faeces - අසූචි එකතු වීම, Fluid - වතුර පිරීම, Foepus - ගර්භණී අවස්ථාව හඳුන්වා දිය හැකිය.

මෙහි පළමු කාරණය ලෙස දක්නට ලැබෙන්නේ උදරයේ තෙල් ඇතිවීම හා සම්බන්ධ ඉදිරියට නෙරා ඒමයි. විශේෂයෙන් මෙහි දී දක්නට ලැබෙන්නේ එක් පිරිසකගේ සමට ඇතුළතින් තෙල් ඇතිවීමේ තත්ත්වයයි. එසේම තවත් පිරිසකගේ උදරය ඇතුළත ද තෙල් එකතු වීමේ ප්‍රවණතාවයක් තිබේ. කෙසේ වෙතත් මේ කාරණා දෙකෙහිදීම උදරය නෙරා ඒම අනිවාර්යයෙන්ම සිදුවන්නකි. මෙකී ආකාර දෙකටම අනුව උදරය නෙරා ඒම බාහිරින් නිරීක්ෂණය කිරීමේ දී හඳුනාගත හැකිය.

ඊළඟ කාරණය ලෙස දක්නට ලැබෙන්නේ උදරයේ වාතය එකතු වීම හා අසූචි රැදීම ය. මේ තත්ත්වය උදරය ඉදිරියට නෙරා ඒම හා සම්බන්ධ විශාල ගැටලුවකි. එසේම උදරයේ වතුර ඇතිවීම ද මෙවැනි තත්ත්වයක් ඇතිවීමට බලපාන ප්‍රධාන කරුණකි. වතුර පිරෙන්නට බලපාන ප්‍රබල සාධකය ලෙස සිරෝසීස්, පිළිකා වැනි රෝගී තත්ත්ව හඳුනාගත හැකි අතර විෂබීජ ඇතුළු වීම ද මෙයට සෘජුව බලපෑම් ඇති කරයි.

ඉහත කී කාරණා අනුව කුමන හෝ එක් හේතුවක් නිසා උදරය ඉදිරියට නෙරා ආ හැකිය. එසේ උදරය අධික ලෙස විශාලත්වයට ලක් වූ පුද්ගලයකු දෙස බැලීමේ දී ප්‍රථමයෙන් සැලකිලිමත් විය යුත්තේ, කුමන කාරණයක් නිසා ඔහුගේ හෝ ඇයගේ උදරය විශාලත්වයට ලක් වූයේ ද යන්නයි. ඒ සඳහා Scan පරීක්ෂණයක් කළ හැකිය. එහි දී සත්‍ය වශයෙන් කුමන කාරණයක් නිසා උදරය විශාලත්වයට ලක් වූයේ ද යන්න නිරීක්ෂණය කළ හැකිය.

ඇතැම් පිරිස් ගැස්ට්‍රයිටීස් රෝගී තත්ත්වය උදරය ඉදිරියට නෙරා ඒමට බලපා ඇතැයි අනුමාන කරති. එහෙත් එවැනි තත්ත්වයක් ගැස්ට්‍රයිටීස් රෝගය නිසා ඇති නොවේ. කෙසේ නමුත් යම් පුද්ගලයකු වැඩි ආහාර ප්‍රමාණයක් ලබා ගැනීම අවදානම් තත්ත්වයකි. ඒ හේතුවෙන් උදරයේ විශාලත්වය වැඩි විය හැකිය.

ඊට අමතරව මත්පැන් භාවිතය මේ සඳහා අනිවාර්යයෙන්ම බලපෑමක් ඇති බවට තහවුරු කළ හැකිය.

ඒ අනුව අක්මාව ඉදිමීමකට ලක් වී සිරෝසීස් රෝගී තත්ත්වය ඇති වීම සිදු වේ. මෙහි ඊළඟ ප්‍රතිඵලය වන්නේ උදරයේ වතුර පිරීමේ තත්ත්වයයි. වතුර පිරීම ද උදරය ඉදිරියට නෙරා ඒමේ එක් ප්‍රධාන අවස්ථාවකි.

දරුවන් බිහිකළ මව්වරුන්ගේ උදර ඉදිරියට නෙරා ඒමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ තෙල් තැන්පත්වීමේ තත්ත්වයකි. ගර්භණී සමයේ සිටම, මවගේ සිරුර දරුවා බිහිකර මව්කිරි දීමේ ක්‍රියාවලියට හැඩගැසීම ස්වාභාවිකවම සිදු වේ. ඒ සඳහා සිරුරේ වැඩිපුර තෙල් තැන්පත් වීමක් සිදු වේ. එය දරුවා බිහිවූ පසු කිරි උරාබීමේ ක්‍රියාවලිය ආරම්භවත්ම ක්‍රමයෙන් පහව යන තත්ත්වයකි. එහෙත් එසේ නොවන්නේ නම් එය දරුවා ලැබෙන්නට සිටි අවධියේ සිට මව විසින් අනවශ්‍ය ලෙස ලබා ගත් ආහාරවල බලපෑමක් නිසා ඇති වූවක් ය.

ඇතැම් පුද්ගලයන්ගේ උදරයේ මාංශපේශි එල්ලා වැටෙන ස්වාභාවයක් දක්නට ලැබේ.

එයට හේතුව වන්නේ දරුවා ලැබෙන්නට සිටි අවධියේ උදරයේ විශාලත්වය නිසා පේශි ඇදීමකට ලක් වී තිබීමෙන් පේශිවල ශක්තිමත් භාවය අඩුවීම ය. එය යථාතත්ත්වයට පත්කර ගැනීමට නම් උදරයේ පේශි ශක්තිමත් කළ යුතුය.

ඒ සඳහා අදාළ ව්‍යායාම් වෙත පිවිසිය යුතුය. මෙවැනි තත්ත්වයක් ආහාර පාලනය මගින් කිසිසේත් පාලනය කළ නොහැකිය.

තවත් පිරිසකගේ උදරය විශාලත්වයත් සමග තදගතියකින් යුක්ත වන්නේ වතුර එකතු වීම, අසුචි, වාතය රැදීම වැනි අවස්ථා වැඩි වූ විට ය. කෙසේ වෙතත් මේ තත්ත්වයන් පරීක්ෂා කර බැලීමෙන් දෛනික ජීවිතයේ මුහුණ පාන්නට සිදුවන ගැටලු රැසක් මඟහරවා ගැනීමේ හැකියාව ද ඇත. එනිසා අවශ්‍ය වන්නේ කුමන කාරණයක් නිසා තම උදරය ඉදිරියට නෙරා එන්නේ ද යන්න පිළිබඳ සැලකිලිමත් වී අවශ්‍ය ප්‍රතිකර්ම වෙත යොමුවීමය.


අජීර්යට, බඩපිපුමට ගුණදෙන තැඹිලි

වියළි දේශගුණික කාලවලදී දිය පිපාසාවට කුරුම්බා ගෙඩියක් හෝ තැඹිලි ගෙඩියක් කඩාගෙන බොන එක ගැමියන්ගේ පුරුද්දක්. බඩේ අමාරුවලදී තැඹිලි ගෙඩියක් බිවූ පසු ඉක්මන් සුවයට සහනයක් ගෙන ඒමත් මෙහි ඇති විශේෂත්වයයි. තැඹිලි අගනා ඖෂධීය පානයක්, මේ ගැන තොරතුරු ඔබ හමුවට ගෙන එන්නේ වෛද්‍ය මංගලා මහලේකම ගෙන් ගත් උපදෙස් මඟිනි.

ඖෂධීය වටිනාකම

කුඩා දරුවන්ට වැළඳෙන අජීර්ණයට බඩ පිපුමට යනාදී රෝග සඳහා තැඹිලි හොඳ ඖෂධයකි. සිසිල් ගුණයෙන් යුක්ත බැවින් ශරීරය සිසිල් කිරීමට උදව් කරයි.

දාහය නැති කරයි. දැවිල්ල නැති කරයි. වමනයට දිය හැකි ඖෂධයක් මෙනි. මාංශ පේශීන්වල වැඩීමට උදව් කරයි.

ශරීරයේ ශක්තිය ඇති කරයි. විජලනය නැති කරයි. ශරීරයේ බර වැඩි කරයි. මන්දපෝෂණය නැති කරයි.

තැඹිලි වලින් මේ ගුණ ලැබෙයි

මුත්‍රා පිට කිරීමට අපහසු අයට ගුණ දෙයි. මුත්‍රා පිරිසුදු කරන ගුණය පවතී. ආහාර රුචිය ඇති කරයි. වෛරස් රෝග මඟහරවාලයි. දියවැඩියාව ඇති අයට සුදුසුයි. පිළිකා සෑදීම නැති කරයි.

මුත්‍රා ගල් නැති කරයි

සන්ධි රෝග නැති කරයි. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි. පණු රෝගවලට ගුණයි. බැක්ටීරියා රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති කරයි. උණ සන්නිපාතය, මැලේරියාව වැනි රෝගවලට ගුණයි. වායු ගෙඩිවලට ගුණයි

අහිතකර ගුණ

තැඹිලි පානය සමහර රෝග කාරක සඳහා අහිතකර වෙයි. වකුගඩු රෝගීන් මේ ගණයට අයත්ය. සර්ප දෂ්ට අවස්ථාවලදී තැඹිලි පානයට දීම සුදුසු නැත. සෙම් රෝගවලට අගුණයි. රුධිරය දන් දුන් අයට නිවසට පැමිණි පසු තැඹිලි බීම සුදුසු නැත. රාත්‍රී කාලයට තැඹිලි බීම සුදුසු නොවන්නේ සෙම් රෝග වැඩි වන බැවිනි.