UFR පරීක්ෂණය මඟින් මුත්‍රා රෝග සොයාගත හැකියි

UFR පරීක්ෂණය මඟින් මුත්‍රා රෝග සොයාගත හැකියි

සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණයක් නැතිනම් UFR පරික්ෂණය ඉතා සුලබ පරීක්ෂණයකි. එනම්, මුත්‍රා රෝග සහ මුත්‍රා මාර්ගයේ ආසාදන තත්ත්ව හඳුනා ගැනීමට සිදු කරන මූලික හා සරල පරික්ෂණයක් ලෙස හැඳින්විය හැකිය.

මුත්‍රා සම්පූර්ණ පරීක්ෂණය UFR (Urine Full Report) වැදගත් වන්නේ ඇයි?

මුත්‍රා පරීක්ෂණයක් සිදු කිරීමේ හේතු කීපයක් පවතියි. ඒවා නම් මුත්‍රා ආසාදනයක් හඳුනා ගැනීම මුත්‍රා සමඟ ලේ පිටවන රෝග හඳුනා ගැනීම, මුත්‍රා මාර්ගයේ ගල්, මුත්‍රා මාර්ගයේ පිළිකා, වකුගඩු රෝග ආදිය පිළිබඳ සැක සහිත තත්ත්ව වලදී ඒ පිළිබඳ හඳුනා ගැනීමට උපකාරී වන පරික්ෂණයක් ලෙස මුත්‍රා පරීක්ෂණය සැලකිය හැකිය.

මුත්‍රා ආසාදනයකදී

මුත්‍රා සාම්පලයේ පැසවපු සෛල (Pus cells) ප්‍රෝටීන්, රතු සෛල දක්නට හැකිය. මේ තොරතුරු මඟින් මුත්‍රා ආසාදනයක් මූලික වශයෙන් හඳුනාගැනීමේ හැකියාව පවතියි.

මුත්‍රා සමඟ ලේ පිටවීම

මුත්‍රා මාර්ගයේ ගල්, පිළිකා මෙන්ම වකුගඩු රෝග පිළිබඳ මෙමඟින් හඳුනාගැනීමේ හැකියාව ඇත.

වකුගඩු ප්‍රදාහයකදී නම්, මුත්‍රාවල red cell cast ලෙස හැඳින්වෙන කොටස් දැකගත හැක. මීට අමතරව විකෘති වූ රතු රුධිර සෛල දක්නට හැකිය.

මුත්‍රාවල පැහැය අනුව සැක කරන තත්ත්ව

මුත්‍රා සමඟ ලේ පිටවීමට අදාළ තත්ත්ව මෙහි සඳහන් කෙරුණු අතර, මුත්‍රා තද දුඹුරු පැහැයෙන් හෝ කහට පැහැයෙන් දිස්වීම අක්මා රෝග පිළිබඳ සැක කරන තත්ත්වයකි.

තවද මුත්‍රාවල බයිල් ලෙස හඳුන්වන රසායනය තිබීම ද අක්මා රෝගයක් පිළිබඳ සැක කරන තත්ත්වයක් ලෙස සලකයි.

තවද මුත්‍රා සමඟ ප්‍රෝටීන් සුළු ප්‍රමාණයක් පිටවීම මුත්‍රා ආසාදනයක ලකුණක් ලෙස සැලකුණ ද ප්‍රෝටීන් අධිකව පිටවීමක් ඇත්නම් එය වකුගඩු රෝගයක් පිළිබඳ සැක කරන තත්ත්වයකි.

එමෙන්ම උග්‍ර තත්ත්වයේ දියවැඩියා තත්ත්වයක් ඇති විටද මුත්‍රා සාම්පලයේ සීනි දිස්විය හැකිය. නමුත් සීනි පරීක්ෂාවක් සඳහා නොඑසේ නම් දියවැඩියා පරික්ෂාව සඳහා UFR  පරීක්ෂණය භාවිතා නොකෙරේ.

සාමාන්‍යයෙන් රුධිරයේ සීනි මට්ටම 180ක් පමණ වැඩි වු විට මෙසේ මුත්‍රාවල සීනි පෙන්නුම් කළ හැකිය. නමුත් දියවැඩියාව හඳුනාගැනීම සඳහා කිසිවිටෙක UFR  පරීක්ෂණය භාවිතා නොකරන අතර, ඒ සඳහා භාවිතා කරන්නේ නිරාහාර FBS  රුධිර පරීක්ෂණයයි.

ඒ අනුව මුත්‍රා රෝග සහ මුත්‍රා මාර්ගයේ ආසාදන තත්ත්ව හඳුනාගැනීමට සිදුකරන මූලිකම හා සරල පරීක්ෂණය වන UFR  නැතිනම් මුත්‍රා සම්පූර්ණ පරීක්ෂණයට මුත්‍රා සම්පල දිනයේ ඕනෑම වේලාවක ලබාදිය හැකිය.

Urine Full Report ලෙසින් හැඳින්වුණද, පෙර සඳහන් රෝග තත්ත්ව පිළිබඳ සැක කරන අවස්ථාවලදී ඒ පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමට සිදු කරන මෙම පරීක්ෂණය වැඩිදෙනෙකුට සිදු කරන සුලබ පරීක්ෂණයකි.