ක්‍රියාශීලීව වයසට යන්නේ නම් ඔබ තවමත් තරුණයි

ක්‍රියාශීලීව වයසට යන්නේ නම් ඔබ තවමත් තරුණයි

මෙවර Meet Your doctor වැඩසටහන සහභාගී වූයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය, පේරාදෙණිය වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්ද්‍රිකා ජයසිංහ මහත්මියයි.

වයසට යනවා කියන දේ විද්‍යාත්මකව පැහහැදිලි කළොත්?

අතීතයේ නම් අවුරුදු 60න් පසුව වයස්ගත තැනැත්තෙක් ලෙස සලකනු ලබනවා. නමුත් මේ වන විට එක් එක් පුද්ගලයාගේ විවිධ තත්ත්ව අනුව වෙනස්වීම්වලට ලක් වෙනවා. අදාළ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය, මානසික මට්ටම, වටපිටාව, සමාජ වටපිටාව ආදිය මත වයසට යාම වෙනස් වේ. මේවාට අමතරව ජීව විද්‍යාත්මකව ද පුද්ගලයාගේ වයස්ගත වීම විවිධාකාර වන බව සඳහන් කළ යුතු වේ. බාහිර පෙනුම හැරුණු විට ඇතැම් විට ශරීරයේ ක්‍රියාකාරීත්වයෙන් ඔවුන් වයස අවු. 25 - 30ක තරුණයකුගේ මෙන්ද නැතිනම් ඇතැම් තරුණයින් ද ඇතැම් විට වයස අවු. 80ක පමණ අයකුගේ තත්ත්වයෙන් ක්‍රියාශීලී බවින් අඩු විය හැකියි.

ඒ නිසා උපතේ සිට තිබෙන වයස අනුව වයස්ගත වීම මන්දගාමී වීමක් යැයි සැලකිය නොහැකි නම් වයස්ගත වීම ජීවිතයේ පොදු ධර්මතාවක්. එය නොවැලැක්විය හැකි අතර අපි සෑම විටෙකම උත්සාහ ගත යුත්තේ ක්‍රියාශීලීව වයස්ගත වීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මේ බව පිළිගත් සත්‍යයක්. මේ යටතේ ඔවුන් කරුණු තුනක් පිළිබඳ දැඩි අවධානයක් යොමුකර තිබේ. ඒවා නම් සෞඛ්‍ය සංරක්ෂණය, සහභාගීත්වය හා ආරක්ෂාවයි. මෙම කරුණු තුන රැක ගැනීමෙන් යම් පුද්ගලයකුට ක්‍රියාශීලීව වයස්ගත වීමේ හැකියාවක් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස වී තිබේ. වයසට යාම පිළිබඳ තරුණ අවධියේ සිට නිවැරැදි අවබෝධය තිබීම ඉතා වැදගත්. වයසට යාම වැලැක්වීම නැවැත්විය නොහැකි වුවත් එහි ගුණාත්මක බව අපට ආරක්ෂාකර ගත හැකිය.

වයස්ගත වීම වළක්වා ගැනීමට කරන විවිධ දේ වලින් අනතුරු සිදුවිය හැකි ද?

ඇතැම් අය තමාගේ වයස ප්‍රකාශ කිරීමට බිය වන අතර එය එසේ සිදු නොවිය යුතුයි. යම් පුද්ගලයෙක් වයසින් පරිණත යැයි පැවැසීමට බිය නොවිය යුතු අතර තමාගේ ක්‍රියාශීලීත්වය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුයි. ඇතැම් අය සමේ වර්ණය වෙනස්කර ගැනීම තුළින් වයස සැඟවීමට උත්සාහ කරනු ලැබේ.

නමුත් සම සුදු පැහැවීම කිසිසේත් නිරෝගී බවේ ලක්ෂණයක් නොවේ. එය මිත්‍යා අදහසක් පැහැපත් සමක් යන්නෙන් අදහස් වන්නේ ලප, කැලැල්, දදවලින් තොර නිරෝගී සමක් යන්නයි. විශේෂයෙන් අප ඝර්ම කලාපීය රටක් ලෙස අප විවිධත්වයකින් යුක්තයි. නමුත් අප විසින් විවිධ දේ භාවිතා කර සම සුදුකර ගැනීමට උත්සාහ කරනු ලැබේ.

ඇතැම් විට මෙසේ සමට කරන ප්‍රතිකාර කාලයක් සමඟ ශරීර අභ්‍යන්තරයට ද බලපෑම් ඇති කර විය හැකියි. උදාහරණ වශයෙන් හඳුනා නොගත් වකුගඩු රෝග.

මෙසේ සිදුකරනු ලබන අනවශ්‍ය ප්‍රතිකාර බොහෝ විට තාවකාලික විය හැකියි. එසේ අපි විසින් කෘත්‍රීමව ලබන සුද හිරු එළියෙන් ආරක්ෂාවීමට සිදුවිය හැකියි. අප වැනි රටවල අයට හිමිවී ඇති වඩාත් වැදගත්ම දේ වන්නේ හිරු එළියයි.

හිරු එළිය වැළකීම හරහා ශරීරයේ විවිධ ඉන්ද්‍රියයන් වල නිරෝගී බවට විශාල බලපෑමක් ඇති වේ. අපගේ වෛද්‍ය සායන සඳහා සහභාගීවන ඇතැම් දරුවන් දවස පුරා නිදිමතින්, අලසකමින් ගත කරනු ලබන අතර ඇතැම්විට ඔවුන් හිරු එළියට නිරාවරණය නොවීම ඊට හේතුවක් දැයි වෛද්‍යවරුන් ලෙස අපට සාධාරණ සැකයක් ඇති වේ. බොහෝ දුරට ඊට හේතු විය හැක්කේ ඔවුන් සම සුදු කර ගැනීමට ලබා ගන්නා ආලේපන හා ඒවා ආරක්ෂාකර ගැනීමට පෙළඹීම විය හැකියි. ඒ වගේම ශරීරය සුදුවීම ආරක්ෂා කර ගැනීමට යාම ආර්ථික වශයෙන් ද විශාල පාඩුවකි.

විවාහ පත්වී දරුවන් ලැබූ කාන්තාවන් කාලයත් සමඟ තමාගේ ශරීරය පිළිබඳ දක්වන සැලකිල්ල ප්‍රමාණවත් නොවීම නිසා ඇතිවන ගැටලු මොනවා ද?

මෙහි දී ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය පිළිබඳ අවධානයක් යොමු කළ යුතු වේ. මෙහි දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුත්තේ ආහාර හා ශරීරයේ ක්‍රියාකාරීත්වය පිළිබඳවයි. ඒ වගේම නිවෙස්වල කෑම පිසීම අඩු වෙමින් පවතින අතර කඩ කෑම බහුල ලෙස ආහාරයට ගනු ලැබේ. තව ද විශේෂයෙන් කාන්තාවක් වයස්ගතවත්ම ක්‍රීයාශීලීව ගත කිරීමට කාන්තාවන් විශේෂයෙන් ආහාර පිළිබඳ දැඩි අවධානයක් යොමුකළ යුතුයි. ඒ වගේම ශරීරක ක්‍රියාකාරීත්වය යහපත්ව පවත්වාගෙන යාම ඉතා වැදගත්. විශේෂයෙන් නිවසේ එදිනෙදා කටයුතු පවා සිදු කිරීම ද ඉතා හොඳ ව්‍යායාම බව සඳහන් කළ යුතුයි.

වැඩිහිටියන් රැක බලා ගැනීම පිළිබඳ පේරාදෙණිය වෛද්‍ය පීඨය ආශ්‍රිත ක්‍රියාත්මක වැඩසටහන් මොනවා ද?

වැඩිහිටියන් රැක බලා ගැනීම සෞඛ්‍ය හා සමාජ සේවා යන අමාත්‍යාංශ දෙක මගින් එක්ව සිදු කරනු ලැබේ. ඔවුන් විසින් විශාල කටයුතු ප්‍රමාණයක් ආරම්භකර තිබේ. මෙහි දී වැඩිහිටි සෞඛ්‍යය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි අවධානයක් යොමු කරනු ලබන අතර වැඩිහිටි සුබසාධන කටයුතු පිළිබඳ සමාජ සේවා අමාත්‍යාංශය මගින් සිදුකරනු ලැබේ.