සිවිකාච නිසි අයුරින් භාවිතා කරන්නේ කෙලෙසද?

සිවිකාච නිසි අයුරින් භාවිතා කරන්නේ කෙලෙසද?

නවීන විලාසිතා සඳහා අද කාලයේ බොහෝදෙනෙක් දක්වන්නේ දැඩි කැමැත්තක්. මේ අතරින් කාන්තාවන් පිළිබඳ විශේෂයෙන් කථාබහ කළ හැකි වේ. ඒ වගේම එක් කලකදී පැමිණි විලාසිතාවක් තවත් කලෙකින් එහි මුහුණුවර වෙනස් කර පැමිණෙන විට එය අනුකරණය කිරීමට ද බොහෝවිට පළමුවෙන්ම පෙළඹෙන්නේ කාන්තාවන්ය. කෙසේ වෙතත් මෙම පෙරමුණ ගැනීමත් සමඟ ඔවුන් විවිධ අපහසුතාවලට මුහුණදෙන අවස්ථා ද නැත්තේම නැහැ.

ඒ නිසා ඕනෑම විලාසිතාවක් තෝරා ගැනීමට පෙර එය තමන්හට ගැලපෙනවාද නැද්ද යන්න පිළිබඳවත් එය අදාළ අවස්ථාව අනුවත් තෝරා බේරා ගැනීමට තරම් ඔබ බුද්ධිමත් විය යුතුය. එසේ නොවුණහොත් ඔබේ ශාරීරික සෞඛ්‍යටත් දැඩි ලෙස බලපෑම් ඇතිවිය හැකියි.

ඉහත පැහැදිලි කිරීම ඇඟලුම්, ආභරණ මෙන්ම ඇතැම් උපකරණ, උපාංග සම්බන්ධයෙන්ම එක ලෙස අදාළ කරගත හැකි වේ. එසේ විලාසිතාවක් ලෙස භාවිතා වන ඛ්ධදබඥජබ ඹ්ඥදඵඥඵ එසේත් නැත්නම් සිවිකාච පිළිබඳ පසුගිය සතියේදී අපි විසින් ඔබව දැනුවත් කළා. ඒ අනුව විවිධ අක්ෂි ආබාධ සඳහා මේවා යොදා ගත හැකි බවටත් මේ වනවිට විලාසිතාවක් ලෙසත් මෙම Contect Lenses භාවිතා කරනු ලබන බව ඔබට පවසන ලදී. ඒවා භාවිතා කිරීම පිළිබඳ නිසි දැනුවත් වීමක් නොමැතිකම නිසාත් ඔබ විසින්ම ඔබගේ ඇසට හානි ඇති කරවා ගත හැකියි. එසේ සිවිකාච පැළඳ හරිහැටි ක්‍රියාකළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ නොදැනුවත්කම නිසා බොහෝ ගැටලුවලට මුහුණ දෙන අවස්ථා පිළිබඳ අසන්නට ද ලැබිණි.

ඒ නිසා විලාසිතා සඳහා යොමු වී ඔබගේ අලංකාරය පිළිබඳ සිතනවාත් සමඟම ඒවා ආරක්ෂාකාරීව භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ මෙවර ආචාර්ය මිහිර වික්‍රමාරච්චි මහතාගෙන් විමසා බලමු.

සිවිකාච මේ වනවිට සමාජයේ බොහෝ දෙනෙක් අතර ජනපි‍්‍රය විලාසිතාවක් බවට පත්ව ඇති අතර අද වනවිට තරුණ තරුණියන් බොහෝ දෙනෙක් මෙම සිවිකාච භාවිතයට වැඩිපුර නැඹුරු වී ඇත.

ඒ නිසාම ඒවා හරිහැටි භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ දැන ගැනීම ඉතා වැදගත්. සිවිකාච පිළිබඳ කතාබහ කිරීමේදී දිනෙන් දින දියුණුවන තාක්ෂණය නිසා ඒවා මේ වනවිට විවිධ වයස් ප්‍රමාණ අනුව නිපදවා තිබේ.

ඒ වගේම පැළඳීමේ පහසුව හා සිත් වසඟ කරන වර්ණවලින් යුතු කාච නිසා තරුණ සිත් ඇද බැද තබා ගැනීමට ද ඒවා සමත් වේ.

සිවිකාච භාවිතා කිරීමට බොහෝ දෙනා පෙළඹෙන නිසා ඒවා නිසි ආකාරව පළඳින්නේ කෙසේද නොපළඳින විට ගළවා සුරක්ෂිතව තබන්නේ කෙසේද යන්න පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් ඇති කරවීම මෙම ලිපියේ තවත් අරමුණක් ද වේ.

ඒ වගේම දිගින් දිගටම ඒවා පැළඳ සිටීම සුදුසු ද නැද්ද යන්න පිළිබඳවත් ඔබට හරිහැටි අවබෝධයක් නොමැති නම් මෙම ලිපිය යටතේ ඒ පිළිබඳ දැන ගැනීමට හැකි වේවි.

අපගේ ශරීරයේ සැකැස්ම අනුව එය කුමන අවශ්‍යතාවක් සඳහා වුවද ඕනෑම දෙයක් සම්බන්ධ කර ගැනීමේදී යම් ආගන්තුක බවක් දැක්විය හැකියි. නමුත් පරීක්ෂණ මට්ටමින් අසාත්මිකතා ඇති නොකරන බවට සහතික වී ඇති නිසාත් ඒ බව පරීක්ෂණ මට්ටමින් ඔප්පු කර ඇති නිසා එතරම් බිය වීමට අවශ්‍ය නොවේ. නමුත් එවැනි දෙයක් වුවද අපගේ අභ්‍යන්තර ඒ වගේම වැදගත් ඉන්ද්‍රියයන් හා ගැටෙන විට උපරිම කාලසීමාවකට යටත් විය යුතුයි.

එසේ නොවීමෙන් ගැටලුකාරී අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවිය හැකි වේ. ඒ නිසා සිවිකාචයක් කිසිවිටෙකත් එක දිගට පැළඳ සිටීම නොකළ යුත්තකි.

එය රාත්‍රියේදී නින්දට යනවිට ගලවා ඉවත් කිරීමට ඔබ හොඳින් මතක තබා ගත යුතුය. නමුත් බොහෝ අය එම කරුණ පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදැක්වූවත් එමඟින් දැන දැනම ඔබ ඔබගේ ඇසට හානිකර ගත්තා විය හැකියි. ඒ නිසා සිවිකාච අලංකාරවත් මෙන්ම නිතර පුරුද්දක් ලෙසින් භාවිතා කළත් ඇසට හානි ඇතිකර විය හැකි නිසා එය රාත්‍රියට ගලවා තැබීමට නොපමාව ඔබ කටයුතු කරන්න. එසේ නොකිරීමෙන් ඔබ විසින් ඔබට සිදුකර ගන්නේ විශාල හානියකි.

සිවිකාච රාත්‍රියට ගැලවිය යුතු ඇයි ලබන සතියේදී විමසා බලමු.