ඔබේ ගැටලු අප වෙත එවන්න

ඔබේ ගැටලු අප වෙත එවන්න (වෛද්‍ය ගැටලු, ආරෝග්‍යා, ලේක්හවුස්, කොළඹ 10)

කායික රෝග ගැටලු

වායුසමනය කරන ලද කාමරවල සිටිනවා නම් නිතර ජලය පානය කරන්න

විසල් - කඩවත

ජාතික වෘත්තිය සුරක්ෂිතා හා සෞඛ්‍ය ආයතනයේ විශේෂඥ වෛද්‍ය

චම්පිකා අමරසිංහ

ගැටලුව

වෛද්‍යතුමනි, මා දිගුකාලයක් වායුසමනය කරන ලද කාමරයක රැකියාව කරමි. මෑතක සිට මාගේ හිසකෙස් සීඝ්‍රයෙන් පැසීමට ලක් වේ. සමද අධික වියළි භාවයට පත්ව ඇත. වෛද්‍යතුමනි, මාගේ ගැටලුව නම් මාගේ හිසකෙස් සීඝ්‍රයෙන් පැසීම හා සමේ අධික වියළි භාවය සමඟ මාගේ රැකියා ස්ථානයේ සම්බන්ධයක් තිබේද යන්නයි. මා රැකියාවේ දිගටම රැඳී සිටිය යුතු බැවින් මා කළ යුත්තේ කුමක්ද?

පිළිතුර

ඔබේ ගැටලුවට අනුව සම වියළිභාවයට පත්වීම හා ඒ/ඛ් එක අතර සම්බන්ධයක් බොහෝදුරට තිබිය හැකියි. මන්ද සමෙන් වතුර වාෂ්ප බවට පත් වීම හේතුවෙන්. ඊට ප්‍රතිකර්මයක් ලෙස ඔබේ සම තෙත්ව තබා ගැනීමට බේබි ක්‍රීම් හෝ වෙනත් ක්‍රීම් වර්ගයක් ඔබ නිතර ආලේප කිරීම සුදුසුයි.

ඔබේ අනෙක් ගැටලුවට අදාළව එනම් කොණ්ඩය පැසීම හා ඒ/ඛ් එක අතර සම්බන්ධයක් ඇත්දැයි නිශ්චිතව පැවසීම අපහසුයි.

ඊට වෙනත් හේතු ගණනාවක සම්බන්ධයක් තිබිය හැකියි. ජානමය බලපෑමක්, ඩයි කිරීම හෝ වෙනත් හේතුවක් තිබිය හැකියි.

ඒ නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීමට සිදු වෙයි.

කෙසේ වෙතත් ඔබ වායුසමනය කරන ලද කාමරයක රැඳී සිටීමේදී ඉතා හොඳින් වතුර පානය කිරීම වැදගත්.

කායික රෝග ගැටලු

වයස්ගත අයට සවස් කාලයේදී කකුල් ඉදිමීම සිදුවිය හැකියි

පද්මා - පොතුපිටිය

කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

වරුණ ගුණතිලක

ගැටලුව

වෛද්‍යතුමනි, මා අවුරුදු 70ක පමණ කාන්තාවක් වෙමි. කාලයක සිට මාගේ පාදවල වළලුකර ඉදිමේ. මෙය සවස් යාමයේදී වැඩිය. මා හට දණහිස් අමාරුව ද ඇත. තවද යම් අය මා හට පවසා සිටියේ හෘදයාබාධ නිසාත් මෙසේ සිදුවිය හැකි බවයි.

වෛද්‍යතුමනි, මේ නිසා මා චකිතයට පත් වී සිටී. මා හට හෘද රෝග අවදානමක් පවතී ද? මා යොමු විය යුත්තේ කුමන වෛද්‍යවරයෙකු වෙතද?

පිළිතුර

සාමාන්‍යයෙන් වයස්ගත වනවිට රෝගී තත්ත්වයක් නැතුවත් සවස් කාලයේදී කකුල් ඉදිමිය හැකියි. තවද එකම ඉරියව්වෙන් සිටීම නිසාද එසේ විය හැකියි. ඊට අමතරව හෘද රෝග, අක්මා, වකුගඩු රෝග නිසාත්, ආහාර අවශෝෂණ ක්‍රියාවලියේ ගැටලු නිසාත් මෙවැනි තත්ත්වයක් හටගත හැකියි.

නමුත් වයස්ගත වනවිට රෝග අවදානම වැඩි බැවින් වෛද්‍යවරයෙකු වෙත යොමු වීම වැදගත්. ඒ නිසා ඔබේ ගැටලුවේදී කායික රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු හමු වී පරීක්ෂා කර ගැනීම සුදුසුයි.

ළමා රෝග ගැටලු

කුඩා දරුවන්ට නිතර කුසගිනි දැනෙන්නේ ඇයි?

ජා ඇල- ඉෂානි
 

ළමා රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

දීපාල් පෙරේරා

ගැටලුව

වෛද්‍යතුමනි, මාගේ දියණියගේ වයස අවුරුදු දහයකි. මෑතක සිට ඇය නිතරම කුසගිනි දැනෙන බව පවසයි. නිතර කෑමට යමක් සොයයි. ඇය සාමාන්‍ය නිරෝගී දරුවෙකි.

කුඩා කල කෑමට එතරම් කැමැත්තක් හා සැලකිල්ලක් දැක්වූයේ නැත. නමුත් මෑතක සිට ඇය මෙසේ නිතර කුසගිනි දැනෙන බව පවසන්නේ කුමක් නිසා විය හැකිද? මෙය රෝගී තත්ත්වයක් ද නැතිනම් වෙනත් හේතුවක්ද? වෛද්‍යතුමනි, කරුණාකර මේ ගැන පහදා දෙන්න.

පිළිතුර

මෙම වයසේදී ඉන්ද්‍රියයන්වල වෙනස්කම් සිදුවන කාලයක් බැවින් ඒ සඳහා වැඩිපුර ශක්තියක් අවශ්‍යයි. මෙහිදී ඔබ පවසන ආකාරයට අසීමිත ලෙස කුසගිනි දැනෙන බව පවසනවා නම් දියවැඩියාව හෝ තයිරොක්සීන් වැඩිවීම ආදී තත්ත්ව පිළිබඳවත් සොයා බැලීමට සිදු වෙනවා.

කලාතුරකින් ගැස්ට්‍රයිටීස් තත්ත්වයක් නිසාත් මෙවැනි තත්ත්වයක් සිදුවිය හැකියි.

නමුත් බොහෝදුරට මෙය සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැකියි. විශේෂයෙන්ම දරුවා ක්‍රියාකාරී නම්, පාසල් කටයුතු, ක්‍රීඩා කටයුතු ආදියෙහි නිරත වනවා නම් ගැටලුවක් නැත.

නමුත් දිගුකාලීනව මෙය සිදුවනවා නම් බර වැඩි නොවී කෙට්ටු වනවා නම් ලේ වල සීනි, තයිරොක්සීන් වැඩිවීමක් සිදු වී ඇත්ද වැනි තත්ත්ව පරීක්ෂා කිරීමට සිදු වෙයි.

කායික රෝග ගැටලු

ඇඟේ හිරිගඩු පිපී සීතලක් දැනෙනවා

ලක්මා - මාදම්පේ
 

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ
කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනෝජි පතිරගේ

ගැටලුව

වෛද්‍යතුමනි, මා වයස අවුරුදු හතලිහක පමණ කාන්තාවක් වෙමි.

මෑතක සිට මාගේ ඇඟ කිරිගඩු පිපී, සීත කරන ගතියක් නිතර ඇති වේ.

එවිට අධික මුත්‍රා බරක් ද දැනේ. මෙය දවසේ ඕනෑම වේලාවකදී සිදු වේ.

වෛද්‍යතුමනි මීට හේතුව කුමක්ද? මෙය කිසියම් රෝගී තත්ත්වයක් නිසා ඇතිවන තත්ත්වයක්ද? කරුණාකර මීට හේතුව පැහැදිලි කර දෙන්න.

පිළිතුර

සීත සහිත වටපිටාවකින් තොරව ද අධික සීතලක් දැනෙනවා නම් තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලුවක් දැයි පරීක්ෂා කර බැලිය යුතුයි.

ඊට අමතරව අධික මුත්‍රා බරක් දැනෙනවා නම් සමහර විට ඒ වෙනත් ගැටලුවක් විය හැකියි. සමහර අපස්මාර තත්ත්ව වලදීත් මෙසේ විය හැකියි. සමහර විට එය මුත්‍රා ආසාදනයක ලක්ෂණයක් ද විය හැකියි. ඔබේ ගැටලුවට මෙවැනි තත්ත්ව ගණනාවක සම්බන්ධයක් තිබිය හැකි බැවින් කායික රෝග වෛද්‍යවරයෙකු වෙත යොමු වී පරීක්ෂාවකට බඳුන් වීම සුදුසුයි.