අහිංසක ඖෂධ වලින් පවා මරණීය විපාක ඇතිවිය හැකියි

අහිංසක ඖෂධ වලින් පවා මරණීය විපාක ඇතිවිය හැකියි

ඖෂධ අලෙවි ක්ෂේත්‍රය තුළ වෛද්‍ය නිර්දේශයක්, එනම් බෙහෙත් සීට්ටුවක් නොමැතිව ගත හැකි බෙහෙත් රාශියක් ද වෙයි. මෙම ඖෂධ අලෙවි කරනුයේ ෆාමසි හෝ බෙහෙත් අලෙවිසැල් හෝ තුළ පමණක් නොව, තේ කඩවල මෙන්ම බුලත්විට කඩවලද විකිණිය හැකි මෙම බෙහෙත්, ඒ නිසාම අතුරු ආන්ත්‍රාවලින් තොර බවට අදහසක් ජනතාව තුළ පවතියි. එහෙත් ඇත්ත තත්ත්වය මෙය නොවේ. මෙම “අහිංසක” යැයි පවසන ඖෂධ වර්ග වලින් පවා මරණය ඇති කිරීම දක්වා වන අනිටු ඵල විපාක ඇති කිරීමට සමත් වන බව වටහා ගැනීම වැදගත්ය.

හිසරදයෙන් සහනය පතා අප එසේ “විවෘතව“ ලබා ගන්නා ඖෂධ, ඖෂධ විද්‍යාව හඳුන්වන්නේ “ඇනාල්ජෙසික්ස්” හෙවත් “වේදනා නාශක” ලෙසය. මේවා බොහෝවිට මොළයේ වේදනා ප්‍රතිග්‍රාහක මත ක්‍රියා කිරීමට සමත්ය. මද උණ, ඇඟ පත කැක්කුම, මාසික ආර්තව වේදනාව, දත් කැක්කුම ආදියට ද හිසරදයට අමතරව සහනය ඇති කිරීමට සමත් මෙම ඖෂධ අතරින් නිදහස්ව මිලදී ගත හැක්කේ ස්ටෙරොයිඩ නොවන ප්‍රතිප්‍රදාහක ඖෂධ ගණයට අයත් ඖෂධය. මේවා ප්‍රති ප්‍රදාහමය වේදනා නාශක ලෙස හඳුන්වන්නේ වේදනාව නැසීමට අමතරව පේශිවල ඉදිමුම් (ප්‍රදාහ) තත්ත්වයන්ද වැළැක්වීමට සමත් වන හෙයිනි. එහෙත් මෙම ඖෂධ, විශේෂයෙන්ම ඇස්පී‍්‍රන් හා ඉබුප්‍රොපේන් වැනි ඖෂධ ආමාශ පටල උත්කෝපනය කරන හෙයින් හිස්බඩ ගැනීම නොකළ යුතුය. ඒවා ආහාර ගැනීමෙන් හෝ කිරි පානයෙන් හෝ පසුව පමණක් ගත යුතු වන්නේ එහෙයිනි. ඇස්පී‍්‍රන් හා ඇස්පී‍්‍රන් අඩංගු ඖෂධ කුඩා ළමයින්ට නොදිය යුත්තේ දරුණු ඵල විපාක ඇති කිරීමට ඒවා සමත් හෙයිනි.

පැරසිටමෝල් නම් ජනපි‍්‍රය වේදනා නාශකය මෙම ගණයට අයත් නොවන්නේ එය ප්‍රති ප්‍රදාහමය ගුණ රැගත් ඖෂධයක් නොවන හෙයිනි. එය හිස්බඩ ගත හැකිය. ඉන් උපරිම ඵල ලැබිය හැක්කේ ආහාරයට පැය 1/2කට පෙර වතුර විශාල ප්‍රමාණයක් සමඟ ගැනීමෙනි. පැරසිටමෝල් ගැනීමේදී එය දවසකට හතර වරකට වඩා (පැය 6කට වරක් බැගින්) නියමිත මාත්‍රාවෙන් ගැනීම පමණක් කළ යුතුය. පැරසිටමෝල් වැඩි ප්‍රමාණයක් ගැනීම අක්මා අකරණයට හේතුවෙයි. කිසිදු වේදනා නාශකයක් වෛද්‍ය උපදෙස්වලින් තොරව දින 7 -8කට වඩා නොගත යුතුය. මත්පැන් පානය කිරීමෙන් පසු පැරසිටමෝල්, ඇස්පී‍්‍රන් ඇතුළු කවර හෝ වේදනා නාශකයක් ගැනීම නොකළ යුතුය.

වේදනා නාශක වැඩි කාලයක් ගැනීම නිසා වකුගඩුවලට හානි විය හැකිය. මේ නිසා දියවැඩියා රෝගීන් වේදනා නාශක ගත යුත්තේ ඉතා සීමා සහිතවය. වේදනා නාශක, ශරීරය තුළ ලවණ සහ ජලය එක් රැස්කර ඉදිමුම් ඇති කිරීමට සහ බර වැඩි කිරීමට සමත් වෙයි.

ආමාශ පේශි සහ ආන්ත්‍ර උත්කෝපනය කර ආහාර අජීර්ණ තත්ත්වයන් සමේ වණ සහ අභ්‍යන්තර රුධිර වහනය ඇති කිරීමට සමත් වෙයි. සමහරවිට ඇදුම සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති කිරීමට, බඩ වේලීම (මළ බද්ධය) හෝ පාචන තත්ත්වයන් ඇති කිරීමට ද වේදනා නාශක සමත්ය.

ඖෂධ ලෝකය තුළ පවතින සුලබ කියමනක් වන්නේ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයන් බෙහෙත් නොගෙන සිටියහොත් සතියකින් ද බෙහෙත් ගතහොත් දින 7 කින් ද සුවවෙන බවයි. එහි අදහස නම් වෛරස ආසාදනයක් වන සෙම්ප්‍රතිශ්‍යාවට ඖෂධ ගැනීම පලක් නැති ක්‍රියාවක් බවය. නාසය හිරවීම හා නාස් කෝටරික අවහිරතාවලින් මිදීමට උණුසුම් ජලවාෂ්ප (දුම්) ඉරීම, මෙන්තෝල් සහිත ආලේපනයක් ගැල්වීම සහ අවශ්‍ය නම් ක්ලොර්පෙනිරමීන්, සිට්‍රසීන් වැනි ප්‍රති - හිස්ටමීන ඖෂධයක් ගැනීම ප්‍රමාණවත් බව පිළිගැනෙයි. කැස්ස සඳහා වන ඖෂධ තරම් වර්තමාන නිදහස් ඖෂධ වෙළඳපොළේ අලෙවි වන ඖෂධ වර්ගයක් නොමැති තරම්ය. මෙම සමහර ඖෂධ මිශ්‍රණ තුළ ඇති සුළු මත් ඖෂධ ආනයනයට පවා බොහෝ අය හුරුව සිටින බව පසුගියදා වර්තා විය.

සුළු කැස්ස හා උගුර බැරැන්ඩි ස්වභාවයට උණු ලුණු වතුර මිශ්‍රණයකින් උගුර කකාරා සේදීම, සහ වෙළඳපොලෙන් ලබාගත හැකි “මෙඩිකේටඩ් ලොසින්ජර්ස්” ලෙස හැඳින්වෙන ඖෂධීය ටොෆී වර්ග ගැනීම ප්‍රමාණවත් විය හැකිය.


මව්කිරි දෙන මවක් දිනකට වැඩිපුර ගතයුතු ආහාර ප්‍රමාණය

මවක් තම සිඟිති කිරිකැටියා උකුලේ හොවාගෙන අමෘතය බඳු කිරිවලින් ඔහුගේ හෝ ඇයගේ පුංචි කුස පුරවාලන්නේ අසීමිත වූ දයාර්දයකිනි.

සිරුර පුරා දිවෙන ලෙය කිරිවලට හැරෙද්දී මවක් සිය සෞඛ්‍යය තත්ත්වය ඉහළ මට්ටමක තබා ගැනීමට හැමවිටම උත්සාහ කළ යුතුයි. නිසි පෝෂණ තත්ත්වයක් නොලැබුවොත් සෞඛ්‍ය තත්ත්ත්වය පිරිහී මව රෝගාතුර වේ.

එහෙත් වැදගත්ම දේ නම් දරුවාට කිරි දීමට යැයි පවසමින් තමා වෙනදාට ගන්නා ආහාර ප්‍රමාණය දෙගුණයකින් වැඩි කළ යුතු නොවේ. එයට හේතුව කිරි ලබාදීමට අවශ්‍ය ශක්ති ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් මවගේ ගර්භණී කාලය තුළදී මේදය ලෙස සිරුරේ තැන්පත් වී තිබීමයි. දෙගුණයක් ආහාර නොගත්තත් සාමාන්‍ය දිනකට සාපේක්ෂව ඊට වඩා වැඩිපුර ප්‍රමාණයක් ආහාර ගත හැකියි.

මවුකිරි ලබාදෙන කාන්තාවකට දිනකට අවශ්‍ය වැඩිපුර ආහාර ප්‍රමාණය

බත් ග්‍රෑම් 60

එක් මිටක් - කැලරි 240

පරිප්පු ග්‍රෑම් 60

මිටකින් අඩක් - කැලරි 120

එළවළු - එක් මිටකි

ඉදුණු කෙසෙල් ගෙඩි 1/2 - කැලරි 9

තෙල් මිලිලීටර් 5

තේ හැදි 1යි - කැලරි 50

මන්දපෝෂණය සහිත මවගේ දරුවාට මවුකිරි දීමේදී හා මවුකිරිවල සංයුතියේ වෙනස්කම් දැකගත හැකි බව ඔප්පු වී ඇත.

මවුකිරි ලබාදෙන මව සමබර ආහාර වේලක් එනම්, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, මේදය, ඛනිජ ලවන හා විටමින් වර්ගයන්ගෙන් හෙබි වූ ආහාර වේලක් ගැනීමත් දිනකට එක් වේලකටවත් පලා වර්ගයක්, පලතුරක් එකතු කර ගැනීම අගෙයි. මීට අමතරව කැල්සියම් හා යකඩ යන ඛනිජ ද ආහාරවේලේ හි අන්තර්ගත විය යුතු වේ. මවුකිරි වැඩිකර ගැනීම සඳහා යැයි පවසමින් නිවසේ වෙසෙන වැඩිහිටියන් දෙනු ලබන ආහාර වර්ග ද මවගේ අකැමැත්තක් නැතිනම් ගත්තාට වරදක් නැත. මෙහිදී සැලකිය යුත්තේ මවගේ සිත සැනසීමයි. මව ගැනීමට අකමැති කෑම කෑමට බල නොකල යුතුයි.

කෘත්‍රිම ආහාරවලට වඩා ස්වභාවිකව ගෙවත්තෙන්, වටපිටාවෙන් සපයා ගත හැකි ආහාර එක්කර ගැනීම ප්‍රතිඵලදායකය එසේම මෙම ආහාර සකසා ගැනීමේදී විටමින් සහ අත්‍යවශ්‍ය පෝෂක කොටස් විනාශ නොවන අන්දමින් ඒවා සකස් කර ගැනීමත් වැදගත් වේ. මවුකිරි දීමට පෙර කිරි වීදුරුවක් බීම අත්‍යවශ්‍ය නොවේ. උණුසුම් වතුර වීදුරුවක් ගැනීමත් පෙරට වඩා දියර වර්ග වැඩිපුර ගැනීමත් කළ යුතු වේ. දරුවා ප්‍රසුත කළ පසු වෛද්‍යවරයා නියම කරන විටමින් වර්ග මාස 6ක් වසරක් පමණ වනතුරු ලබා ගැනීම සුදුසු වේ.