බෝවන සෙංගමාලය හෙපටයිටීස් A

බෝවන සෙංගමාලය හෙපටයිටීස් A

අක්මා ප්‍රදාහ තත්ත්ව ඇති කරන වෛරස් රෝගවලින් බහුලම වෛරස් රෝගය වන්නේ හෙපටයිටීස් A රෝගයයි. මෙම රෝග තත්ත්වය ඇති වීමට ප්‍රධානතම හේතුව වන්නේ අපේ සනීපාරක්ෂක ක්‍රියාවලිය පිළිබඳව නිසි සැලකිලිමත් භාවයක් නොදැක්වීමයි. සනීපාරක්ෂක පහසුකම් දුර්වල වීමේදී උදාහරණ වශයෙන් අපිරිසිදු ජලය පානය කිරීම, අපිරිසිදු ආහාර අනුභව කිරීම මෙන්ම දෑත් නොසෝදා ආහාර ගැනීම, වැසිකිළියට යාමෙන් අනතුරුව දෑත් හරියාකාරව පිරිසිදු නොකිරීම, නියපොතු සැපීම ආදිය සහ විෂබීජ ප්‍රවාහකයන් වන මැස්සන් වසන ලද ආහාර අනුභව කිරීම Hepatitis A වෛරසය ශරීරගත වීමට හේතු වේ.

ජලය හොඳින් උතුරවා පෙරා පානය නොකිරීම ද මෙම රෝගී තත්ත්වය වැළඳීමට මූලික වන්නාවූ තවත් එක් හේතුවකි. හෙපටයිටීස් A වෛරසය විනාශ කළ හැක්කේ ජලය මිනිත්තු 10ක් පමණ වේලාවක් හොඳින් උතුරවන්නට සැලැස්වීමෙනි. මහා පරිමාණයේ ජල තටාකවලින් බෙදාහරින ජල නළවලට ක්ලෝරින් යොදන්නේ ජලයේ ඇති විෂබීජ විනාශ කිරීමටය. නමුත් ක්ලෝරීන් යෙදුව ද ජලයේ ඇති මෙම විෂබීජය විනාශ වන්නේ නැත.

හෙපටයිටීස් ඒ රෝග ලක්ෂණ

සියලුම හෙපටයිටීස් වර්ගවලට පොදු රෝග ලක්ෂණ වන්නේ ආහාර අරුචිය, ඇස් කහ වීම, වමනය, උණ, තෙහෙට්ටුව, උදරය දකුණු පැත්තේ ඉහළ කෙළවර ඇතිවන වේදනාව., බඩ පිපුම.උදරය මහත්වීම. වළළුකර හා දෙපා ඉදිමුම ආදියයි. අනෙකුත් හෙපටයිටීස් වර්ගවලට මෙන්ම හෙපටයිටීස් ඒ වලට ද මේ සියලු රෝග ලක්ෂණ පොදුය. මෙම වෛරසය ශරීරගත වී සති 2 -3 අතර කාලයකදී රෝග ලක්ෂණ මතු වේ. සියලුම හෙපටයිටීස් වර්ගවල රෝග ලක්ෂණ එක හා සමාන බැවින් රෝගියාට වැළඳී ඇත්තේ කුමන හෙපටයිටීස් වර්ග ද යන්න නිශ්චිතව හඳුනා ගැනීමට රුධිර පරීක්ෂණ කළ යුතුය. එබැවින් රුධිර පරීක්ෂාවෙන් ලැබෙන දත්තයන් අනුව වැළඳී ඇති හෙපටයිටීස් වර්ගය කුමක්දැයි නිශ්චය කර රෝගියා වහාම ප්‍රතිකාර වෙත යොමු කළ යුතුය.

වැළඳී ඇති හෙපටයිටීස් වර්ගය අනුව කෙරෙන ප්‍රතිකාර ක්‍රමය ද වෙනස් වේ.

හෙපටයිටීස් නිසා රෝගියාගේ සිරුරට ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව ද පූර්ණ වැටහීමක් වෛද්‍යවරයා ලබාගත යුතු බැවින් ඇස් කහ වී ඉහත කී රෝග ලක්ෂණ සහිතව රෝගියෙකු පැමිණි විට කළ යුත්තේ වැළඳී ඇත්තේ කුමන හෙපටයිටීස් වර්ගය ද යන්න ප්‍රථමයෙන් හඳුනා ගැනීමයි.

මෙය (හෙපටයිටීස් A අයි.ජී.එම්.ඇන්ටි බොඩි (Hepatitis A IgM Antibody) නැමැති රුධිර පරීක්ෂණ මඟින් සොයාගත හැකිය. හෙපටයිටීස් ඒ 99.9% ක් ප්‍රතිකාර මඟින් සුව කළ හැකි අතර හෙපටයිටීස් A රෝගයෙන් යම් කෙනෙකු මිය යන්නේ නම් දහසකට එක් රෝගියෙකුට කලාතුරකින් ඇති වන තත්ත්වයකි.

හෙපටයිටීස් A රෝගියෙකුගේ රෝගය උග්‍ර අතට පත් වී දරුණු බලපෑම් ඇති වන අවස්ථා ද නැත්තේ නොවේ. දරුණු ලෙස අක්මාවට හානි වී අක්මාව අක්‍රිය තත්ත්වයේ පවතින්නේ නම් එය හඳුන්වන්නේ ෆුල්මිනන්ට් (Fulminant) හෙපටයිටීස් යනුවෙනි.

මෙම තත්ත්වයේදී උග්‍ර ලෙස අක්මාවට හානි සිදු වී අක්මාව දරුණු ලෙස රෝගී වන තත්ත්වයකට පත් වේ. එවිට රෝගියා අසාධ්‍ය තත්ත්වයට පවා පත්විය හැකියි. ඇතිම් රෝගීන්ට තදබල ලෙස ඇස් කහ වීමේ තත්ත්වයක් දීර්ඝ කාලයක් දක්වා පැවතිය හැකිය. මේ ආකාරයට ඇස් කහ වීම සමඟ සිරුර දැඩි කැසීමකට ලක් වේ. එයට හේතුව වන්නේ හෙපටයිටීස් ඒ මඟින් අක්මාව තුළදී පිත්ත ප්‍රණාල අවහිර වීමයි. වාසනාවකට ඉතාම බහුලම හෙපටයිටීස් වර්ගය වන හෙපටයිටීස් ඒ වලින් කිසිවිටක සිරෝසිස් ඇති වන්නේ නැත.රෝගයෙන් ආරක්ෂා විමට තමාගේ සහ තම පවුලේ අයගේ පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබදව සැළකිලිමත් විය යුතුය.