හාල්මැස්සන්-උම්බලකඩ වල හීම් යකඩ අඩංගුයි

හාල්මැස්සන්-උම්බලකඩ වල හීම් යකඩ අඩංගුයි

මිනිසාගේ යහපත් සෞඛ්‍ය සංවර්ධනයේ මූලික අඩිතාලම පෝෂණයයි. ජීවිතයේ පැවැත්ම ශාරීරික හා මානසික වර්ධනය, ක්‍රියාකාරීත්වය හා ඵලදායිතාවය සඳහා නිසි පෝෂණය අත්‍යවශ්‍ය වේ. එහිදී යකඩ ඌනතාවය ලොව පුරා සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල වඩාත් ව්‍යාප්ත වූ ගැටලුවක් හැටියට හඳුනාගෙන ඇත.

මෙය ක්ෂුද්‍ර පෝෂක ඌනතාවක් (සැඟවුණු කුසගින්න ලෙස එය අර්ථ දක්වා ඇත.) ලෙසද හැඳින්වේ.

යකඩ ඌනතාවය යනු ශරීරයේ භාවිතයට ගත හැකි යකඩ තැන්පතු ක්ෂය වීමෙන් පටකවලට අවශ්‍ය යකඩ නොලැබී යාම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. මෙහි උග්‍ර අවස්ථාව නීරක්තියයි.

නීරක්තිය හෙවත් ලේ අඩුකම

මෙය අප රටට බලපා ඇති ප්‍රධාන ක්ෂුද්‍ර පෝෂක ගැටලුවකි. නීරක්තිය තත්ත්වය ඇති වූ විට ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය අවශෝෂණය කර ගැනීමට බාධා ඇති වේ.

තවද, නීරක්තිය සඳහා බහුලතම හේතුව යකඩ ඌනතාව බැවින් පොදු ව්‍යාවහාරයේදී නීරක්තිය ලෙසින් හඳුන්වන්නේ යකඩ ඌනතාවය නිසා හට ගන්නා නීරක්තියයි. තවද මිනිසාගේ සෞඛ්‍යය වර්ධනයට නිරක්තියෙන් දැඩි බලපෑම් එල්ල වෙයි. ළදරුවන් සහ කුඩා දරුවන්ගේ කායික මානසික සහ බුද්ධි වර්ධනය ද ක්‍රියාශීලිත්වය ද මේ නිසා අඩු වේ. තවද යකඩ ඌනතාවය නිසා කාන්තාවන් හා පුුරුෂයින්ගේ වැඩ කිරීමේ ධාරිතාවය සහ ක්‍රියාශීලිත්වය 30%කින් පමණ අඩු වන බවද හඳුනාගෙන ඇත.

ශරීරයේ සහ ඇට මිදුළුවල සාමාන්‍ය යකඩ තැන්පතු අවසන් වූ පසු යකඩ ඌනතා නීරක්ති තත්ත්වය ඇති වේ.

යකඩ ඌනතා නීරක්තිය ඇති වීමට වැඩි අවදානමක් ඇති කණ්ඩායම් වන්නේ ප්‍රජනන අවදියේ පසුවන කාන්තාවන්, ගර්භනී හෝ කිරිදෙන මවුවරුන්, (ඔවුන්ගේ යකඩ අවශ්‍යතාව මේ අවදියේ වැඩි වේ.) ළදරුවන්, දරුවන් සහ යෞවන වයසේ පසුවන ළමයින් සහ වසර ගණනාවක් පුරා යකඩ බහුල ආහාර වන මස් හෝ මාළු ආදිය අඩුවෙන් ආහාරයට ගන්නා අයය. මන්දපෝෂණය නිසා ඇතිවන කෙටිකාලීන හා දිගුකාලීන ගැටලු කෘෂ බව, රෝගවලට පහසුවෙන් ලක්වීම බුද්ධි වර්ධනයේ අඩුපාඩු, මිටි බව, බෝ නොවන රෝගවලට වැඩි අවදානමක් ඇති වීම, ප්‍රසව සංකුලතා, අඩු ඵලදායිතාව, දිළිඳු බව

ළමා වියේ යකඩ ඌනතා නීරක්තියට හේතු

අවශ්‍යතාවය වැඩි වීම - මොළයේ සහ සිරුරේ සීඝ්‍ර වර්ධන වේගය

අවශ්‍යතාවයට සරිලන පරිදි යකඩ නොලැබීම අමතර ආහාරවලට යකඩ බහුල ආහාර එකතු කිරීමේ අඩුපාඩු යකඩ අවශෝෂණයට බාධා ඇතිවීම යකඩ අවශෝෂණය අඩු කරන සංඝටක සහිත ආහාර (උදා. අධික කෙඳි, ෆයිටේට්, කැෆේන් ආදිය සහිත ආහාර පාන)

සාමාන්‍ය යකඩ ශරීරයෙන් ඉවත් වීම - (පණු රෝග ආදිය)

හීම් යකඩ යනු මොනවාද?

එනම් අවශෝෂණයට පහසු ආකාරයේ යකඩ අන්තර්ගත වී ඇති ආහාරය.

යකඩ සපිරි ආහාර

සත්ත්වමය ආහාර

හොඳින් අවශෝෂණය වන හීම් යකඩ අඩංගු ආහාර

පීකුදු, රතු පැහැති මස් වර්ග

මාළු (බලයා, කෙලවල්ලා,සාවාලයා, වියළි හාල්මැස්සන්)

කුකුල් මස්

සත්ත්වමය ආහාර ප්‍රභවයන්ගෙන් ලබා ගන්නා යකඩ, නිර්මාංශ ප්‍රභවයන්ගෙන් යකඩ වලට වඩා පහසුවෙන් ශරීරයට අවශෝෂණය වේ. නමුත්, ධාන්‍ය හා මාංශ භෝග වර්ග බීජ අංකුර ඇදෙන තෙක් පෙඟවීමෙන් හා විටමින් සී බහුල ආහාර ආහාරවලට එක්කර ගැනීමෙන් යකඩ අවශෝෂණය වැඩි කිරීමේ හැකියාව පවතී.

හීම් නොවන යකඩ අඩංගු ආහාර

හීම් නොවන යකඩ ශරීරයට එතරම් හොඳින් අවශෝෂණය නොවේ.

නිර්මාංශ ආහාර

පියළි වර්ග (උදා. පරිප්පු, මුං ඇට, කඩල, කවුපි, උළුදු, බෝංචි, සෝයා බෝංචි)

පලා වර්ග (උදා. ගොටුකොළ සාරණ, තම්පලා, මුරුංගා කොළ)

යකඩ අවශෝෂණ වැඩිවන ආකාරයට ආහාර සකසා ගන්නේ කෙසේද?

ධාන්‍ය හා මාංශ බෝග වර්ග බීජ අංකුර ඇදෙන තෙක් පෙඟවීම හා පිටපොත්ත ඉවත් කර පිස ගන්න.

ධාන්‍ය පෙඟවූ ජලය එම ආහාර පිසින්නට යොදා නොගන්න.

ධාන්‍ය හා මාංශභෝග කබලේ බැද පිටපොත්ත ඉවත් කර කුඩු කර ගන්න.

හීම් යකඩ අඩංගු සත්ත්වමය ආහාර කුඩා ප්‍රමාණයක් හෝ ආහාරයට එකතු කර ගන්න.

(උදා. උම්බලකඩ, බැදපු හාල් මැස්සන් කුඩු)

විටමින් “සී” බහුල ආහාර කෑම වේලකට එක්කර ගැනීම (උදා. පේර, දෙහි, දොඩම්, නෙල්ලි, කාමරංගා, වෙරළු, සියඹලා, තක්කාලි ආදිය)

තවද ආහාරවල ඇති යකඩ අවශෝෂණය වැඩි කර ගැනීම සඳහා යකඩ අවශෝෂණය වීම අඩු කරවන ආහාර යකඩ සපිරි ආහාර සමඟ එකම වේලාවකදී ගැනීමෙන් වැළකිය යුතුය. උදා. තේ, කෝපි වැනි පානවර්ග, තන්තු අධික ආහාර වර්ග, කැල්සියම් අධික ආහාර (කිරි, චීස් වැනි)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ

පෝෂණ තොරතුරු ඇසුරෙනි