ඔසප් කාලයේ Pool එකේ නානවා නම් Tampon භාවිතාකරන්න

ඔසප් කාලයේ Pool එකේ නානවා නම් Tampon භාවිතාකරන්න

ආර්තව කාලයේදී සීතල ආහාර ගැනීම, අන්නාසි, පැපොල් වැනි ආහාර ගැනීම, උෂ්ණ අධික ආහාර ගැනීම සුදුසු නොවන බවට මතයක් තිබෙනවා. ඒ ඇත්තද?

මෙම ආහාර සහ ආර්තවය අතර කිසිදු සබඳතාවක් ඇත්තේ නැහැ. මේ නිසා ආර්තව කාලයේදී මේ ආහාර ගැනීම සුදුසු බව කිව යුතුයි. එමෙන්ම ආර්තව සමයේදී බිත්තර බැද කෑම සුදුසු නොවන බවත් එවිට තනිකං දෝස ඇතිවන බවත් පැවසෙනවා. තනිකං දෝස ඇති වන්නේ සිතේ මිස සිරුරේ නොවෙයි. මේ නිසා ආර්තව සමයේදී බිත්තර හෝ මස් මාංශ වර්ග බැද කෑවාට කිසිදු වරදක් හෝ රෝගී වීමක් සිදුවන්නේ නැහැ.

ආර්තව සමයේදී පිහිනුම් තටාක භාවිතය පිළිබඳවද ගැටලු පවතිනවා. එහිදී සාමාන්‍ය සනීපාරක්ෂක තුවා භාවිතා කරමින් පිහිනුම් තටාකයට යාම එතරම් සුදුසු නොවේ. නමුත් ඒ සඳහා විශේෂයෙන් සකසන ලද ඔසප් අවශෝෂකය වන ටැම්පෝන් (Tampon) භාවිතා කළ හැකියි. මේ මඟින් යෝනි මාර්ගයෙන් පිටතට රුධිරය ගලායාම වළකී.

ටැම්පෝනය පැළඳීමෙන් පසු පිහිනීම මෙන්ම වෙනත් ක්‍රීඩා කිරීමද පහසු කරවනවා.

ටැම්පෝනය යෝනි මාර්ගයට ඇතුළත් කළ හැකි සේ තනා තිබෙන්නක්. මේ නිසා යෝනි මාර්ගය ඇතුළතදීම රුධිරය උරා ගැනීම සිදු වෙනවා. කෙසේ වුවත් ටැම්පෝනය පැය 06කට වරක් මාරුකළ යුතුයි. රාත්‍රී කාලයේදී ටැම්පෝනය භාවිතා කිරීමට වඩා සනීපාරක්ෂක තුවා භාවිතය වැදගත් වෙනවා. විශේෂයෙන්ම ටැම්පෝනය භාවිතා කිරීමේදී කන්‍යා පටලයට හානි සිදුවිය හැකියි.

මේ නිසා ඒ පිළිබඳව ද සැලකිළිමත් වීම වැදගත් වෙනවා. එමෙන්ම සනීපාරක්ෂක තුවා ලෙස රෙදි කැබලි භාවිතා කිරීමද තවමත් ග්‍රාමීය පෙදෙස් තුළ දක්නට ලැබෙනවා.

මෙහිදී රුධිරය පහසුවෙන් උරා ගැනීමට පහසු කපු මිශ්‍ර රෙදි භාවිතා කළ යුතු අතරම ඒවා හොඳින් සෝදා පිරිසුදු කළ යුතුයි. එමෙන්ම එම රෙදි කැබලි භාවිතයට පෙර හොඳින් මැද ගැනීමෙන් විෂබීජ ඉවත් කළ හැකියි.