හෘද රෝගවලින් ආරක්ෂාවීම ඇරඹිය යුත්තේ පාසල් සමයේ සිටයි

හෘද රෝගවලින් ආරක්ෂාවීම ඇරඹිය යුත්තේ පාසල් සමයේ සිටයි

පරෙස්සම පටන් ගත යුත්තේ කවර වයසක දී ද?

ළදරු කාලයේ පටන් පරෙස්සම ආරම්භ විය යුතු බව ඇතැම් අය පවසති. අවුරුදු 35 -40 පමණ වයස් වූ විට පමණක් පරෙස්සම පටන් ගත හොත් ප්‍රමාණවත් බව තවත් අය සිතති. ලංකාවේ ජීවන රටාවත් රෝග කාරක සාධකයන්ගේ ව්‍යාප්තියත් සලකා බලන කල පරෙස්සම පටන් ගත යුත්තේ අවු. 40දී පමණ බව සිතමු. මේ වයසට පෙර අනතුරු කාරක සාධක පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ වඩාත් අවදානමට ලක්ව සිටිනා පවුල්වල තරුණ සාමාජිකයන්ය.

රෝග කාරක අතුරෙන් දුම්පානය, ස්ථුලතාව, කායික ව්‍යායාමය මඳ වීම, මානසික අසහනය යන කරුණු පිළිබඳව සැලකිලිමත් වීමට වෛද්‍ය උපදෙස් අවශ්‍ය නොවේ. වැටහීම, නුවණැති කාටත් මෙම සාධකයන් තමන් කෙරෙහි වේ නම් ඒවායින් මිදී සිටීමට පියවර ගත හැකිය. රුධිරයේ මේද ප්‍රමාණයත් සීනි ප්‍රමාණයත් දැනගත හැක්කේ ඒවා මැන බැලීමෙන් පමණි. එක් අවස්ථාවෙකදී මැන බැලූ කල මේවාහි අගයන් සාමාන්‍ය වූ පළියට මතු අනාගතයේදී එම අගයන් ඉහළ නොයනු ඇතැයි නිශ්චය වශයෙන් කිව හැකි නොවේ. එබැවින් අඩුම ගණනේ හතළිස් වසර පසු උදවිය රුධිර මේද හා රුධිර සීනි හා ප්‍රමාණයන් අවුරුද්දකට වරක් වත් මැන ගැනීම සුදුසුය.

ඒ අවස්ථාවේදීම රුධිර පීඩනය ද මැන ගැනීම යෝග්‍යයි. එම මූලික මිනුම් සාමාන්‍ය අගයයන් දක්වා නම් යළිත් එම පරීක්ෂණ කරවා ගත යුත්තේ අවුරුද්දකට පසුවය. මේ නම්, දුම් ඉරීම ආදී වූ අනෙකුත් රෝග කාරක සාධකයනට ලක් වී ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ වන උපදේශයෙකි.

හෘද රෝග නිවාරණය පිළිබඳ අඩිතාලම හෙළිය යුත්තේ පාසල් සමයේ පටන්ය. ළමා වියෙහි දී දරුවනට කා වද්දනු ලබන ව්‍යාජ හරයන් නිසා ලොකු කම පෙන්වීම පිණිස දුම්වැටියත්, මත් පැනුත් වැදගත් කමේ සංකේත ලෙස සලකන්නට දරුවෝ පුරුදු වෙති.

ඒවා නීචත්වයේ සංකේත බව සලකන්නට ඔවුන් පුරුදු කළ හොත් ඔවුනටත් රටටත් වනුයේ සෙතෙකි. ඒ වාගේම වැරදි ආහාර පුරුදු ද පාසල් සමය තුළ ඇරැඹෙන බව පෙනේ.

බටහිර මාදිලියට තැනූ පැටිස්, කට්ලට්ිස්, රෝල් යනාදි බැදුම් පාසැල් කැවිලි හල්වල වැඩියෙන් විකුණනු ලැබේ. තැම්බූ කඩල, මුං ඇට, කව්පි ආදියේ රසය කුඩා කල පටන් පුරුදු කළ යුතුය.

සත්ත්ව මාංශ අනුභවයට එරෙහිව හරයන් ඉගැන්විය හැක්කේ ද පාසැලේදීය. මෙසේ අනාගත ජීවිතයට වැදගත් වන සෞඛ්‍යදායි පුරුදු තම දරුවනට අවබෝධ කරවිය යුතුය.

මානසික වර්ධනයට උපකාරී වන පරිද්දෙන් සුදුසු විනෝදාංශ කෙරෙහි දරුවාගේ මනස යොමු කිරීම පාසල් සමයේදී සිදු විය යුත්තෙකි. කියැවීමේ පුරුද්ද, කියැවිය යුතු පත පොත පිළිබඳ දැනුම ද ගුරුවරුන් අතින් දරුවනට යා යුතු දැනුම් කොටසකි.

පංති කාමරයේදී විෂයයන් වශයෙන් උගන්වන ලද කලා අධ්‍යාපනය තමාට ගැලපෙන විනෝදාංශ ලෙස දියුණු කැර ගැනීමේලා දරුවනට ඉමහත් පිටුවහලක් වනු නොඅනුමානයි.

ක්‍රීඩාභිලාෂය ද කුඩා කාලයේ ඇරැඹෙන්නෙකි. තරඟකාරී ක්‍රීඩා සඳහා යොමු කිරීමට සියලුදෙනා සුදුස්සෝ නොවෙති. එහෙත් ස්වභාව ධර්මයේ සෞන්දර්යය ආස්වාදය කරමින් ඇවිදීමේ පුරුද්දට හුරු කරනු ලැබීමට සියලු දරුවෝ සුදුස්සෝ වෙති. ඇවිදීම මඟින් ව්‍යායාමය පමණක් නොව මානසික තෘප්තියක් ලැබීමට ද දරුවන් ශික්ෂණය කිරීම වැදගත්ය.