මාස 5ක දරුවකුට සිදුකළ කර්ණශංඛ බද්ධ සැත්කම

මාස 5ක දරුවකුට සිදුකළ කර්ණශංඛ බද්ධ සැත්කම

කන් දෙකම ඇහෙන්නේ නැතිව මේ ලෝකෙට බිහිවෙන පුංචි පැටව් කොතෙක්ද? පුංචි පැටියා අවුරුද්දක් ගතවෙලා වචනයක්වත් කතා නොකරන කොට තමයි කන නෑහෙන බව වැඩිහිටියන්ට තේරුම් යන්නේ. ඒත් දැන් තාක්ෂණය බොහොම දියුණුයි. පුංචි පැටියා ඉපදෙනකොටම කන් ඇසීමේ දුර්වලතාවයක් ඇත්ද නැද්ද කියලා බලන්න උගුර කන නාසය පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකුට පුළුවන්.

ඒ විදිහට පොඩ්ඩාගේ කන් දෙක පරික්ෂා කිරීමේ වාසි බොහොමයක් තිබෙනවා. ‍ඒ වාසි ගැන අපටත් වැටහුනේ, පහුගියදා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරණායක විශේෂිත ළමා රෝහලේදි සිදු කළ කර්ණ ශංඛ බද්ධ කිරීමේ සැත්කම දුටුවිටයි. සැත්කම සිදුකෙරුනේ වයස මාස දහයක සිඟිත්තෙකුගේ. විශේෂත්වය මේ පුංචි පැටියාගේ කන් දෙකේම එකම අවස්ථාවේදි කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍ය කර්මය සිදුකිරීමයි.

මෙම ළමා රෝහලේ , උගුර, කන නාසය පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය සිසිර බණ්ඩාර ඇතුල්ගම මහතා තමයි මේ සුවිශේෂි ශල්‍යකර්මය සිදුකළේ. ඔහු ඒ පිළිබඳව කියා සිටියේ මෙසේයි.

දරුවන්ගේ වයසත් එක්ක සිරුරේ අවයව වල ක්‍රියාකාරිත්වයේ වර්ධනය කඩිනමින් ඇති වෙනවා. පුංචි පැටියා කතාව පටන් ගන්නේ, අවට කතා වෙන දේවල් වෙනත් ශබ්ද සියල්ලම හොඳට ඇහුනාමයි. ඇසීම ප්‍රමාද වෙන්න වෙන්න කතාව පරක්කු වෙනවා. නමුත් අපි මේතාක් කර්ණ ශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදු කළේ වයස අවුරුදු දෙකට වැඩි දරුවන්ටයි.

එවිට ඒ දරුවන් ගේ කතා කිරීමේ ස්වභාවය යථා තත්ත්වයට ගන්න තරමක කාලයක් ගත වෙනවා. භාෂා පුහුණුව සංඥා පුහුණුව වගේ තවත් උපදේශනයන් ලබා දෙන්නත් අවශ්‍ය වෙනවා. මේවා ලබා දීම අපහසු නැහැ. නමුත් දරුවෙකුගේ වයස කියන්නේ අතිශය වැදගත් සාධකයක්. දරුවෙක් සාමාන්‍ය විදිහට වයස අවුරුද්ද සපුරද්දිම බහ තෝරනවානම් මොළයේ ක්‍රියාකාරිත්වය වෙනස් .

ඇස් පේන්නේ නැති නම් ඇස් පේන්න, කන් ඇහෙන්නේ නැති නම් කන් ඇහෙන්න විතරක් නෙවෙයි, වෙනත් අවයවයක් වැඩ කරන්නේ නැති නම් ඒ අවයවය වැඩකරන විදිහට අවයවයක් බද්ධ කරන්න තරම් වෛද්‍ය විද්‍යාව නවීණ තාක්ෂණයෙන් සමන්විතයි. ඒ නිසා පුංචිම වයසේ දී කනට කර්ණ ශංඛ පටල බද්ධ (cochlear implant trance plant) කිරීමෙන් දරුවාට සාමාන්‍ය වයසේදි කතාව පටන් ගන්න හැකි තත්ත්වයක් ඇති කරන්න දැන් වෛද්‍ය විද්‍යාවට පුළුවන්.

පුංචි දරුවෙක් මේ ලෝකෙට බිහිවෙන කොට කුමක් හෝ අඩුපාඩුවක් ඇතිව ඉපදුනහොත් ඒ දෙම්පියන්ගේ හිස මත මහමෙර තිබ්බා වගේ.දරුවෙක් සාමාන්‍ය තත්ත්වයට හුරුවෙනවා නම් , ඒක දරුවාට පවුලට වගේම රටටත් වැදගත් සහ ප්‍රයෝජනවත් .

එක් කනක කර්ණ ශංඛ පටල බද්ධ කිරීම අපි මෙතෙක් සිද්ධ කළ ශල්‍යකර්මයක්. මෙවර අපි මාස දහයක දරුවාගේ කන් දෙකටම කර්ණ ශංඛපටල දෙකක් බද්ධ කළා. එය පැය පහක ශල්‍යකර්මයක්. දරුවාව පැය පහක් එක දිගටම නිර්වින්දනය කිරීමකට ලක් වෙනවා. එය බිය විය යුතු තත්ත්වයක් නෙවෙයි. නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කපිල හෙට්ටිආරච්චි මහතා එම කර්තව්‍යය මැනැවින් ඉටු කළා.

කන පසුපස හෙවත් කනට බාහිරින් sound processor internal implant  බද්ධ කිරීමක් මෙම ශල්‍යකර්මයේදි සිදු කෙරෙනවා. දරුවාගේ වර්ධනයත් එක්ක මෙය පසු කාලයේදී තමන්ගේ ඇඟේ ම තිබුණ දෙයක් විදිහට දරුවාට දැනේවි. මේ දරුවා ගේ කන මාස දහයේදි සැකසිලා තිබෙන විදිහට තාම බොහොම පුංචි සියුම් අවයවයක්.

නමුත් කර්ණ ශංඛයට කෘත්‍රිම පටල ඇතුළු කිරීමේදි වුවත් ගැටළු ඇති වූයේ නැහැ. හඬ පරික්ෂා කිරීමේ ඉලෙක්ට්‍රෝඩ පරිකෂාවේදි දකින්න ලැබුන නිගමන හරහා අපේ ශල්‍යකර්මය අතිශය සාර්ථකයි කියලා අපට පෙනී ගියා.

දරුවන් පුංචිම වයසේදී මේ ශල්‍යකර්මය කරන්න අවශ්‍ය බව දෙමව්පියන් වටහා ගන්න ඕනෑ. මොකද මේ ලැබිලා තියෙන අවස්ථාව කන් ඇසීමේ ආබාධයට ලක්වෙලා ඉන්න දරුවන්ට යහපතක් සිදධ වෙන අවස්ථාවක්.

අපේ රටේ මෙම (cochiear impint) උපකරණය මිලදී ගන්න බොහෝදෙනෙකුට නොහැකි වී තිබෙන්නේ, මුදල් ගැටලු නිසයි.මෙම උපකරණය නිසා ජීවිත කාලයම මහා විපර්යාසයකට ලක් වෙනවා කියලා තේරුම් ගන්නත් වෙනවා. මොකද ජීවිත කාලයම කන් නෑසෙන පුද්ගලයෙක් ලෙස විසීමේදි ඇතිවන බරපතල තත්ත්වය තේරුම් ගන්න ඕනෑ රජයේ රෝහල් වල ශල්‍යකර්මය නොමිලේ සිදුකර දෙන නිසා දරුවෙකුට ජීවිතයේ ඇසීමේ වරම ලබා දීම වැඩිහිටියන්ගේ කාර්යය භාරයක්..