උණ සහ ඩෙංගු උණ වෙන්කර හඳුනාගන්නේ කොහොමද?

උණ සහ ඩෙංගු උණ වෙන්කර හඳුනාගන්නේ කොහොමද?

මේ දවස්වල “උණ රෝග“ කීපයක්ම පැතිරී යනවා. රෝහලේ සායන පෞද්ගලික බෙහෙත්ශාලා උණ රෝගින්ගෙන් පිරිලා. “ඩෙංගු” රෝගයත් ඒ අතරට වැටිලා. ඉතිං උණක් හැදුණු සෑමවිටකම අපිට සිතේ ඇතිවන ප්‍රධාන ගැටලුවක් බවට පත් වෙන්නේ “මේ උණ ඩෙංගුද?” යන ප්‍රශ්නයයි. ඔබට ඔබේ දරුවාට “උණ” රෝගය ඇතිවුණ විට මේ “ඩෙංගු බිය” ඔබට දැනීම ස්වභාවිකයි. මේ ගැනයි අද අපි සාකච්ඡා කරන්නේ.

“උණ” කියන්නේ ඇත්තටම රෝගයක නමක් නම් නොවෙයි. “උණ” කියන්නේ රෝගයක ලක්ෂණයක් පමණයි. විෂබීජ ආසාදනයක් නිසා ඇතිවන ඕනෑම රෝගයකදී “උණ” ඇතිවෙන්න පුළුවන්. මේ නිසා “උණ රෝග ලක්ෂණ සමඟ ඇතිවන අනිකුත් රෝග ලක්ෂණ අනුවත්, රෝගී පරීක්ෂාවේදී ශරීරයේ දක්නට ලැබෙන යම් යම් ලක්ෂණත්, රුධිර පරීක්ෂණවල ප්‍රතිඵලත් අනුව “උණ රෝගයට” හේතුව හඳුනාගත හැකි වෙනවා.

ඩෙංගු රෝගයේදී සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යා වෛරස අසාදනයකදී දක්නට ලැබෙන නාසයෙන් සොටු ගැලීම, උගුරේ වේදනාව,කැස්ස,කිවිසුම් යාම දකින්නට ලැබෙන්නේ නැහැ.

ඒ වගේම ඉහත “සෙම” රෝග ලක්ෂණ නොමැතිව, ඇතිවිය හැකි තවත් වෛරස් රෝග වර්ගද මේ දිනවල පවතිනවා. විශේෂයෙන් කුඩා දරුවනට අත්වල, පාදවල, තට්ටම් ප්‍රදේශවල හා මුඛය ප්‍රදේශයේ බිබිලි සහිතව ඇතිවන Hand foot and mouth disease නම් වූ රෝගයත්, වමනය, පාචනය ප්‍රබල ලෙස ඇතිවන තවත් වෛරස් රෝගයකුත් සෙම්ප්‍රතිශසාව රෝග ලක්ෂණ නැතිව “උණ” පමණක් ලෙස ආරම්භ විය හැකි වෙනවා.

නමුත් කිසිම විශේෂිත රෝග ලක්ෂණයක් නොමැතිව උණ පමණක් ලෙසට ආරම්භ වන ඕනෑම රෝගයකදී “ඩෙංගු” පිළිබඳ සැකසංකා ඇතිකර ගත යුතු වෙනවා.

දෙවන, තුන්වන හෝ හතරවන දිනයේදී අනෙකුත් වෛරස් රෝග සඳහා ඒ ඒ රෝග ලක්ෂණ පිට දැමුවත්, ඩෙංගු රෝගයේදී පසුගිය කලාපයේදි විස්තර කළ පරිදි විශේෂිත රෝග ලක්ෂණ පිට දැමීමක් සිදුවන්නේ නැහැ.

එක්වරම ඇතිවන තද උණ, මස්පිඬු වේදනාව, හිසරදය ඩෙංගු රෝගයේ මුල් ලක්ෂණයි.

මෙම උණ දින 7ක් දක්වා පැවතිය හැකි වෙනවා. සමාන්‍යයෙන් ඩෙංගු උණ වාර දෙකකට ඇතිවෙනවා.

පළමු දින දෙක තුළදී උණ බැස ගොස් තුන්වන හෝ හතරවන දිනයේදී නැවත උණ ඇතිවීම ඉතා සැක කටයුතු දෙයක් වෙනවා. මෙම උණ සමඟ ශරීරය රතු පැහැයක් ගන්නවා. ඩෙංගු අසාධ්‍ය අවස්ථාවකදී දහඩිය දමා ශරීරය ශීතල වී උණ බැස යාමත් දකින්න ලැබෙනවා.

මස්පිඬු වේදනාවට අමතරව හන්දි වේදනාව කොන්දේ වේදනාව, ඔක්කාරය වමනය, තදබල කෑම අරුචිය, දිවට රස නොදැනීම බොහෝ විට ඇතිවෙනවා.

උදරයේ වේදනාව හෙවත් බඩේ කැක්කුමක්ද මෙහිදී ඇතිවන අතර එම කැක්කුම තදබල එකක් නම් ඩෙංගු රෝගයේ බරපතල බවද වැඩි වෙනවා.

ඩෙංගු හෝ ඩෙංගු යැයි සැක කෙරෙන ඕනෑම උණ රෝගයකදී “ඇස්පී‍්‍රන්” පවුලේ බෙහෙත් වර්ග ගැනීම සුදුසු නැහැ. උණ රෝග ලක්ෂණය සඳහා පැරසිටමෝල් නියමිත මාත්‍රාව ලබා ගත හැකි අතර, “ඇස්පී‍්‍රන්” පවුලට අයත් බෙහෙත් හා වස්ති ඖෂධ භාවිතයෙන් උණ අඩු කිරීම ඩෙංගු රක්තපාතය හෙවත් රුධිර ගැලීම උග්‍ර කිරීමට හේතු වෙනවා.

මේ නිසාම මේ ඖෂධ ඩෙංගු රෝගය සඳහා ‘මාරාන්තික’ තත්ත්වයට උදව් කරනවා.

කෙසේ වෙතත්, පාඨක ඔබට උණ රෝගය පිළිබඳ සැක සාංකා දුරු කිරීමට ඉහත කරුණු සඳහන් කළත්, ඔබගේ රෝහලේ වෛද්‍යවරයා හෝ සුදුසුකම්ලත් පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් රෝග විනිශ්චය හා ප්‍රතිකාර සඳහා “අත්‍යවශ්‍ය” වන බැව් සඳහන් කළ යුතු වෙනවා.