කාමරංගා වැඩිපුර ගැනීමෙන් වකුගඩු අකර්මන්‍ය වෙනවා කියන්නේ ඇත්තද?

කාමරංගා වැඩිපුර ගැනීමෙන් වකුගඩු අකර්මන්‍ය වෙනවා කියන්නේ ඇත්තද?

පලතුරු අනුභව කරන්නට බොහෝ අය දක්වන්නේ කැමැත්තක්. හේතුව පලතුරුවල විටමින් ඇතුළු පෝෂදායි කොටස් අඩංගු නිසා. ආහාර ජීර්ණයට මෙන්ම ප්‍රෝටීන් ඇතුළු සියලුම පෝෂක කොටස් ශරීරයට අවශෝෂණය කර ගැනීමට පලතුරු සමත් වනවා. ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව අතුරුපසක් ලෙස පලතුරු පරිභෝජනය අතිශයින්ම වැදගත්.

එයට අමතරව පලතුරු බීම යුෂ වශයෙන් උදේ දහයට පමණ පානය කිරීම ඉතාම යෝග්‍යයි. සාමාන්‍යයෙන් පලතුරුවල විටමින් සී බහුලව පවතිනවා. විටමින් සී පලතුරු මඟින් ශරීරයට ලැබෙන නිසා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට යහපතක් සැලසෙනවා. නමුත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නැහැ. පලතුරු වුවද එකම පලතුරු වර්ගය නිරන්තරයෙන් පරිභෝජනය කිරීමෙන් සිරුරට යහපතක් සිදු වනවා වෙනුවට එයින් සිදුවන්නේ අයහපතක්.

දියවැඩියා රෝගීන් සීනි සංයුතිය අවම කර ගැනීමට ඇතැම් පලතුරු වර්ග කොළ වර්ග අනුභව කරනවා.

තෙබු කොළ, කාමරංග, කරවිල ආදිය දියවැඩියාවට ගුණ දෙන ඖෂධීය ආහාර ලෙස ප්‍රකටයි. එබැවින් දියවැඩියා රෝගීන් මෙම ආහාර අනුභව කිරීමට පෙළඹෙනවා. විශේෂයෙන්ම කාමරංගා නැමැති පලතුර නිරන්තරයෙන් ආහාරයට ගැනීම එතරම් හොඳ දෙයක් නොවේ. කාමරංගා වලින් සිරුර අභ්‍යන්තරයේදී නිපදවන ඔක්ස්ලේට් මුත්‍රා සමඟ එකතු වී වකුගඩු අකර්මන්‍ය කිරීමට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා. තාවකාලිකව ඇතිවන වකුගඩු අකර්මන්‍ය වීමට හේතු වන්නේ මෙවැනි ආහාර මහා පරිමාණයෙන් අනුභව කිරීමයි. මෙම තත්ත්වය තාවකාලිකව වකුගඩු අකර්මන්‍ය වීම සිදුවෙනවා. මෙවැනි අවස්ථාවකදී ඇතිවන රෝග ලක්ෂණ ලෙස ප්‍රධාන තැනක් ගන්නේ මුත්‍රා මාර්ගයේ ආසාදන ඇති වීමයි.

උදාහරණයක් වශයෙන්, මුත්‍රා පිට කලද ඉතිරිව ඇති බව යළි යළි දැනීම, කැස්ස සමඟ මුත්‍රා පිටවීම, නිතර නිතර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාව ඇති වීම වැනි තත්ත්වයන් ඇතිවිය හැකියි. මෙවැනි රෝග ලක්ෂණ ඇතිවන විටක වහාම මුත්‍රාවල පටක පරීක්ෂාවක් සිදු කළ යුතුයි. අනතුරුව වෛද්‍යවරයෙකු ලවා හොඳින් පරීක්ෂා කරවා ගැනීම ඉක්මන් ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍යයි.

කාමරංගා ගෙඩි 10ක් 15ක් කෑමෙන් හෝ සියඹලා බීම වැනි ආහාරවලින්, වකුගඩු දුර්වල කරනවා. වකුගඩු ශල්‍යකර්ම සිදුකළ පුද්ගලයන්ටත් හෘද රෝග සඳහා ප්‍රතිකාර ලබා ගන්නා උදවියටත්, වලිප්පුව ඇති අයටත් කාමරංගා අධික ප්‍රමාණයක් ආහාරයට ගැනීම සුදුසු නෑ.

සාමාන්‍ය ජීවිතයේ තමන්ගේ අභිමත අනුව, සාමාන්‍ය ආහාර රටාවකට හුරුව සිටීම නිරෝගී ජීවිතයට මහත් රුකුලක්.

පසුගිය කාලයේ මහනුවර වකුගඩු සායනයට පැමිණි වකුගඩු රෝගීන්ගෙන් බොහොමයක් දෙනාගේ වකුගඩු අක්‍රීය වූයේ හිටිහැටියේමය.

මේ අයගේ මුත්‍රා පිටවීමේ දුර්වලතාවය හා ආසාදනය ඇති වී තිබුණා. වැඩිදුර සොයා බැලීමේදී අනාවරණය වූයේ මේ අයගෙන් බොහෝ දෙනෙක් කාමරංගා ආහාරයට ගෙන තිබීමයි.