කටහඬ රැකගත යුත්තේ මෙහෙමයි

කටහඬ රැකගත යුත්තේ මෙහෙමයි

දරුවෙක් මෙලොවට බිහි වූ මොහොතේ පටන් ඔහුට හෝ ඇයට තමාගේ ජීවිතය පවත්වාගෙන යාමට වැදගත් බොහෝ දේ හිමි වේ. මෙසේ ඔවුන්ට හිමිවන බොහෝ දේ අතර ශරීර අංගෝපාංගයන් ප්‍රධාන තැනක් හිමිකර ගනියි. යම් දරුවෙක් නිරෝගී නම් ඒ දරුවා ඉපදුණු මොහොතේ හැඬීම මඟින් ඔවුන්ගේ නිරෝගී බව තහවුරු කරනු ලබයි. ඒ හැඬීමෙන් ආරම්භ කළ ශබ්ද පිට කිරීම අවසානයේදී කථනය දක්වා වර්ධනය වන බව අප කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. ඒ වගේම ඔහු සාර්ථක පුද්ගලයෙකු ලෙස ජීවත් වීමේදී කටහඬ ඉතා ප්‍රබල සාධකයක් වනබව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

පුද්ගයාට කටහඬ කෙතරම් වැදගත්ද කියනවා නම් සමාජය තුළ තමාට වටිනාකමක් හිමිකර ගැනීමට එය මහත් උපකාරයක් වේ.

ඒ වගේම තමාට උපතින් හිමි කටහඬ අහිමි වූ අයෙකුටත් ඒ පිළිබඳ තැවීමට අවශ්‍ය නොවන අතර ඒ සඳහාද ඕනෑ තරම් ක්‍රමවේද මේ වන විටත් බිහිවී අවසන්. නමුත් අපට උපතින් හිමි කටහඬ කුමන ආකාරයකින් යුක්ත වුවද ඊට විවිධ ආකාරයේ ගැටලු නිසා හානි පැමිණ විය හැකියි. එසේ හානි පැමිණෙන අවස්ථා මොනවාදැයි හඳුනා ගැනීමෙන් කටහඬ ජීවිතයට සැබෑ අගයක් එක් කරන බවද ඔබට අවබෝධයක් ලබාගත හැකි වේවි.

ජීවිත කාලය පුරාවටම අපට හිමිවන්නේ එකම එක කටහඬක් පමණ නිසාත් ඊට යම් හානියක් සිදු වුවොත් එය ජීවිත කාලයටම බලපවත්වන බව ඔබ දැනගත යුතුයි. ඔබ කටහඬ භාවිතා කර වැඩ කරන අයෙක් නම් එය ආරක්ෂා කර ගැනීම ඔබගේ ජීවිතයේ වටිනාකම තව තවත් වැඩි කරවිය හැකියි. ඒ නිසා ඊට හානි ඇති වී තිබෙනවා නම් ඒ සඳහා කථන චිකිත්සකවරයෙකු එසේත් නැත්නම් උගුර,කන, නාසය සම්බන්ධ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට ප්‍රමාද නොවන්න.

යම් අයෙක් කථනය කිරීමේ යම් අපහසුතාවකින් පෙළෙනවා නම් ආබාධය තව දුරටත් වැඩි නොවන ආකාරයෙන් කටයුතු කිරීමට වගබලා ගත යුතුයි. නමුත් අප බාහිර අලංකාරය පිළිබඳවත් එහි අඩු පාඩු පිළිබඳ සිතන තරමින් වත් කටහඬ පිළිබඳ අවධානයක් යොමු නොකරන බව ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. තරමක් බරපතළ මට්ටමේ ගැටලුවක් හැරුණු විට සරලව ඔබගේ කටහඬ ආරක්ෂා කර ගැනීමට පියවර කිහිපයක් අනුගමනය කළ හැකියි.

අයෙක් නිතරම ඝෝෂාකාරී පරිසරයක සිටිනවා නම් ඒ, ශබ්දය ඉක්මවා කතා කිරීමට උත්සාහ කිරීමෙන් ඔබගේ කට හඬට හානිවිය හැකියි. මිට උදාහරණ අවස්ථාවක් ලෙස විශාල කර්මාන්ත ශාලාවල යන්ත්‍රවල ශබ්දය සහිත පරිසරයක වැඩකරන පුද්ගලයන් පිළිබඳව මෙහිදී කතා කළ හැකියි.

තවද වායු සමනය කළ පරිසරවල නිතරම ගත කරන අයගේ උගුර කට ආශි‍්‍රත ප්‍රදේශය නිතරම වියළි ස්වභාවයකින් යුක්ත වේ. මෙවැනි අවස්ථාවක බහුල වශයෙන් කතා කිරීමද කටහඬට හානි ඇතිකර විය හැකියි. ඒ නිසා ඊට පිළියමක් ලෙස අනෙක් අවස්ථාවලදී පානය කරන වතුර ප්‍රමාණයට වඩා වැඩි වතුර ප්‍රමාණයක් ඉහත දැක්වූ ආකාරයේ වියළි පරිසරවල සිටින විට පානය කිරීමට වගබලා ගත යුතුයි. ඊට අමතරව දුම් සහ දූවිලි සහිත පරිසර ආශ්‍රිතව නිතර ගැවසෙන විටද ඒ අයගේ කථනයට බාධා ඇතිවීමේ වැඩි ඉඩකඩක් ඇතිවිය හැකියි.

තවද ඉහත සඳහන් කළ ආකාරයේ වායුසමනය කළ පරිසරයක හෝ විදුලි පංකා ක්‍රියාත්මක වන පරිසරයක (ෆෑන් ක්‍රියාත්මක වන පරිසරයක) සිටින විට ජලය හොඳින් පානය කරනවාට අමතරව අවට පරිසරයේ තෙතමනය ආරක්ෂා කර ගැනීම සඳහා ජල භාජනයක් තැබීම වැනි උපක්‍රම භාවිතා කළ හැකියි. බොහෝවිට ඉදිකිරීම් ක්ෂේත්‍රවල සිටින අය නිතරම උස් හඬින් කතා කරන අතර ගුරුවරු මෙන්ම කටහඬ භාවිතා කර විවිධ වෘත්තීන්හි නියැලෙන අයද මෙසේ උස් හඬින් කතා කිරීම නිසා කටහඬට හානි පමුණුවා ගනියි. එවැනි අය අත්‍යවශ්‍යම අවස්ථාවකදී හැරුණු විට උස් හඬින් කථා කිරීමට නොපෙළඹිය යුතු අතර යම් ගැටලුවක් ඇති වු වහාම ඊට ප්‍රතිකාර ගැනීමටද පසුබට නොවිය යුතුයි.

තවද කටින් හුස්ම ගැනීම, උගුර අනවශ්‍ය ලෙස පෑදීම මඟින්ද උගුරේ ස්වර තන්ත්‍ර වලට අනවශ්‍ය බලපෑමක් ඇති කරවිය හැකියි. මෙවැනි හේතූන්ට අමතරව සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු අවස්ථාවල උස් හඬින් කතා කිරීමෙන් පුද්ගලයාගේ කටහඬට දරුණු මට්ටමේ ආබාධ ඇතිවිය හැකි අතර බර ඉසලීම නිසාද කටහඬට හානි ඇති විය හැකියි. ඒ නිසා ජීවිකාව සඳහාද බර උසුලන අයගේ ස්වර තන්ත්‍ර තද වීමෙන් ඒවාට හානි පැමිණ විය හැකියි.

ගැබිනිවියේදී ඇතිවන ඇතැම් රෝගද හෝර්මෝන වෙනස්වීම්ද, දුම් හා මත්ද්‍රව්‍ය පානය හා විෂාදය වැනි මානසික රෝග සඳහා ලබා ගන්නා ඖෂධ නිසාද ස්වර තන්ත්‍ර වලට හානි ඇතිවිය හැකියි.