ඔබේ ගැටලු අප වෙත එවන්න

ඔබේ ගැටලු අප වෙත එවන්න (වෛද්‍ය ගැටලු, ආරෝග්‍යා, ලේක්හවුස්, කොළඹ 10)

පෝෂණ ගැටලු

උසට-වයසට ගැලපෙන බර පවත්වාගන්නේ කොහොමද?

ත්‍රිකුණාමලය - ප්‍රියදර්ශනී

නාරාහේන්පිට ශ්‍රී ලංකා පොලිස් රෝහලෙි

පෝෂණවේදී

එන්. එම්. එස් හෙට්ටිගෙදර,

ගැටලුව

වෛද්‍යතුමනි, මාගේ වයස අවු. 27කි. උස අඩි 4යි අඟල් 10ක් වන අතර බර කිලෝග්‍රෑම් 60කි. මාගේ ශරීරයේ බර උසට සාපේක්ෂව වැඩි බැවින් ආහාර පාලනය කළ යුත්තේ කෙසේ ද? දිනකට කොපමණ කැලරි ප්‍රමාණයක් දහනය කළ යුතු ද? මාගේ ගැටලුවලට අදාළව හමු විය යුතු වෛද්‍යවරයා කවුරුන් ද? මේ පිළිබඳ සඳහන් කර පිළිතුරක් ලබා දෙන්න.

පිළිතුර

උස අඩි 4යි අඟල් 10ක් නම් බර විය යුත්තේ කිලෝග්‍රෑම් 45 - 50ත් අතර මට්ටමකය. ඔබ බර වැඩි බවක් මේ කාරණයේ දී පෙනී යනවා. මේ බර ප්‍රමාණය අඩුකර ගැනීම අත්‍යවශ්‍ය සාධකයකි. එය පෝෂණය අඩු නොවන සේ කළ යුතු ය. දවසකට ලබා ගන්නා අමතර සීනි වර්ග අඩංගු බීම, කෑම වලින් පළමුව ඈත් විය යුතුයි. පිටිකළ ආහාරවලින් ද ඈත් විය යුතුයි.

ඒ අතර ලබා ගන්නා ආහාරවලට අවම ප්‍රමාණයෙන් රතුසහල් ලබා ගෙන එළවළු, කුඩා මාළු එකතු කර ගැනීම අත්‍යවශ්‍යයි. එවිට ඔබට සමබල ආහාර වේලක් ලැබෙනු ඇත. එහි දී බර පාලනයක් සිදු වේ. කෙසේ වෙතත් ඔබ පරීක්ෂා නොකර උපදෙසක් ලබා දීම අසීරුයි. ඇතැම් විට හෝර්මෝන තත්ත්ව නිසාත් ශරීරයේ බර වැඩි වෙන්න පුළුවන්. එනිසා පවුලේ වෛද්‍යවරයා හමු වී පරීක්ෂා කර ගැනීම වැදගත්. කෙසේ වෙතත් නිවැරැදි සමබල ආහාර වේලක් ලබා ගැනීම තුළින් ශරීරයේ බර අඩුකරගත හැකියි. ඔබට සුදුසු ආහාර වට්ටෝරුවක් ආහාර පෝෂණවේදියකු ලවා සකසා ගැනීම වැදගත්.

කැලරි ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් වනවාට වඩා ඉහත ආකාරයට ආහාර රටාව සකසා ගැනීම තුළින් ඔබේ අරමුණ කරා ළඟා විය හැකිය.

ප්‍රසව හා නාරි ගැටලු

දරුවකු බලාපොරොත්තු වන්නේ නම් ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතුද?

මහනුවර - අමන්දි

නාරි හා ප්‍රසව

විශේෂඥ වෛද්‍ය

අසංක ජයවර්ධන

ගැටලුව

වෛද්‍යතුමනි, මා වයස අවු. 32ක විවාහක අයෙක්මි. විවාහ වී දැනට මාස අටක් පමණ ගත වී තිබේ. මා දරුවෙකු අපේක්ෂාවෙන් ද සිටිමි.

දරුවෙකු බලාපොරොත්තු වීමේ දි ෆෝලික් අම්ලය ලබා ගත යුත්තේ කෙසේ ද? එය ලබාගත යුතු කාල සීමාව කුමක් ද? යන කරුණු පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර

ෆෝලික් අම්ලය ලබා ගත යුත්තේ එය ශරීරයට අවශ්‍ය විටමීනයක් ලෙස ය. කෙසේ වෙතත් සාමාන්‍ය ආහාර වේලක් සමඟින් ෆෝලික් අම්ලය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

එහෙත් එම ප්‍රමාණ ප්‍රමාණවත් නොවන අවධිවල දී පිටතින් ෆෝලික් අම්ලය ලබා දීමට කටයුතු කරනවා.

එවන් අවස්ථාවක් ලෙස ගර්භණීත්ව සමයේ දී එය ලබා දීම සිදු කරනවා.

ගැබ් ගැනීමකට මාස 3කට පෙරත් ගැබ්ගෙන මාස 3ක් ගතවන තුරුත් ෆෝලික් අම්ලය ලබා දීමට නිර්දේශ කරන්නේ උපදින දරුවාට කිසිදු ආබාධයක් ඇති නොවීමේ අරමුණින් ය. මෙය ලබා ගැනීමේ දී දිනපතා දිනකට මි.ග්‍රෑ 1ක පෙත්තක් ලබා ගත යුතුය.

චර්ම රෝග ගැටලු

සම දුර්වර්ණ වෙලා කුරුලෑ ඇතිවෙලා

ආරෝග්‍යා - පාඨකයෙක්

චර්ම රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

ජනුකා ගලහිටියාව

ගැටලුව

වෛද්‍යතුමියනි, මාගේ වයස අවු. 25කි. විවාහ වී දැනට වසරක් පමණ ගත වී ඇත. වසර 2 - 3 ක කාලයක සිට මාගේ සම දුර්වර්ණ වෙමින් තිබේ.

එසේම මාගේ ශරීරය අධික උෂ්ණත්වයකින් යුක්තය. තව ද අධික ලෙස කුරුලෑ ඇති වී මුහුණේ කලු පැහැති ලප කැලැල් ඇති වී තිබේ. ඒ හේතුවෙන් මුහුණ දුර්වර්ණ වී තිබේ.

මීට පෙර මා හට පැහැපත් සමක් තිබුණ ද, දැන් එය අවලස්සන වෙමින් තිබේ. එසේම මා හට අධික ලෙස සුද පිටවීමේ තත්ත්වයක් ද ඇත.

ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනුණ ද තත්ත්වයෙහි වෙනසක් නොමැත. මේ නිසා මා කළ යුත්තේ කුමක්දැයි පැහැදිලි කර දෙන්න.

පිළිතුර

සමහර විට මුහුණ දුර්වර්ණ වීමට කුරුලෑ ඇතිවී තිබීම හේතුවක් වෙන්න පුළුවන්. එහෙත් මුළු සිරුරම දුර්වර්ණ වෙනවා නම් එයට අදාළ කරුණු සොයා බලන්න ඕන. සුද පිටවීමත් ඔබ පවසන සමේ දුර්වර්ණයත් අතර සම්බන්ධයක් තිබිය නොහැක. එනිසා මුහුණ පමණක් දුර්වර්ණ වී ඇත්නම් කුරුලෑ නැවත ඇති නොවීමට ප්‍රතිකාර කළ යුතුයි. එසේ නොමැතිව මුළු සිරුරම දුර්වර්ණ වී ඇත්නම් ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමු වී ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත්.

චර්ම රෝග ගැටලු

එක දිගටම මෝර ගුලි බොන්න එපා

මාතර - ශාලිකා

මහනුවර ශික්ෂණ රෝහලේ

චර්ම රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

චාන්දනී උඩගෙදර

ගැටලුව

වෛද්‍යතුමියනි, මාගේ දියණියගේ වයස අවු.27කි. අවිවාහක ඇය මෝර ගුලි (සෙවන්සීස්) මාස 3කට වරක් මාසයක් එක දිගට එක් දිනකට එක බැගින් ලබා ගනී. එය ලබා ගන්නේ ඇයගේ සමේ නිරෝගී බව රැක ගැනීම සඳහා ය.

මෙය ලබා ගන්නේ මෝර ගුලියේ මේදය සහ පොත්ත ජලය සමග ගිල දැමීමෙනි. මෙය ලබා ගන්නේ ද වෛද්‍ය උපදෙස්වලින් තොරව ය. එය ශරීරයට අහිතකර ද? කරුණු පහදා දෙන්න.

පිළිතුර

මාස 3කට වරක් ඔබගේ දියණිය මෝර ගුලි ලබා ගන්නා ආකාරය නිවැරැදියි. එනමුත් එක දිගට මාස ගණනාවක් මෝර ගුලි ලබා ගැනීම එතරම් සුදුසු වන්නේ නැහැ. එනිසා ඔබ ලබා ගන්නා ආකාරය ක්‍රියාත්මක කරමින්ම අවශ්‍ය යැයි සිතුණොත් වෛද්‍ය උපදෙස් ලබා ගෙන මෝර ගුලි ලබා ගැනීමට සැලකිලිමත් වන්න.