මල බද්ධය වළක්වාගන්නේ කොහොමද?

මල බද්ධය වළක්වාගන්නේ කොහොමද?

මලබද්ධයට තමන් ගන්නා ආහාර රටාවත්, කාර්ය බහුල ජීවන රටාවත් බලපානු ලබයි. කාර්ය බහුල ජීවන රටාව නිසා පහසුවෙන් පිළියෙල කරගත හැකි ආහාර ලෙස බත් සමඟ අල, පරිප්පු, කරවල බැදුම් වැනි තන්තු රහිත ආහාරයකින් සප්පායම්වීමට උත්සාහ කරයි.

නොඑසේ නම් අවන්හලකට ගොස් Fried Rice වැනි රසකාරක යෙදු තන්තු රහිත ආහාරයකින් සප්පායම්වීමට උත්සුක වේ. එවන් ආහර රටා නිසා මල බද්ධය ඇතිවේ. අනෙක් කරුණ නම් කාර්ය බහුලත්වය නිසා අවශ්‍යතාවය ඇති වූ විට මල පිට නොකර එම වේගය දරා සිටීමයි. (වේග ධාරණය) මෙසේ කිරීමෙන් මහා අන්ත්‍රය මඟින් වැඩිපුර ජල අවශේෂය හේතු කොටගෙන මල බද්ධය ඇතිවීමට හේතුවේ. මෙසේ ඇතිවන මල බද්ධය නිසා ගුද මාර්ගය හා ගුද මාර්ගය ආශි‍්‍රත බොහෝ ලෙඩ රෝග ආරම්භවීමට මුල පුරයි.

මෙහිදී ප්‍රධාන වශයෙන්,

* අභ්‍යන්තර අර්ශස් (මලපහ කිරීමට පෙර හෝ පසුව ගුද මඟින් ලේ වහනය වීම)

(පළමු අවස්ථාව - Internal Haemorrhoids)

* තීව්‍ර පරිකර්තිකා (මලපහ කිරීමෙන් පසු ගුද මාර්ගයේ ඇතිවන ඉතා වේදනාකාරී දැවිල්ල සහිත පැල්මක් වැනි තුවාලයක්)

වැනි ගුද මාර්ගයේ රෝග ඇතිවේ.

අභ්‍යන්තර අර්ශස්

තවදුරටත් අභ්‍යන්තර අර්ශස් පළමු අවස්ථාවේදී හඳුනාගෙන ප්‍රතිකාර නොකිරීම සිදුකළ හොත් පසුව ඇතිවන දෙවන තුන්වන හා හතරවන අවස්ථා දක්වා වර්ධනය වීම සිදුවිය හැකියි.

මෙහිදී ගෙඩි වැනි යමක් ගුදයෙන් එළියට මතුවී මළපහ කිරීමෙන් පසු එය ඉබේ ඇතුලට යාම සිදුවේ.

තුන්වන අවස්ථාවේදී එළියට පැමිණි අර්ශස් ඉබේ ඇතුළට නොයයි. එය අතින් ඇතුල් කරගැනීමට රෝගියාට සිදුවේ.

හතරවන අවස්ථාවේදී ගුදයෙන් එළියට පැමිණි අර්ශස් අතින් ඇතුල් කළත් ඇතුළට යාම සිදු නොවේ. එය ස්ථීර වශයෙන්ම බාහිරින් පිහිටයි.

මේ අනුව හතරවන අවස්ථාවේදී ඇතිවන තත්ත්වය ශල්‍ය කර්මයකින් ඉවත් කළ යුතුව ඇත.

තීව්‍ර පරිකර්තිකා
(Acute Fissure)

මුලින් ඇතිවූ තීව්‍ර පර්කර්තිකාවලට රෝගියා නිසි ප්‍රතිකාර නොකළ හොත් එය නිදන්ගත පරිකර්තිකා හෙවත් (Chronic Fissure in ano) බවට පත්වේ. තවද මෙසේ ඇතිවන පරිකර්තිකා ආසාදනය වීම හේතු කොටගෙන බගන්දරා හෙවත් Fistula in ano රෝග තත්ත්වය දෙවනුව ඇතිවිය හැකියි.

ප්‍රතිකාර

මෙම තත්ත්වයෙන් මිදීමට නම් මල බද්ධය ඇතිවීම වළක්වා ගත යුතු අතර පහත ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි.

* මිරිස් සහ තුනපහ භාවිතය හැකි තාක් අඩුකිරීම.

* බත් අඩුවෙන්ද වැඩිපුර එළවළු ද අහාරයට ගන්න.

(මෙහිදී එළවළුවලට සාපේක්ෂව බත් අඩුවීම සුදුසුයි.)

(මෙම එළවළු කොළ පැහැවීම වැදගත්)

* පිපාසය ඇතිවිට වරින්වර හොඳින් ජලය පානය කිරීම.

* ආහාර ගත් සැණින් ජලය වැඩිපුර පානය කිරීමට වඩා ආහාර ගෙන ටික වේලාවක් ගිය පසු ජලය පානය කිරීම යෝග්‍යයි. නොඑසේ නම් බඩ නෙරා ඒම හෝ යම් විටෙක ආහාර අජීර්ණ තත්ත්වයක් ඇතිවිය හැකියි.

* වැසිකිළිය තුළ රැඳෙන කාලය උපරිම විනාඩි 03 පමණ කාලයකට සීමා කිරීම.

* වැසිකිළියට යන උපරිම වාර ගණන දිනකට වරක් හෝ දෙවරකට සීමා කරන්න.

* තදින් තැටමීම සිදු නොකරන්න.

* ප්‍රධාන ආහාර වේල්වලින් පසුව අතුරුපස ලෙස හැකි සෑමවිටම පලතුරු භාවිතා කරන්න. මෙම පළතුරු ලෙස ඉඳුණු පැපොල් සහ සීනි කෙසෙල් වඩාත් යෝග්‍ය වේ. ඇපල් සහ කෝලි කුට්ටු හෝ පූවාලු එතරම් යෝග්‍ය නොවේ.

* මල බද්ධ පවතී නම් ඒ සඳහා හැකි ඉක්මණින් ප්‍රතිකාර ලබාගන්න.