ඉස්සන් දැල්ලන් ඇලජික්ද?

ඉස්සන් දැල්ලන් ඇලජික්ද?

ආහාර ආසාත්මිකතාවයන් ඇති වීම ඇතැම් අය මුහුණ දෙන ගැටලුවක් වේ. අසාත්මිකතා නිසා ශරීරයේ පලු දැමීම, රතු පැහැ ගැන්වීම, කැසීම ආදිය ක්ෂණයකින් ඇති විය හැක. බොහෝ අයට අසාත්මිකතා ඇතිවන්නට බලපාන ආහාර වර්ග වන්නේ ඉස්සෝ, දැල්ලන්, අන්නාසි වැනි ආහාරය.

ඇතැමෙකුට අසාත්මිකතාවයක් ඇති නොවන ඇතැම් ආහාර තවකෙනෙකුට විෂ වන්නට පුළුවන්. තවද අසාත්මිකතාවන්ට හරියාකාරව ප්‍රතිකාර නොකොළොත් රෝගියා මරණයට පවා පත්විය හැකියි.

විශේෂයෙන් කුඩා දරුවන්ට මේ අසාත්මිකතා බහුලව ඇතිවිය හැකි අතර මව්පියන් ඒ පිළිබඳ දැනුවත් වීම වැදගත් බව පවසන්නේ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසාය.

යම්කිසි ආහාරයක් ගත්ත ද ඇඟ කැසීම මුහුණ රතු වීම, තඩිස්සිවීම ආදී ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම ළඟම ඇති රෝහලකට හෝ වෛද්‍යවරයෙකු වෙත රෝගියා රැගෙන යා යුතුයි.

මෙවැනි අසාත්මිකතා ඇති වුවහොත් රෝහලට රැගෙන යන තෙක් දිය යුතු ප්‍රථමාධාර පිළිබඳ ඔබ දැනුවත් වීම අත්‍යවශ්‍යය හේතුව ඔබ අප සැමට ඕනෑම අවස්ථාවක ආහාර අසාත්මිකතා ඇතිවිය හැකි බැවින්

රෝහලට රැගෙන යන තෙක් දිය යුතු ප්‍රථමාධාර

රෝගියා බිය ගැන්වීමෙන් වළක්වන්න. ආලේපන වර්ග, තෙල් වර්ග භාවිතා කිරීමෙන් වැළකිය යුතුය. ඇතැම්විට ඒවා නිසා අසාත්මිකතාවය වැඩි විය හැක.

ඉදිමීම සමඟ හුස්ම ගැනීමේ අපහසුතාවය සහ නාඩි වැටීම වේගවත් විය හැකියි. රෝගියා සිහිසුන් තත්ත්වයකට පත් වූවහොත් පපු තෙරපුම වාර 30ක් ලබාදී එක අතකින් නාසය වසා හුස්ම දෙකක් ලබා දෙන්න.

ප්‍රධාන පියවර අතර රෝගියාට ජලය ලබා දීම ද සරල ප්‍රතිකර්මයකි. වඩාත් වැදගත් වන්නේ තමාට අසාත්මික වූ ආහාරයක් තිබේ නම් එයින් වැළකී සිටීමය.

උපදෙස්

ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී

පුෂ්පා රම්‍යානි සොයිසා

දීප්ති ෆොන්සේකා