අම්මේ! තාත්තේ! දරුවන්ට නිසි ආරක්ෂාව දෙන්න නැතිනම් කඳුළු සලන්නට සිදුවන්නේ ඔබටමයි

අම්මේ! තාත්තේ! දරුවන්ට නිසි ආරක්ෂාව දෙන්න නැතිනම් කඳුළු සලන්නට සිදුවන්නේ ඔබටමයි

ඔක්තෝබර් පළමුවැනිදාට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙනි

මත් උවදුරෙන් දරුවා බේරා ගන්නට නම් දරුවා ඇසුරු කරන අය ගැන විමසිලිමත් වන්න

නොමඟට යොමු වූ මව්පියන්ගේ දරුවන්ට නිසි රැකවරණය දෙන්නේ කවුද?

ඔබ අධික මුදලක් ගෙවා දරුවා රඳවා තබන දිවා සුරැකුම් මධ්‍යස්ථානය සුරක්ෂිතද?

ලෝක ළමා දිනය යෙදී ඇත්තේ හෙටටයි. එය විවිධාකාරව සැමරීමට ලොවම පෙළ ගැසෙන අවස්ථාවේ අපි අපේ පුංචි පැටවුන්ට දෙන්නේ මොනවාද? කියා දෙන්නේ කුමක්ද?

ලෝක ළමා දිනය සැමරීමට දින කීපයක් තිබියදී අතිශය සංවේදී අයුරින් වාර්තා වූ දැරියකගේ ඝාතනය පිළිබඳ සිදුවීමත්, එමෙන්ම පසුගිය කාලය පුරාම දරුවන් සම්බන්ධයෙන් සිදුවූ විවිධ ඛේදවාචක සමඟ බොහෝ මව්පියන් කියා සිටින්නේ මේ සිදුවන දේ ඔවුන්ට සිතා ගැනීමට පවා අපහසු බවයි. එමෙන්ම තම තමන්ගේ කිරි කැටි දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු පියවර කුමක්දැයි නොතේරෙන බවයි. ඇත්තටම එය මේ මොහොතේ මවුපිය වැඩිහිටියන් වෙත ඇති බරපතළම අභියෝගයයි. අප ඊට මුහුණ දෙන්නේ කෙසේද?

නමුත්, සමස්ත සමාජයක් එකවර වෙනස් කළ නොහැකි පරිසරයක වගකීමෙන් කටයුතු කරන මවක, පියෙකු, වැඩිහිටියෙකු වශයෙන් ඔබ ඇසුරේ හැදී වැඩෙන දරුවෙකුට අවබෝධ කරදිය හැකි කාරණා මෙන්ම දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබට ගත හැකි පියවරද ඇත. එහිදී, දරුවෙකුගේ මවත්, පියාත් තරම් දරුවකුට ආදරය කරන, ඔවුන් ගැන සිතන වෙනත් අයෙකු තවමත් අපට හමු නොවේ.

ඒ නිසා,

දැනුමක් තේරුමක් සහිත වයසක සිටින ඔබේ දරුවාට ඒ බව කියා දෙන්න. ඒ නිසාම ඔවුන්ගේ හොඳම මිතුරන් වීමේ සුදුසුකම ඇත්තේ ඔබට බවත් ඔවුන්ගේ පුංචි මනසට ගැලපෙන පරිදි පහදා දෙන්න. කිසිදු වෙනත් අපේක්ෂාවකින් තොරව දරුවන්ගේ වගකීම දරන්නේ වෙන කවුරුන්ද? ඒ නිසා, දරුවන්ට ඔබේ ආදරය රැකවරණය දැනෙන්ට හරින්න. එවිට ඔවුන් ඔබ වෙතම රඳවා ගැනීම වඩාත් පහසු වේවි.

කුඩා කල පටන් ලබාදෙන මනා අධ්‍යාපනය මෙන්ම අධ්‍යාත්මික ගුණ වගාව ඔබේ දරුවාව අතිශය වටිනා පුද්ගලයකු බවට පත් කරයි. (අධ්‍යාපනය යනුවෙන් අදහස් වූයේ අතිශය තරඟකාරී හා දරුවාට වෙහෙස කර වූ අධ්‍යාපන රටාවන් පිළිබඳ නොවේ.) ඒ නිසා අධ්‍යාපනයේ වටිනාකම මෙන්ම ආගම දහමට නැඹුරුවීමේ වැදගත්කමද දරුවාට වටහා දීම වගකිව යුතු මවක, පියෙකු ලෙස ඔබ කළ යුතුම දෙයකි.

මෙය ඔබ දරුවාට හොඳින් තේරුම් බේරුම් කර දෙන තරමට ඔවුන්ව වෙනත් වැරදි මාර්ගවලට ඇදී යාම ඔබට වළක්වා ගැනීම පහසු වනු ඇත. ජීවිතයේ අරමුණු නැතිකම, අපෙක්ෂා භංගත්වය, ජීවිතයේ අහිමි වීම්ද දරුවන් වැරදි මාර්ගවලට ඇද දමන ප්‍රධාන සාධකයි. අද දවසේ අතිශයින් බැරෑරුම් ගැටලුවලට තුඩුදී තිබෙන විවිධ මත්ද්‍රව්‍යයන් හා මත්පැන් වෙත ඔබේ දරුවා පහසුවෙන් මෙවැනි හේතු මත ද ඇදී යා හැක. ඒ නිසා දරුවන් පිළිබඳ අවධානයෙන් සිටින්න.

ඔබ යහපත් මවක්, පියෙක් වුවද ඔබේ දරුවා යම් වැරදි ආශ්‍රයක් හේතුවෙන් අගාධයට ඇදී යා හැකියි. ඒ නිසා දරුවන් ඇසුරු කරන්නේ කාවද, ඒ කෙබඳු පරිසරයක් සහිත අයද යන්නත් ඔවුන්ගේ දෙමවුපියන් පිළිබඳවත් ඔබ දැනගැනීම වැදගත්ය. එසේම එම දෙමවුපියන් හඳුනාගැනීම හා ඇසුරු කිරීම ද වැදගත්ය. යම් හෙයකින් ඒ මිතුරු ඇසුර නොගැලපෙන බව පෙනී යනවා නම් බුද්ධිමත්ව ඒ ඇසුරෙන් දරුවාව මුදවා ගැනීමට කටයුතු කිරීම ඔබේ වගකීමකි.

අද දවසේ නොමඟට යොමු වූ මවුපියන් ද සිටින බව අප හොඳින්ම දනිමු. එවැනි අවස්ථාවක දරුවකුගේ රැකවරණය එවැනි පුද්ගලයින් යටතේ කිසිසේත් සුරක්ෂිත නොවේ. එවැනි අවස්ථාවක පවුලේ සිටින සෙසු බුද්ධිමත් වැඩිහිටියෙකු හෝ ඥාතියෙකු දරුවාගේ ආරක්ෂාව, රැකවරණය සැපයීම බොහෝ වැදගත්ය.

යමක් කමක් තේරෙන වයසක සිටින දරුවකුට බාහිර පුද්ගලයින්ගේ හැසිරීම් පිළිබඳ පුංචි මනසට ගැලපෙන ලෙසින් යම් අවබෝධයක් ලබාදිය හැකිය. බාහිර පුද්ගලයකු දරුවාට සිදු කරන ස්පර්ශ කිරීම් පිළිබඳව අවබෝධයක් ලබාදිය හැක. එවැනි නරක ස්පර්ශ කිරීමක් සිදුකරන්නේ නම් කුමක් කළ යුතුද ආදී වශයෙන් දරුවාට අවබෝධයක් ලබා දීම අද දවසේ දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් කල වැදගත් කරුණක් ලෙස සැලකිය යුතුය.

අද දරුවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ විශේෂයෙන්ම ලිංගික කාරණයකදී හෝ වෙනත් එවැනි ගැටලුවකදී එය කීමට ඇති බිය, ලැජ්ජාව හෝ ඒ සඳහා විශ්වාසවන්ත කෙනෙකු නැතැයි යන තැවීමයි. නමුත් අද දවසේ අප දරුවන්ව එයින් ආරක්ෂා කර ගැනීමට නම් දරුවාට ඒ සඳහා ආරක්ෂණයක් ඇති බව ඒත්තු ගැන්විය යුතුය. අන් කිසිවෙකුටත් වඩා තමාගේ අම්මාට හෝ තාත්තාට ඒ ගැන කීමට කිසිදු බාධාවක් නැති බවත්, දරුවාගේ ගැටලුවට හොඳම විසඳුම ලබාදිය හැක්කේ ඔබට බවත් දරුවාට අවබෝධ කර දෙන්න.

දරුවන්ව ඇස් මානයේම තබාගෙන ඇති දැඩි කරගන්නට ඇත්නම් අප බොහෝ කැමතිය. නමුත් අද දවසේ මවුපියන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවත් එයය. දරුවන් දවසෙන් වැඩි කොටසක් සිටින්නේ විවිධ පරිසරයන්වලය. සමහරවිට ඔබ අධික මුදලක් ගෙවා දරුවා රඳවා තබන ස්ථානය දරුවාට යම් අවදානමක් ගෙන දෙන තැනක් දැයි ඔබ නොදැන සිටින්නට ද පුළුවන. ඒ නිසා දරුවා රැඳෙන පරිසරය කුමනාකාරද, එහි ගැවසෙන, යනෙන පුද්ගලයින් කවුරුන් ද ආදී වශයෙන් ඔබේ සැලකිල්ලට යොමු කර ගැනීම වැදගත්ය. ඔබ මේ මොහොතේ කුමන ස්ථානයක සිටියත්, කුමන රැකියාවක නිතරව සිටියත්, ඔබේ දරුවන් ඔබට බොහෝ වැදගත් බැවින් ඉහත කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් අවශ්‍ය පියවර ගැනීම සිදු කරන්න.

එපමණක්ද නොවේ. අප සියල්ලන් මේ සමාජයේ කොටසක් බැවින් ඔබේ දරුවකු නොවුණත්, වෙනත් දරුවකු හෝ එවැනි අවදානම්කාරී තත්ත්වයකට පත්වන බවක් හැඟී යන්නේ නම් ඒ සම්බන්ධයෙන් කඩිනම් හා සුදුසු පියවර ගැනීම ඔබේ යුතුකමකි. එය ඔබ වටිනා පුද්ගලයකු බවට හැඟවෙන සහතිකයකි.