මැදිවියේ පුද්ගලයන්ට නිතර ඇතිවන කැරැකැවිල්ල

මැදිවියේ පුද්ගලයන්ට නිතර ඇතිවන කැරැකැවිල්ල

අවුරුදු 50 ඉක්මවූවන්ගෙන් 60% කට පමණ කැරකැවිල්ල ඇති විය හැක.

නින්දෙන් අවදි වී නැඟිටින විට සිටගෙන සිටීමේදී විවිධ පැතිවලට හැරෙන විට යම්කිසි පුද්ගලයෙකුට පරිසරය භ්‍රමණය වී සමතුලිතතාවය බිඳ වැටෙන්නට යනවා සේ දැනෙන්නේ නම් හෝ අවදි වූ විගස ඇඳටම විසිවන බවක් දැනෙන්නේ නම් එය බොහෝදුරට හඳුන්වන්නේ කැරකැවිල්ල ලෙසිනි.

මෙයට හේතුව වන්නේ ශරීරයේ සමතුලිතතාවය බිඳ වැටීමයි. අපේ සිරුරේ සමතුලිතතාවය රඳා පවතින්නේ ඇස, කන සහ සන්ධි යන ඉන්ද්‍රියයන් මතයි. මෙම ස්ථාන තුනෙන් ඇතිවන සංඥා සියල්ලම කුඩා මොළයේ තිබෙන සෙරිබ්‍රරල් කොටසේදී විශ්ලේෂණය කොට අපගේ සිරුරේ සමතුලිතතාවය රඳා පවත්වනවා.

මේ කාර්යභාරයට මූලික වන්නේ අපේ ඇතුල් කනයි. යම් හෙයකින් ඇතුළත කනේ දෝෂයක් ඇති වූ විට සමස්ත සිරුරේම සමතුලිතතාවය බිඳ වැටෙනවා. බාහිර කන, කන් බෙරේ සහ ඇතුළත කන නමින් කන කොටස් 3කින් යුක්තයි.

කැරකැවිල්ලක් ඇති වූ විට ඇතැමුන් වෙනත් රෝගයක් යැයි සිතා විවිධ වෛද්‍යවරුන් සොයා ගියද එවැනි අවස්ථාවකදී සහාය පැතිය යුත්තේ උගුර කන නාසය පිළිබඳ වෛද්‍යවරයකු වෙතිනි.

කැරකැවිල්ල පිළිබඳව වැඩිපුර මැසිවිලි නඟන්නේ වයස අවුරුදු 50 ඉක්ම වූ අයයි. අවුරුදු 50 ඉක්මවූවන්ගෙන් 60% කට පමණ මේ කැරකැවිල්ල ඇති විය හැක.

කැරකැවිල්ලට බලපාන හේතුන් අතර සෙම්ප්‍රතිශ්‍යාව නිසා කන පැසවීමෙන් කනේ ආබාධයක් ඇති වී එකවරම කැරකැවිල්ල ඇතිවිය හැක. ස්නායු ආබාධ නිසාත්, මධ්‍යම ස්නායු පද්ධතියේ යම්කිසි දෝෂයක් හේතුවෙන් ද සිරුරේ අසමතුලිතතාවයක් ඇති වී එය කරකැවිල්ලට හේතු වේ. වයසට යෑම නිසා ඇතිවන කැරකැවිල්ලට හේතු පාදක වන්නේ බෙල්ලේ කොඳු නාරටියේ ඇතිවන යම්කිසි දෝෂ විය හැකියි. එසේම කනේ සමතුලිතතාවය රඳා පවතින ඉන්ද්‍රියයන් හා සම්බන්ධ වන නාලවල ද්‍රව තරල ඝනත්වය වෙනස් වීම නිසාද කැරකැවිල්ල ඇති වේ.

වියපත් වීමේදී නිතරම එක තැන වාඩිවී සිටීමේදී අපගේ පාදයේ ශිරාවලට රුධිරය එකතු වී තිබිය හැක. එවිට හිසට ගමන් කරන රුධිර ප්‍රමාණය අඩු වී වාඩි වී නැඟිටින විට කැරකැවිල්ල ඇතිවිය හැක. වයසට යාමේදී හෘද වස්තුව දුර්වල විය හැකි බැවින් හෘදයේ සිට කනට ගමන් කරන රුධිර ප්‍රමාණය අඩුවීමෙන්ද මේ තත්වය උදාවේ. සෙම්ප්‍රතිශ්‍යාවකින් පසු ඇතුල් කනට විෂබීජයක් ඇතුල් වී තරලය පැසවීමකට ලක්වීම තවත් හේතුවකි.

මැදිවියේ කාන්තාවන් මානසික ආතතියට ලක් වූ විටද කපාල ස්නායුවේ ගෙඩියක් ඇති වූ විටද මෙවැනි තත්ත්වයක් උද්ගත විය හැක. මෙය කලාතුරකින් ඇතිවන අවස්ථාවකි මෙවැනි අවස්ථාවල ඉජචද පරීක්ෂණ මඟින් හේතුව සොයා ගැනීමෙන් අනතුරුව ශල්‍යකර්ම මඟින් ඉවත් කළ හැක.

දින ගණනක් නිදි මරන පුද්ගලයන්ට ද ඇඳෙන් එකවරම තිගැස්සී නැඟිටීම, යම් දෙයක් ගැනීමට බිමට පහත් වීම ආදියෙහි දී කැරකැවිල්ල ඇතිවිය හැක.

විශේෂයෙන් මානසික ආතතියේ පෙළෙන අයට කැරකිල්ල ඇතිවීම නම් වැළැක්විය නොහැක්කකි.

මැදියම් රැයේ හෝ හිමිදිරි පාන්දරින් සීතල ජලයෙන් ස්නානය කිරීම, අධික මහන්සි වීමෙන් පසුව රාත්‍රියේ සීතල ජලයෙන් ස්නානය කිරීමෙන් පසු පසුදා අවදි වූ විට කැරකැවිල්ල ඇතිවීමට ඉඩ ඇත.

ඇතැම් ආහාර ද කැරකැවිල්ලට හේතු වේ. අච්චාරු, කිරිබත්, දිවුල් කිරි, මී කිරි, තැඹිලි එවැනි ආහාර වර්ගවේ.

විශේෂයෙන්ම මානසිකව වෙහෙසෙන වෘත්තිකයන්ට ද රෝගය වැළඳීමේ ප්‍රවණතාවයක් ඇත.

කැරකිල්ල ඇති වූ විට ඇතැමුන් සිතනුයේ තමන් වැටෙන්නට යනවා යන හැඟීමකි. මෙවැනි අවස්ථාවලදී තමුන් සිටින තැන එලෙසම සිටිය යුතුය. වාඩි වී සිටිනවා නම් නොසෙල්වී සිටිය යුතු අතර ඇඳක සිටිනවා නම් දෑස් වසාගෙන නොසෙල් වී සිටිය යුතුය. කැරකැවිල්ල සමනය වන තෙක් එක්තැන්වී සිට පසුව උගුර කන නාසය පිළිබඳ වෛද්‍යවරයෙකු මුණගැසී ප්‍රතිකාර ගත යුතුය.