එන්නත්/ඖෂධ අසාත්මික වෙනවාද?

එන්නත්/ඖෂධ අසාත්මික වෙනවාද?

පසුගිය සතියේදී රෝහලක සිද්ධ වුණ අවාසනාවන්ත සිදුවීමක් නිසා මේ ලිපිය සකස්කරන්නට සිතුණා. බඩේ අමාරුවකට රෝහල් ගත කළ තරුණියට දුන් එන්නතකින් පසුව ඇය මියයාම මේ අවාසනාවන්ත සිදුවීමයි. එන්නතක් නිසා කිසියම් කෙනෙකු මිය යන්නේ කෙසේද? කිසියම් එන්නතක් ලබාගැනීම අවදානම් මාරකයක්ද? එන්නත් සම්බන්ධයෙන් වූ මෙම කාරණා වලට පිළිතුරු අද ලිපියෙන් අපි විමසා බලමු.

එන්නතක් හේතුවෙන් සිදුවූ මෙවැනි සිද්ධියක් බොහෝවිට ජනමාධ්‍යවල වාර්තාවෙන්නේ “එන්නත් විෂ වී” හෝ “එන්නත් වැරදී” රෝගියකු මියයයි යන ආකාරයටයි. මේ වචන පෙළ රෝගීන් තුළ කුතුහලයක් හා බියක් ඇති කිරීමට හේතුවනවා කිව්වොත් නිවැරදියි. සැබැවින්ම බොහෝවිට මෙවැනි අවස්ථාවලදී සිදුවන්නේ “විෂ” වීමක් හෝ “වැරදීමකට” වඩා ඒ එන්නත සඳහා ගොඩනැගෙන මාරාන්තික වියහැකි අසාත්මිකතාවයයි. (Allergic Reaction) මෙම “අසාත්මිකතාවය” හෙවත් ඇලර්ජික් (Allergic) වීම සිදුවන්නේ කෙසේද යන්න විමසා බලමු.

අපගේ ශරීරය තුළට කිසියම් “විෂබීජයක්” හෝ වෙනත් “ආගන්තුක” යමක් ඇතුළු වූ විට ශරීරය තුළ ඇති “ආරක්ෂක හමුදාව“ හෙවත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වහාම ක්‍රියාකාරී වෙනවා. එම “ආගන්තුක” ද්‍රව්‍යයට විරුද්ධව ප්‍රතිදේහ (Antibody) නමැති ආයුධ නිපදවෙනවා. මෙම ආයුධ මගින් එම ආගන්තුක ද්‍රව්‍ය විනාශ කරනවා විතරක් නොව ආගන්තුක ද්‍රව්‍ය පිළිබඳ මතකයක්ද පවත්වාගෙන යනු ලබනවා. විශේෂයෙන් නැවත වරක් එම ආගන්තුක ද්‍රව්‍ය ඇතුළු වූ විගසම එය හා සටන් කරනු ලැබීමට කලින් අවස්ථාවේදී සාදාගත් “ප්‍රතිදේහ” නැමැති ආයුධ වැදගත් වෙනවා. මෙහිදී ආගන්තුක ද්‍රව්‍ය ප්‍රතිජනක (Antigen) ලෙස හඳුන්වනු ලබනවා. මේ අනුව ප්‍රතිදේහ හා ප්‍රතිජනක අතර සිදුවන සටනේ ප්‍රතිඵලයක් ලෙස කිසියම් ස්ථානයක් ඉදිමීම, රත්පැහැ වීම, රුධිර නහර විස්තාරණය වීම හෙවත් ප්‍රමාණය විශාල වීම, ස්ථානය උණුසුම් වීම ආදී ලක්ෂණ දකින්නට ලැබෙනවා.

සමහර විට කුඩා කුහුඹුවකු හෝ මදුරුවකු සපා කෑවිට එම ස්ථානයේ දකින්නට ලැබෙන්නේද මෙම ලක්ෂණයි. නමුත් එවැනි අවස්ථාවක සපා කෑ ස්ථානයට පමණක් සීමා වුවද සමහර කලාතුරකින් අවස්ථාවක ශරීරය පුරාවටම (Generalized) මෙම ක්‍රියාවලිය හෙවත් “සටන” සිද්ධවෙනවා.

ප්‍රථිඵලය වන්නේ පෙනහලු තුළට වාතය (ඔක්සිජන්) රැගෙන යන ස්වසන මාර්ගයේ බිත්ති ඉදිමීමක් ඒ තුළින් පෙනහලු තුළට ඔක්සිජන් ළඟාවීම ඇනහිටීමත්, රුධිර නහර (ධමනි) විශාල වීම නිසා රුධිරය ඒ තුළ එකතු වී රුධිර ගමනාගමනය හෙවත් රුධිර පීඩනය අඩුවී මොළයට රුධිරය ළඟාවීමට නොහැකි වීමත් ශරීරය තුළ දියර වර්ග පටක තුළ එකතු වී ශරීරය ඉදිමීමත් යන කාරණාය. මෙම රෝග ලක්ෂණ තදින් ආ විට ඉක්මනින් මරණය පවා සිදුවිය හැකි බව පාඨක ඔබට දැන් වැටහෙනවා ඇති. මෙය Anaphylaxis  තාවය ලෙස හඳුන්වනු ලබනවා.

එන්නත් පිළිබඳ කතාවෙන් සිදුවන්නේ සමහර පුද්ගලයන්ගේ ශරීර තුළදී එන්නත “ආගන්තුක ද්‍රව්‍යයක්” ලෙස ක්‍රියාකර ප්‍රතිදේහ නිපදවී ප්‍රතිජනක ප්‍රතිදේහ “සටන” ඉහත සඳහන් ආකාරයට සිදුවීමයි. පාඨක ඔබ මතක තබාගත යුතු කරුණක් වන්නේ හැමදෙනා තුළම මේ ආකාරයට එන්නත සමඟ ආගන්තුක ද්‍රව්‍යයක් ලෙස සටනක් සිදුනොවන බවයි. බොහෝවිට වෙනත් වෙනත් කාරණා ඒ කියන්නේ සමහර ආහාර, පෙති, කරල් වර්ග, ආලේපන වර්ග ආදිය සඳහා “අසාත්මික” Allergic අය මේ සඳහා වැඩි අවදානමක් දරනවා. වසර කිහිපයකට පෙර අපට අත්දැකීමක් ලැබුණා රූපලාවන්‍යාගාරයක් තුළ අසාත්මික තත්ත්වයක් නිසා සිදුවූ මරණයක්. එය මේ ආකාරයට ප්‍රතිශක්තිකරණ පද්ධතියේ “සටන” නිසා ඇතිවූවක් වෙනවා.

එන්නත්, ඖෂධ, ආලේපන, පෙති කරල් නිසා මෙවැනි මාරාන්තික අසාත්මිකතාවයන් (Anaphylaxis) ඇතිවීම වැලැක්වීම හෝ අවම කිරීමට කළ හැකි කාරණා ගැන විමසමු. කිසියම් ඖෂධයක් ලබාගැනීමට පෙර තමන්ට ඒ සඳහා හෝ වෙනත් ආහාර හෝ එවැනි බාහිර දෙයක් සඳහා අසාත්මිකතාවක් ඇතිද යන්න වෛද්‍යවරයා හා පැවසීමත්, අසාත්මිකතාවයක් ඇතිවන පළමු අවස්ථාවේදීම වෛද්‍ය උපදෙස් පැතීමත් ප්‍රධාන කරුණක් වෙනවා. එවාගේම එන්නත ලබාදෙන අයත් ඒ පිළිබඳව විමසීමකට හා අපේක්ෂිත අවස්ථාවක ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර වහාම ලබාදීම සඳහා සූදානම්වීමත් වැදගත් වෙනවා.

ඒ වාගේම මේ කාරණය එන්නත් ලබාගැනීමට “බියවීමට” කාරණයක් ලෙස ගත නොයුතු වනවා. ඒ මන්දයත් ඖෂධ හා එන්නත් මඟින් සුවවීම සඳහා ඉටුකරන කාර්යභාරය සුළුපටු නොවන නිසාත්, කිසියම් ඖෂධයක් අසාත්මික වීමේ අවස්ථා ගණන සාපේක්ෂව අඩුවීමත් නිසායි. සමහර ඖෂධ අසාත්මික වීමේ අවස්ථා වැඩි නිසා ඒවා දෙනු ලබන්නේ අසාත්මිකද නැත්ද යන්න පරීක්ෂා කිරීමෙන් අනතුරුව (Sensitivity Test) බවද මතක තබාගත යුතු වෙනවා. ඖෂධයක් අසාත්මික වන ආකාරයත් ඒ තුළින් මරණය සිදුවිය හැකි ආකාරයත් පාඨක ඔබට වැටහෙනවා යැයි සිතමි.