ඇයි මේ තරම් තරහ යන්නේ

ඇයි මේ තරම් තරහ යන්නේ

මෙවර Meet Your doctor වැඩසටහනට සහභාගී වූයේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුසිල් කුලතිලක මහතායි.

තරහ යනු කුමක්ද එහි කායික විද්‍යාත්මක සංසිද්ධිය කුමක්ද?

තරහව යනු මිනිසාට පමණක් නොවේ සෑම සතෙකුටම එකසේ අදාළ සංසිද්ධියක්. ඒ වගේම මෙය ඉතාම සාමාන්‍ය ඒ වගේම සාධාරණ සිදුවීමක්. වෛද්‍ය විද්‍යාත්මකව විමසා බැලීමේදී තරහා ඇතිවන්නේ මොළය අභ්‍යන්තරික වශයෙනි. මේ සඳහා මොළය, හෘදය වස්තුව, පෙනහලු, ස්වසන පද්ධතිය ආශි‍්‍රත කරගෙන මෙම හැඟීම මොළය අභ්‍යන්රයේ ඇති “ලින්බික්” පද්ධතිය මඟින් ක්‍රියාත්මකයි.

මෙහිදී හදවතට දැනෙන හැඟීම් මෙන්ම ඒ ආශි‍්‍රත සිතුවිලි මෙන්ම චර්යාවන් යන කොටස් තුනකින් සමත් වීම සංකීර්ණ ක්‍රියාවක් ලෙස මේ, පිළිබඳව පැහැදිලි කළ හැකියි. මානව පරිනාමයත් සමඟ අපට යම් තර්ජනයක් එල්ල වනවිට මෙම ප්‍රතික්‍රියාව ස්වභාවිකවම එල්ල වනවිට මෙම ප්‍රතික්‍රියාව ස්වභාවිකවම ඇතිවිය යුත්තකි. නමුත් මේ වනවිට ගැටලුව බවට පත්ව ඇත්තේ කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා කෝපය යන්න ප්‍රධාන ගැටලුවක් බවට පත් වී තිබීමයි.

මොළයට යම් මිනුම් දණ්ඩක් තිබේද?

කෝපය ඇතිවීම සාමාන්‍යයයි. නමුත් කෝපය ප්‍රකාශ කරන විට පරිස්සම් විය යුතු වේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු කෝප ගත යුතු හේතු මොනවාදැයි විමසා බලමු.

තමාට ඇතිවන යම් ලැජ්ජාවක් එසේත් නොමැති නම් තමා බලාපොරොත්තු වන ආකාරයට අන් අය හැසිරුනේ නොමැති නම් තමා පි‍්‍රය කරන දෙයක් අන් අය නොකර සිටීමෙන් ද කෝපය ඇතිවිය හැකියි. පරිපූර්ණත්වය සහ තමා විසින් ඇති කර ගන්නා යම් රටාවකකට අනුගතව අන් අය විසින් ඒ රටාවට අනුව නොහැසිරීම පුද්ගලයා කෝප ගැන්වීමට හේතු වේ. මෙය ඉතාමත් බහුලව දකින සංසිද්ධියකි. මෙහිදී අදාළ තැනැත්තා අන් අයව දැඩිව තමාගේ රටාවට අනුගත කරවා ගැනීමට උත්සාහ ගනු ලැබේ. නමුත් ඔවුන් ඊට අනුගත නොවන විට දැඩි සේ කෝප ඇති කරගත හැකියි.

අනිත් අයට තරහා ඇති නොවන නමුත් යම් අයෙකුට ඉන් එහාට ගිය තරහාවක් ඇතිවිය හැකිද?

මෙම ගැටලුවේදී ඉතා අධික තරහක් ඇති වන අය අවාසනනාවට තමාට අධික තරහක් ඇති වනවා යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇත්තේ නැහැ. එසේ අධිකව තරහා ගන්නා තැනැත්තා නිතරම තමා නිවැරදි යැයි යන්න පමණක්ම විශ්වාස කරනු ලැබේ. ඒ වගේම ඇතැම් අය තමාට කේන්තියක් ඇති බවත් එය තමාට පාලනය කිරීම ඉතාමත් අපහසු වන බවත් වෛද්‍යවරුන් සමඟ පවසන අවස්ථා එමටයි. එමෙන්ම එසේ ඔවුන් තරහා ගැනීමෙන් පසුව තමා එසේ තරහා ගැනීම පිළිබඳව අතිශයින් කණගාටුවට පත්වන බවද බොහෝවිට දැකගත හැකි වේ.

තරහා අධිකව ගනු ලබන තැනැත්තාගේ මානසික පසුබිම පිළිබඳ පසු විපරමක් සිදු කරනවාද?

ඇත්තෙන්ම මේ සඳහා මානසික වෛද්‍යවරයෙක් අදාළ රෝගී පුද්ගලයාගේ පසුබිම පිළිබඳ විමසා බැලීමක් සිදුකළ යුතු වේ. මෙය විවිධ අයට විවිධ ලෙසින් බලපෑම් ඇති කරනු ලැබේ. ඒ නිසා විවිධ පුද්ගලයාට කෝපය ඇති වීමට බලපාන මූලික හේතුව හඳුනා ගැනීමක් සිදු කළ යුතු වේ.

සැකය පිළිබඳ කථාබහ කරන විට එය සමාජය තුළ ඉහළ මට්ටමේ බලපෑමක් ඇති කරන මාතෘකාවක් බවට පත් වී අවසන්. ප්‍රධාන වශයෙන් ගෘහ ජීවිතය තුළ සැමියා බිරිඳ අතර ඇතිවන ගැටලුවලදී මෙන්ම අවම වශයෙන් පෙම්වතා පෙම්වතිය අතරේ ඇතිවන ගැටුම්වලට පවා මෙම සැකය යන කරුණ ප්‍රබල හේතුවක් බවට පත් වී තිබේ.

මෙය බරපතළ සමාජ ගැටලුවක් බවට පත්වෙලාද?

මෙම සැකය නැමැති බරපතළ ගැටලුව නිසා ඇතිවන තරහව නිසා ඇතැම් අය තමාටම හානි කර ගන්නා අවස්ථාවන්ට උදාහරණ සමාජය තුළ අපට දැක ගැනීමට හැකි වේ. ඒ වගේම සැමවිටම සමාජය සහ පුද්ගලයා පිළිබඳ කථාබහ කරන විට මූලික වශයෙන් මෙහිදී වැරදි නිවැරදි කර ගැනීමට අවධානයක් ලබාදිය යුත්තේ අදාළ පුද්ගලයාමයි. සමාජයට චෝදනා ඉදිරිපත් කිරීමට පෙර තමා විසින් තමාවම හික්මවා ගැනීම අනිවාර්යෙන්ම සිදු කළ යුතුවේ. එසේ නොමැතිව තමා නිවැරදි යැයි සිතා සමාජයට චෝදනා කිරීම ඵල රහිත ක්‍රියාවකි. මේ බව බෞද්ධ ආගමික දර්ශනය තුළ පවා සැහැදිලිව සඳහන් කරන බව ඉතාමත් පැහැදිලිව දැකගත හැකි කරුණක්. ඒ නිසා පරිසරය, එසේත් නැත්නම් සමාජය කුමන ආකාරයකින් ඔබට ප්‍රතිචාර දැක්වුවත් කෝප නොගෙන සිටීමට ඔබට හැකියාවක් තිබිය යුතුයි. නමුත් මෙහිදී පාරිසරික සාධක නොසලකා හැරිමක් සිදු නොවන බව අනිවාර්යෙන්ම සඳහන් කළ යුතු අතර ඒ පිළිබඳව ද අවධානය යොමු කළ යුතු වේ. නමුත් ඒ සෑම කරුණකටම වඩා තමා විසින් තමාවම හික්මවා ගැනීම වඩාත් වැදගත් වන බව මතක තබාගත යුතු වැදගත් කාරණයකි. මේ හරහා කෝපය ඇතුළු වෙනත් විනාශකාරී මනෝ භාවයන් ජය ගැනීමට හැකියාව ලැබේ.

කුඩා කාලයේදී දරුවෙකු ලබන අත්දැකීම්, ඔවුන්ගේ ඉදිරි ජීවිතය ප්‍රකෝපකාරී පුද්ගලයෙකු බවට පත් කිරීමට බලපෑ හැකිද?

මාධ්‍ය , සිනමාව, කලාව මඟින් කාමය භීතිය සංත්‍රාසය ප්‍රචණ්ඩත්වය ලොව වැඩිපුරම අලෙවිකරණයට ලක් වූ තේමාවන් වේ. ප්‍රචණ්ඩත්වය සහ කෝපය අතර ප්‍රබල සබඳතාවක් තිබන අතර එම සංසිද්ධි මුල් කරගත් සිදුවීම් සමාජය තුළ බහුලව දැකගත හැකි වේ. මෙම තේමාවන් මුල් කරගෙන සිනමාව බිහිවීම ද කලා නිර්මාණ ද සමාජය තුළ ඕනෑතරම් බිහිවුණත් එසේ නොවන ත්‍රාසය භිතිය, කැටිකර ගත් නිර්මාණ මඟින් ප්‍රධාන වශයෙන් බලපෑම් ඇති කරනු ලබන්නේ කුඩා දරුවන්ගේ මානසික මට්ටමය. මෙම දරුවන් මෙම රූපරාමු නැරඹීමෙන් පසුව එය ඔවුන්ගේ ජීවන රටාවේ කොටසක් බවට පරිවර්තනය වේ. ඒ වගේම එය අතිශය සාමාන්‍යකරණයට ලක් වූ දෙයක් වීමද බරපතළ ගැටලුවකි.

පසුගිය දිනවලදී ලංකාව තුළ සිදු වූ සිදුවීම් නිසා ජනතාවගේ ප්‍රකෝපකාරී බව තරමක් ඉක්මවා ගියේ යැයි සැක මතුවිය හැකිද?

ඇත්තෙන්ම සිතුවිලි කෝපය සහ වියරුව ලෙසින් ප්‍රධාන තේමාවන් දෙකක් පිළිබඳ කථාබහට ලක්කළ හැකියි. වියරුව යනු ඉතාමත් විනාශකාරී ක්‍රියාවකි. මෙම වියරු තත්ත්වයේදී පුද්ගලයාගේ මනස බුද්ධියෙන් තොරව ක්‍රියාකාරී වේ. මේ නිසා පුද්ගලයාගේ මනස, මෙම අවස්ථාවේදී හැඟීම් මත පමණක් මුළුමනින්ම ක්‍රියාත්මක වේ. මෙය විනාඩි ගණනාවක් තුළ පැවතිය හැකි අතර ඉන් අනතුරුව තමා සිදු කළ දේ පිළිබඳව පවා ඔවුන් කණගාටුවට පත්වනු ලැබේ. නමුත් තමා කළ ක්‍රියාව පිළිබඳ අදාළ සිදුවීම සිදු කරනු ලබන තැනැත්තන්ට නිසි අවබෝධයක් ඇත්තේ නැහැ.

කෝපය පිළිබඳ පැහැදිලි කරනවා නම් එය ඇතිවන්නේ තරංගමය ආකාරයටය. එය එක්වරම තරංගයක් උස්ව නැඟී පැමිණේ. එසේ පැමිණෙන අවස්ථාවකදී එය යම් පාලනයකට තමාටම ලක් කළ හැකි නම් එය පාලනය ඉතාමත් වැදගත් වේ.

ඒ වගේම අපගේ මනස වියරුවට ඉතාමත් නැඹුරු බවක් දක්වයි. පුද්ගලයාගේ මනස කාමයට සහ ප්‍රචණ්ඩත්වය තුළ සැඟවී පවතිනු ලැබේ. පුද්ගලයා මෙම කරුණු දෙක සඳහා විශාල නැඹුරුවක් ස්වභාවිකවම හිමිකර ගෙන තිබේ. ඇතැම්විට මත්ද්‍රව්‍ය මඟින් මෙම වියරුව උත්දීපනය වනු ලැබේ. මේ මඟින් කෝපය, කාමය, මුදාහරිනු ලැබේ. මේ නිසා මත්ද්‍රව්‍ය හරහා ඉතාමත් බරපතළ මානසික තත්ත්වයන් මුදාහරිනු ලැබේ.

ඇතැම් අය තමාගේ තරහට ඊට කිසිදු සම්බන්ධයක් නැති අය පටලවා ගනු ලබන්නේද?

මෙහිදී තරහට මුල්වන හේතුව පසෙක තිබියදී වෙන අයෙක් හරහා තරහව පිට කිරීම මෙහිදී සිදුවේ. ඇතැම්විට අදළ පුද්ගලයාවත් තමා කෝප වීමට හේතුව පිළිබඳ දැනුමක් නොතිබිය හැකියි. මෙය ඕනෑම අවස්ථාවක ඕනෑම අයෙකුට මුහුණ දීමට සිදුවන තත්ත්වයි. මෙහිදී ඔබ ඔබටම විශ්ලේෂණය කළ යුතුයි. යම් සිදුවීමක් නිසා ඔබට ඇතිවන අසහනකාරී බවද කෝපය ලෙසින් ද පිටතට පැමිණීමට බොහෝවිට හැකියි

මේ සඳහා අප කුමක් කළ යුතුද?

කෝප ගැනීම ප්‍රබල ගැටලුවක් බව මූලිකවම තේරුම් ගත යුතුය. තමාටම තමාගේ කෝපය පාලනය කර ගැනීමක් කළ හැකියි. කෝපය ඇතිවන වේලාවේම එය හඳුනා ගැනීමට හැකි නම් අදාළ ස්ථානයෙන් ඉවත් වී සිටීමට හැකි නම් ඉතා වැදගත්. තවද සමාව දීම මඟින් තරහව පාලනය කළ හැකියි.