සිවිකාච භාවිතා කළ යුත්තේ වෛද්‍ය උපදෙස් මතයි

සිවිකාච භාවිතා කළ යුත්තේ වෛද්‍ය උපදෙස් මතයි

දෑස පිළිබඳ වර්ණනා කරන අවස්ථාවල නිල් පැහැති ඇස් පිළිබඳ කොතෙකුත් කතා බහට ලක් වෙනවා. ඊට හේතුව එවන් වූ ඇස් අපි හැමටම නොමැති වීමත් ඒවායේ සුන්දරත්වයත් යන කරුණු නිසාවෙනි. මේ හේතු නිසාම බොහෝ සෞන්දර්යවාදීන් මෙවන් දෑස් වර්ණනාවන අන්දමින් නිර්මාණකරණයේ පවා නිරත වන්නේ මේ හේතුව නිසාමයි. ඒ කෙසේ වූවත් අපගේ මේ කතා බහ එවන් වර්ණවත් ඇස් පිළිබඳව තේමාවක් මුල්් කොට ගත්ත ද එහි අවසන් පරමාර්ථය වටිනා සාහිත්‍ය නිර්මාණයක් කිරීම නම් නොවේ. කෙසේ වෙතත් බොහෝ දෙනෙක් තමාගේ ඇස්වල අලංකාරය වැඩිදියුණු කර ගැනීමට, හා ඇතැම් දෘශ්‍ය ආබාධ පවතිනවා නම් ඒවාට ද හොඳ පිළියම් සොයා ගන්නට ආචාර්ය මිහිරි වික්‍රමාරච්චි සමඟ ගෙන එන මේ කතා බහ වැදගත් වේවි.

පසුගිය සතියේදී අපි මේ පිළිබඳව කතා බහට ලක් කළා ඔබට මතකද? එහිදී අපි Hard සහ Soft ලෙන්සස් නැමැති කාච දෙවර්ගයක් පිළිබඳව සඳහන් කළා. ඒ අනුව Hard Lenses මඟින් බොහෝ දුරට පෙනීමේ දුර්වලතා ඇති අයට ඒ සඳහා යම් විසඳුමක් ලබා දීම සිදු කරනු ලබනවා. එවැනි ආබාධිත තත්ත්වයන් මේ වන විට මුළුමනින්ම පාහේ සුවකර ගත හැකි මට්ටමේ පවතිනවා. නමුත් Soft Lenses මඟින් එවන් වූ දෘශ්‍යබාධ සඳහා භාවිත නොකරනවා. ඒ වගේම දුර පෙනීමේ දුර්වලතාවන් ඇති අයට Hard Lenses හොඳ විසඳුමක් ලබා ගත හැකි බව පිළිගත්ත ද ළඟ පෙනීම අඩු අයට සිවිකාච භාවිත කිරීම එතරම් සුදුසු වන්නේ නැහැ.

සිවිකාචවල පැවැත්ම එහි වර්ණය අනුව වෙනස් වෙනවා. යම් අයෙක් සිවි කාචයක් මිලදී ගන්නවා නම් පිළිගත් සුදුසුකම් ලත් දෘෂ්ටි විශේෂඥවරුන්ගේ සහාය ඊට ලබා ගන්නවා නම් වඩාත් හොඳයි. නමුත් අවාසනාවට බොහෝ දෙනෙක්ගේ නොදැනුවත් කම නිසා සාමාන්‍ය ඇස් කාණ්ණාඩි ලබා ගන්නා තැනකින් සිවිකාච ද ලබා ගැනීමට යාම නිසා බොහෝමයක් ගැටලුවලට ද මුහුණ දීමට සිදු වෙනවා. ඒ අනුව සිවිකාච පිළිබඳ විශේෂඥවරයෙක්්ගේ පූර්ණ පරීක්ෂාවෙන් අනතුරුව යම් අයෙක් සිවිකාචයක් පළඳීනවා නම් එය වඩාත් නුවණට හුරුයි. එහිදී ඔවුන් විවිධ අයගේ ඇස්වල මිනුම් ලබා ගන්නා අතර එමඟින් අදාළ තැනැත්තාට වඩා සුවදායි ඇසට හානියක් නැති සිවිකාච ලබා ගැනීමට හැකි වෙනවා. ඒ වගේම ඔවුන් නිවැරදිව ඒ දත්ත මිනුම් ලබා ගැනීමට දන්නා බවද විශේෂයෙන් කිව යුතුයි.

ඒ නිසා සිවිකාචය භාවිතයට පෙර ඒවා ලබා ගැනීමේදී ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. තවද සිවිකාච නිවැරදි ලෙස භාවිතා නොකළ හොත් එමඟින් සිවිකාචවලට වගේම ඒවා භාවිතා කරන ඇස් වලට යම් හානි ඇතිවිය හැකියි. ඒ නිසා සිවිකාච පැළඳීම මෙන්ම ඒවා ඉවත් කිරීම ද නිවැරදි ක්‍රමයට නිසි දැනුවත් වීම මත සිදු කළ යුතුයි. මේ කරුණු කාරණාවලට අමතරව සිවිකාච භාවිතා කිරීමට වයස් සීමාවක් ඇතැයි යම් අයෙක් ප්‍රකාශ කළ හොත්, ඒ අදහස නිවැරදි වන්නේ නැහැ. මේ අනුව සිවිකාච භාවිතයට කිසිදු වයස් සීමාවක් දැක්විය නොහැකියි. ජර්මනිය වැනි රටවල අලුත ඉපදුන දරුවෙක් පවා සිලිකොන් සිවිකාච පළඳිනු ලබනවා.

ඒ වගේම බොහෝ අක්ෂි ආශි‍්‍රතව ඇතිවන ආබාධ සඳහා මෙම සිවිකාච මඟින් හොඳ පිළියමක් ලබා දෙනවා. කෙසේ වෙතත් බොහෝ දුරට ඇතැම් අවස්ථාවල අපි සිවිකාච නොපැළඳිය යුතු වනවා මෙන්ම ඇතැම් ක්‍රීඩා අවස්ථාවන්ට සහභාගීවන විට ඒවායේ ආරක්ෂාකාරී බව පිළිබඳ දෙවරක් සිතා බැලිය යුතුයි. උදාහරණයක් ලෙස පිහිනීමේදී ඇස් සඳහා භාවිතා කරන ඇස් ආවරණ යොදා ගැනීමට දැක්විය හැකියි.

ඒ වගේම යම් අයෙක්ගේ ඇස් සඳහා ගැලපෙන සිවිකාච තවත් අයෙකුගේ ඇස් සඳහා නොගැලපෙන බවද කිව යුතුයි. ඒ නිසා නිවැරදි මිනුම් දත්ත අනුව යම් අයෙක් සිවිකාච පැළදිය යුතු අතර එමඟින් තමාගේ පහසුව වැඩි වෙනවා පමණක් නොව තමාගේ ආරක්ෂාවට මෙන්ම ඒ තුළින් සිවිකාචයේ පැවැත්ම ද යහපත් වෙනවා. ඒ නිසා යම් අයෙක් සිවිකාච පැළඳීමට බලාපොරොත්තු වනවා නම් එහි පැවැත්ම තමාට ගැලපෙන නොගැලපෙන බව ආදිය පිළිබඳ හොඳින් කල්පනාකාරී විය යුතුයි. මේ දේවල් පිළිබඳ හොඳින් කල්පනාකාරී වූවොත් පමණක් සිවිකාච නිවැරදිව භාවිතා කළ හැකියි.

මේ තොරතුරුවලට අමතරව අලංකාරය සඳහා විවිධ වර්ණ වලින් වගේම ඇස්වල දුර්වලතාවන් සමඟ වර්ණ වෙනස්වන ආකාරයෙන් ද ඇසේ සුද ගතිය ඇති වු අයට ද මේවා පැළඳීය හැකියි. ඊට අමතරව ඇස්වල දුර්වලතා, අවලස්සන පෙනුමක් ඇති ඇස් සඳහා තමා කැමති වර්ණයන්ගෙන් භාවිතයට ගත හැකි වීම ද විශේෂිතයි.